Last updated on February 21st, 2022 at 08:22 am

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි
මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද සහිතව සටහනක් දක්වමින් සදහන් කර තිබුණේ “මේ වන විට ලක්ෂ 4ක මහා ජනගගක්. ජය නියතයි.ටොයියන් කපෝතියි.” යනුවෙන් පහත දක්වා ඇති අයුරෙනි.

FB Link 1 | Archived Link | FB Link 2 | Archived Link |
බොහෝ දෙනෙකු විසින් මෙම ඡායාරූපය පොදු ජන පෙරමුණේ අනුරාධපුර ජන රැලියට සම්බන්ධ ඡායාරූපයක් නොවන බව හඳුනාගෙන තිබුණි. එහෙත් විශාල වශයෙන් හුවමාරු වී තිබීම නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් කිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී මුලින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ ජාල ගිණුම් වලින් මේ පිළිබඳව පළවී තිබූ විස්තර සහ ඡායාරූප පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලදී.
Twitter Link Gotabaya Rajapaksa | Archived Link |
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලක්ම පාහේ මෙම රැලිය ආවරණය කර තිබූ අතර රූපවාහිනී ඩිජිටල් අංශය මගින් එම පුවතේ රූප රාමු සහිත වීඩියෝ පටයක් “ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද(09) පැවති අනුරාධපුර රැළිය | Ru News” යනුවෙන් සිය යුටියුබ් ගිණුමේ පළ කර තිබුණි.
Rupavahini Video Link |
මෙහිදී ඉහත ප්‍රකාශිත ඡායාරූපය ජන රැළිය සම්බන්ධයෙන් පළව ඇති රූපරාමු වලට වඩා හාත්පසින්ම වෙනස් ඡායාරූපයක් බව බැලූ බැල්මටම පැහැදිලිය.
තවද ඉහත ප්‍රකාශය දක්වා තිබූ ඡායාරූපය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා ගැනීම සඳහා සරල google reverse image සෙවුමක් මඟින් මෙය 2018 වර්ෂයේ දී ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන ශුරතාවය දිනා ගැනීම සියැසින් දැකගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ප්‍රංශයේ පැරිස් නුවරට එක් වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලි විය

Shutterstock image link | Archived Link |
අවසාන නිගමනය
මේ කරුණු අනුව පැහැදිලි වන්නේ “මේ වන විට ලක්ෂ 4ක මහා ජනගගක්. ජය නියතයි.ටොයියන් කපෝතියි” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුරයේ පැවති රැළිය සම්බන්ධයෙන් සඳහන් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවයි. මෙහි දක්වා තිබෙන ඡායාරූපය 2018 වර්ෂයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පාපන්දු අවසන් මහා තරඟය නැරඹීමට පැමිණි ජන ගඟ නිරූපණය කරයි.

Title:ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?
Fact Check By: Sathyajith SubasingheResult: False
