අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ගුරුවරුන් කාලකණ්ණි ලෙස හැඳින්වූ බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග සමාජයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහත් විරෝධතාවක් මතු වුණා.

සත්‍ය වශයෙන්ම සමස්ත ගුරුවරුන් කාලකණ්ණී බවට එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළාද යන්න පිළිබඳව අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

KITTy නම් ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණු ඡායාරූප සටහනේ සඳහන් කර තිබුණේ,

ඔබ මී හරකෙක් ගුරුවරුන්ට කාලකන්නි කියා නම් කිරීම ජනතාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා..! යනුවෙන් දක්වා තිබූ ඡායාරූපයකි.

කෙහෙලිය ට චන්දෙ දීපු නුවර තැපැල් චන්ද ටික ..ගුරුවරුනි.. ඔබ ඡන්දේ දුන්නේ කාටද

පොහොට්ටුවටද?

එහෙනම් ඒ ‘කාලකන්ණි’ යෙදුම ඔබට උරුමයි. මොකද කෙහෙළිය කියන්නේ ඔබ ඡන්දේ දීලා හදපු ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක” යනුවෙන්ද එහි වැඩි දුරටත් සඳහන්කර තිබුණා.

Facebook | Archived Link

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගුරුවන්ට කාලකණ්නි යනුවෙන් ප්‍රකාශ කළ බවට හැඟවෙන පරිදි පළ වූ තවත් ෆේස්බුක් සටහනක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Archived Link | Archived Link | Archived Link

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදු කළ බවට පළ වූ ප්‍රකාශය හේතුකොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය 13 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ‘ගුරුවරුන් කාලකණ්ණින්’ ලෙස සඳහන් හැඳින්වූ ප්‍රකාශය සත්‍ය වශයෙන්ම එම හමුවේදී පැවසූවාද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී දැකගන්නට ලැබු‍ණේ, ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ගුරුවරුන් ඉවත් වීම සම්බන්ධයෙන් YTV News ආයතනයේ මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළ ප්‍රකාශය වන්නේ,

“43 ලක්ෂයක් මේ රටේ ඉන්න දරුවන්. ඒ දරුවන්ගේ ඒ දරුවන් බලාපොරොත්තු වන තම ගුරු දේවයන් හැටියට ඉන්න කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරුහරි කිහිප දෙනෙක්, මගේ විශ්වාසය මගේ දැනුම ඉතාමත් ම කාලකණ්ණි කණ්ඩායමක් හැටියට මම සලකන්නේ. සමාවෙන්න මේ වචනේ පාවිච්චි කළාට”

එම අවස්ථාව මෙතනින්.(10.58 සිට 16.03) එම කොටස පමණක් විවිධ වෙබ් අඩවි ඔස්සේ ද මේ ආකාරයෙන් දැක ගන්නට ලැබුණා.

එම වීඩියෝ කොටස පහතින්.

https://vimeo.com/576163666

මේ පිලිබඳ බොහෝ සටහන් හුවමාරු වීම හේතුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන පෙළ අඩංගු සටහනක් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ ද මේ ආකාරයට පළකර තිබුණා.

https://www.facebook.com/MPRambukwella/posts/368295307991961

එහිදී ද අවසානයේ දක්වා තිබුනේ දී තිබුනේ “ඒ කිහිප දෙනා ඉතාම කාලකන්නි පිරිසක්” යනුවනේ මෙම කටයුතු මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් එම ප්‍රකාශය සිදුකළ බවක්

මේ අනුව ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ගුරුවරුන් ඉවත් කිරීම සඳහා ගුරුවරුන් මෙහෙයවන කණ්ඩායම පමණක් කාලකණ්ණි කණ්ඩායමක් ලෙස අමත්‍යවරයා හඳුන්වා තිබෙනවා. එහි කිසිවිටෙකත් සමස්ත ගුරු ප්‍රජාවම කාලකන්ණි යනුවනේ අමාත්‍යවරයා ගුරුවරුන් ආමන්ත්‍රණය කර තිබුනේ නැහැ.

කෙසේනමුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා, ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න කර තිබුනේ සැබෑ කාලකන්ණි කවුරුන් ද යනුවෙන්.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි විරෝධතාවයේදී නිරෝධායන නීති කඩකල බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු, පොලීසිය විසින් නිරෝධායනයට යොමු කෙරුණා. ඔවුන් මුලතිව් හි නිරෝධායනය මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබු අතර තමන් ඇතුළු පිරිසට අත්වූ අසාධාරණයට නීතිමය පියවර ගනිමින් අරගලය දිගටම සිදුකරන බව ද මෙසේ පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් පළවූ තවත් වාර්තාවක් මෙතනින්.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් සරසවි ඇදුරෝ ප්‍රතිචාර දක්වති යන තේමාවෙන් පළ වූ මව්බිම පුවත් වාර්තාව මෙතනින්. එහි අදහස් අතර දැකගනන්ට ලැබෙන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් ගුරු අරගලය වෙනුවෙන් පෙනී සිටි කිහිප දෙනා වෙත එල්ල කර තිබුණ ද එම ප්‍රකාශය සමස්ත ගුරු පරපුරට ම බලපා ඇති ආකාරයක්.

මේ පිළිබඳව ගුරුවරියක් සිය අදහස් දක්වා තිබු ආකාරයන් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිදු කළ බවට සඳහන් ප්‍රකාශයේ සමස්ත ගුරුවරුන් ‘කාලකණ්ණි’ ලෙස ඔහු හඳුන්වා දුන් බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහනක් බවයි.

මේ ප්‍රකාශය සිදුකළ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ මුල් දර්ශන පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබුනේ ගුරුවරුන් මෙහෙයවන පිරිස, ‘කාලකණ්ණි’ පිරිසක් යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබු ආකාරයක්.

කෙසේනමුත් මෙහිදී අමාත්‍යවරයා චෝදනා කර තිබු පිරිස,  සමස්ත ගුරුවරුන් නියෝජනය කරමින් අරගලය නිරත වන බැවින් මෙම ප්‍රකාශ හරහා සියලු ගුරු පරපුරට ‘කාලකණ්ණි’ යනුවෙන් හඳුන්වා තිබුනේ දැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රශ්න කර තිබුණා. මේ සම්බන්ධයෙන් ඇතැම් ගුරු සහ විද්වත් පිරිස් පළකර තිබු අදහස් වලින් ද පෙන්වා දී තිබුනේ එම ප්‍රකාශය හරහා ගුරු ප්‍රජාවට බලපෑමක් ඇතිවී තිබු ආකාරයක්.

Avatar

Title:ගුරුවරු කියන්නේ කාලකන්ණි යනුවෙන් කෙහෙළිය අමාත්‍යවරයා පැවසුවා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading