Update (14/03/2023 ) : සාමාන්‍ය මුදල් සංසරණය  සදහා භාවිතා නොකරන , නමුත් 75 වන නිදහස් දිනයට සමගාමිව සමරු මුදලක් ලෙස රුපියල් 1000 කාසියක් පෙබරවාරි මුල් සතියේදී මහ බැංකුව විසින් නිකුත්කළ අතර එය මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් නුවර ජනපති මැදුරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පිළිගන්වා තිබුණා. මීට කලින්ද මෙවැනි ආකාරයේ වැඩි වටිනාකමකින් යුත් කාසි නිකුත් කර තිබුණු අතර ඒවාද සාමාන්‍ය භාවිතය/මහජනයා අතර සංසරණය සඳහා යොදා ගන්නේ නැති අතර භාවිතා වන්නේ සමරු මුදල් ලෙසයි. මෙම රුපියල් දහසේ සමරු කාසිය පිලිබදව මහා බැංකුව මගින් විස්තර ඇතුලත් කර තිබු නිවේදනය කියවිය හැකියි මෙතනින්.

මෙම රුපියල් දහසේ සමරු කාසි සීමාසහිත ප්‍රමාණයක් තිබෙන බව සහ ඒවා රුපියල් 6000 ක් එක කාසියකට ගෙවා සිහිවටනයක් ලෙස මාර්තු මස 13 වනදා සිට චැතම් විදියේ පිහිටි ආර්ථික විද්‍යා කෞතුකාගාරයයෙන්  රැගෙන යා හැකි බවට මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබුණා. එය කියවිය හැකියි මෙතනින්. එවැනි කාසියක් ලබාගෙන ඡායාරුප සමාජ මාධ්‍යට එකතු කර තිබු අවස්ථාවක් මෙතනින්

කෙසේ වෙතත් සමාජ ජාලාවල සංසරණය වූ ඇතැම් නොමගයවන සුලු සටහන්වලින් හැගවිමට උත්සාහ කර තිබුණේ රජය විසින් රුපියල් දහසේ කාසියක් සාමාන්‍ය සංසරණයට එක්කර ඇති බවක් . එවැනි නොමඟ යවන සුළු සටහනක් පහතින්.

Facebook | Archived

Update (24-05-2022) : මීට පෙර 2022 මැයි මාසයේ ද රු.500 කාසි භාවිතයේ ඇති බව හඟවමින් හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදුකල විමසීමේ දී ද තහවුරු කර සිටියේ හුවමාරු වන්නේ සමරු කාසියක් බවත් දැනට භාවිතයේ ඇති අතරින් උපරිම අගයක් ඇත්තේ රු.20 කාසිය බවයි.

මෙවන් පසුබිමක මහ බැංකුව විසින් නිකුත් කළ බව දැක්වෙන 500 , 1500 සහ 2000 කාසි ඇතුළත් ඡායාරුප සටහනක් හේතුවෙන් බොහෝ පිරිසක් විමසා තිබුණේ, මෙම කාසි දෛනික ජීවිතයේදී භාවිතා කළ හැකිද යන්නයි. ඒ පිළිබඳ අප කළ කරුණු අනාවරණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

රුපියල් 500 , 1500, 2000 යනාදී අගයන් සඳහන් කාසි කිහිපයක ඡායාරුප ද සමඟින් මීට වසර දෙකකටත් පෙර පළකර තිබු සටහනක් නැවත වරක් හුවමාරු වෙමින් තිබු අතර ඒ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් හැඟී ගියේ මෙම කාසි සාමාන්‍ය භාවිතයට යොදා ගැනෙන බවටයි.

Facebook | Archived FB | Archived

සැමරුම් කාසි භාවිතය සම්බන්ධව විවිධ අදහස් මෙම සටහන් සඳහා ප්‍රතිචාර වශයෙන් පළ කර තිබුණේ මෙලෙසින්.

එමෙන්ම 3000කට අධික පිරිසක් මෙම සටහන හුවමාරු කර තිබුණ නිසා අප මේ කාසි පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමට තීරණය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මහ බැංකුව විසින් මෙලෙස නිකුත් කරන කාසි දෛනික ජීවිතයේදී දකින්නට නොලැබීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ බොහෝ පිරිසක් විමසිල්ලෙන් පසු වුණා. සැබවින්ම ඊට හේතුව කුමක්ද?

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට අප ශ්‍රී ලංකා මහ බැංකුව වෙබ් අඩවියේ මෙම සමරු කාසි සඳහා දක්වා ඇති තොරතුරු වෙත අවධානය යොමු කළා.

විවිධ අවස්ථා සැමරීම සඳහා 1957 සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමරු කාසි හා නෝට්ටු නිකුත් කර ඇති බවයි එහි දක්වා තිබුණේ.

සමරු කාසි වර්ගීකරණය කර ඇති කොටස් දෙකකි. එනම්, සංසරණය සඳහා යොදන සමරු කාසි සහ සංසරණය සඳහා නොයොදන සමරු කාසි ලෙසයි.

සංසරණය සඳහා නොයදෙන සමරු කාසි හිමාකාර ලෙසත් සංසරණය දීප්තිමත්, වර්ණ මුද්‍රිත හා කොටසක් ආලේපිත (selective plated) යන විශේෂ තත්ත්වයන් යටතේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන බවටයි එම වෙබ් අඩවියේ සඳහන් වුණේ.

cbsl.gov.lk (සිංහල) | Archived Link

Commemorative Coins Issued by the Central Bank of Sri Lanka

මෙම වෙබ් අඩවියේ 1957 සිට මේ වන තෙක් මහ බැංකුව මගින් නිකුත් කළ සමරු කාසි සම්බන්ධයෙන් කාසිය නිකුත් කළ වර්ෂය, කාසි වර්ගය, ලෝහය, විෂ්කම්භය සහ ටංකනය කල (minted) කාසි ගණන කොපමණද යන්න දක්වා තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබූ රු.2000 සමරු කාසිය කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සරය නිමිත්තෙන් 2011 වර්ෂයේ මහ බැංකුව විසින් නිකුත් කළ කාසියයි. එම කාසිය සංසරණය සඳහා නොයෙදුණු (හිමාකාර) එනම් සමාජයේ දෛනික භාවිතයට නොමැති කාසියක් (Frosted Proof) බවට මහ බැංකුව විසින් දක්වා තිබුණේ මෙලෙසින්.

ඉහත දක්වා තිබූ මුහුණත වටිනාකම රු. 1500 කාසිය 2006 වර්ෂයේ බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම සඳහා නිකුත් කරන ලද කාසියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය නිමිත්තෙන් 1990 වර්ෂයේදී මුහුණත වටිනාකම රුපියල් 500 සමරු කාසියක් නිකුත් කර ඇත්තේද සමාජයේ දෛනික භාවිතයේ නොමැති ලෙසටයි.

නොයෙකුත් අවස්ථාවන්හිදී එකම මුහුණත් අගයකින් යුත් කාසි ද විවිධ සැමරුම් සඳහා වාර ගණනකදී නිකුත් කර ඇති බව ද නිරීක්ෂණය වූ අතර මෙම වර්ෂයේදීද, රු.1000ක මුහුණත් අගයකින් යුත් කාසි දෙකක් මහ බැංකුව විසින් නිකුත් කර තිබුණේ, ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය නිමිත්තෙනි. මෙම කාසිද හිමාකර ලෙස එනම් දෛනික මුදල් භාවිතයේදී යොදා නොගනී.

මේ වර්ෂයේ නිකුත් කළ 1000 සැමරුම් කාසිය සම්බන්ධයෙන් දක්වා තිබූ සටහනක් මෙතනින්. එසේම මහා බැංකුවේ 70 වන සංවස්තරය සඳහා රුපියල් 20 සමරු කාසියක් මෙන්ම සංසරණය සඳහා යොදාගන්නා කාසියක් ද නිකුත් කළ බවට පුවත් වාර්තාවක් මෙතනින්.

1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වනවා. ඒ අනුව වර්තමානයේ සංසරණයේ පවතින සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කළ හැකි කාසි වර්ග වන්නේ රු.20, රු10, රු.05, රු.02 සහ රු.01 කාසීන් වේ.

රුපියලේ, දෙකේ, පහේ සහ දහයේ කාසි අපට සමාජයේ සමාන්‍ය දෛනික භාවිතයේදී යොදා ගැනෙන අතර ඉහළ වටිනාකමකින් යුත් කාසි සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපට දැකගන්නට නොලැබේ.

ඉහත සටහන් දෙමළ බසින් ද පසුගිය වසරේ හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳ අප Factcrescendo දමිළ කණ්ඩායමේ කරුණු විමර්ශනය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු අනුව පෙන්වා දිය හැක්කේ මෙරට 500 , 1000, 1500, 2000 වැනි කාසි මහ බැංකුව විසින් නිකුත් කර ඇති බවට පැවසෙන පුවත සත්‍ය වන නමුත් ඒවා විවිධ සැමරුම් අවස්ථාවන් වලදී සමරු කාසි ලෙස නිකුත් කර ඇති ඒවා වන අතර සාමාන්‍ය ව්‍යවාහරයේදී භාවිතය සඳහා යොදා නොගන්නා බවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති වැඩිම අගයක් ඇති කාසිය රුපියල් විස්සේ කාසියයි. ඇතැම් පිරිස මේ සම්බන්ධයෙන් කරුණු නොදැනුවත්කම හේතුවෙන් නොමග ගොස් තිබුණි

Also Read: Fact Check : ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුදුණය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Avatar

Title:ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading