
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
පසුගියදා ඉරිදා සිදුවූ නේපාල ගුවන් අනතුරේ පටිගත කළ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
නේපාලයේ ගුවන් යානයක් ඊයේ(16) අනතුරකට ලක් වූ අතර එම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.
නේපාලයේ ගුවන් අනතුර ලෙස සඳහන් කරමින් එම වීඩියෝව පළ වූ තව ත් අවස්ථාවක් මෙතනින්. Archived Link
මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ විමර්ශනයක යෙදීම අප සිදු කළේ මෙලෙසින්.
Update 01/20/23:
එමෙන්ම නේපාල් ගුවන් අනතුර යනුවෙන් සඳහන් කරමින් තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.
මෙම වීඩියෝවේ අවස්ථා 3ක් එකතු කරමින් සකසා තිබු අතර පළමු වැන්න ගුවන් යානයේ ඇතුළත ගුවන් සේවිකාවන් දර්ශන ලෙසත්, දෙවන අවස්ථාව ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ පිටත සිටි පුද්ගලයෙක් ලබා ගත් දර්ශන ලෙසත්, අවසාන වීඩියෝ කොටස අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගසා ඇති අයුරු ලෙසිනුත් හඟවමින් හුවමාරු වූ එම වීඩියෝව පහතින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
නේපාලයේ කත්මණ්ඩු සිට පොඛාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගුවන් යානයේ මඟීන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 72ක් රැගත් ගුවන් යානයක් පසුගිය 15 වන දා අනතුරට පත් වුණා.
ATR 72 යෙටී එයාලයින් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානාව කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙම සිදුවීම වන අවස්ථාවේ වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඉහත වීඩියෝව නේපාල ගුවන් අනතුරේ අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යවල දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් අප මෙම වීඩියෝව Invid තාක්ෂණය ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම වීඩියෝව 2021 වසරේ අගෝස්තු මාසයේ සිට එම වීඩියෝවම අඩංගු මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා.
එම මාධ්‍ය වාර්තා වලට අනුව, ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ 2021 වසරේ අගෝස්තු 17 වන දින රුසියාවේ මොස්කව්හි කුබින්කා ගුවන් තොටුපළ අසලට ගොඩබෑමට පෙර කඩා වැටුණු රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් වන Il-112V හි වීඩියෝවකි. මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ගුවන් විශ්ලේෂක Alex Macheras විසින් ඉහත සිදුවීම සඳහන් කරමින් එම වීඩියෝව Twitter ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
යානයේ දකුණු එන්ජිමේ ඇති වූ ගින්න සිද්ධියට ප්‍රධාන හේතුව ලෙස සැලකේ. අනතුරින් යානයේ සිටි පරීක්ෂණ නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් ඉංජිනේරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඉහත වීඩියෝව රූගත කර ඇත්තේ රුසියාවේ මොස්කව් ප්‍රදේශයේ කුබින්කා ගුවන් තොටුපළ අසල බව තහවුරු වුණා.
ඒ එම වීඩියෝවේ තත්පර 26 ක් පමණ ගත වන විට කොළ පැහැති පල්ලියක් දැක ගන්නට ලැබෙන අතර.එහි තත්පර 36 දී, ගුවන් යානය රතු සහ සුදු පැහැති කුළුණු දෙකක් (බොහෝ දුරට ටෙලිකොම් කුළුණු) හරහා ගමන් කරන බව දැක ගන්නට ලැබේ. ඒ අනුව Google Earth ආධාරයෙන්, Kubinka ගුවන් තොටුපළ අසල පල්ලිය සහ කුළුණු දෙක දැක ගැනීමට හැකිවනවා.


නේපාලයේ පසුගිය ඉරිදා සිදු වූ අනතුරේ අවසන් තත්ත්පර කිහිපය එහි ගමන් කළ මගියෙකු විසින් ෆේස්බුක් සජීවි දර්ශන ලෙස රූගත කෙරුණු අවස්ථාවක් NDTV ඉන්දීය මාධ්‍ය වාර්තාව පෙන්වා දුන්නේ මෙලෙසින්.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් වෙනත් කරුණු විමර්ශන කණ්ඩායමක් සැකසූ වාර්තාව මෙතනින්.
Update 01/20/23:
ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ ඉහත දෙවන වීඩියෝව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නේපාලයේ සිදුවූ ගුවන් අනතුරේ වීඩියෝවක් ලෙස මෙම වීඩියෝව ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා.
නමුත් එවැනි වීඩියෝවක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවේන් එම වීඩියෝවේ එන පළමු වීඩියෝ කොටස වෙත අපගේ අවධානය යොමු කළා.
එහිදී අප පරීක්ෂා කර බැලුවේ නේපාලයේ අනතුර සිදුවූ Yeti Airlines ගුවන් සේවයට අයත් ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම වෙතයි. එම ගුවන් සේවයේ නිල ඇඳුම කහ සහ කොළ පැහැති නිල ඇඳුමක් ඇති බවට අපට දැක ගන්නට ලැබුණා.
නමුත් ඉහත වීඩියෝවේ ගුවන් සේවිකාවන් සැරසී සිටි නිල ඇඳුමේ පැහැය පවන්නේ රතු සහ කළු පැහැති නිල ඇඳුමකි.
Also Read : The Yeti Air Hostess Recorded This TikTok Video Several Months Before The Pokhara Crash!
එමෙන්ම එම අවස්ථාවේ ගුවන් මගීන් ලෙස අසුන්ගෙන සිටින්නේ නිල ඇඳුමෙන් සැරසී සිටින පිරිසක් බවට දැක ගන්නට ලැබෙන අතර එය බොහෝ විට හදිසි අවස්ථා තත්ත්වයකදී ගුවන් සේවා කාර්ය මණ්ඩලයක් මුහුණ දිය යුත්තේ කෙලෙස ද, යන්න පුරුදු පුහුණු කරන අවස්ථාවක් බවට බොහෝ දුරට දැක ගන්නට ලැබේ.
ඒ අනුව එම වීඩියෝව පිලිපීනයේ ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක වීඩියෝවක් බවට අපගේ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණා.
PTC Aviation Training Center Inc නමැති එම මධ්‍යස්ථානයේ පුහුණු වන පිරිසගේ නිල ඇඳුම සහ ඉහත වීඩියෝවේ දක්වා ඇති ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම එක සමාන වේ.
එමෙන්ම ගුවන් යානයක් කඩා වැටෙන දෙවන කොටස නේපාලයේ අනතුර නොවන බවට අප ඉහත පෙන්වා දුන් වීඩියෝවයි.
මළසිරුරු සම්බන්ධ බවට හඟවා තිබූ වීඩියෝවේ දැක්වෙන්නේ පසුගිය වර්ෂයේ ඉන්දුනීසියාවේ “Calonarang” නම් සම්ප්‍රදායික උත්සවයක් පැවැත් වූ අවස්ථාවකි. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වශයෙන් මැරුණු පුද්ගලයන්ගේ මළ සිරුරු නොව ජීවත්ව සිටින පුද්ගලයන් මැරුණු පුද්ගලයන් ලෙස රඟ දක්වන අයුරුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
එම වීඩියෝ කොටසේ සම්පූර්ණ වීඩියෝව පහතින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ නේපාල ගුවන් අනතුර ලෙසින් පෙන්වා දුන් වීඩියෝවේ දැක්වෙන්නේ, 2021 වසරේ අගෝස්තු 17 වන දින රුසියාවේ මොස්කව්හි කුබින්කා ගුවන් තොටුපළදී සිදුවූ ගුවන් අනතුරක වීඩියෝවකි.

Title:නේපාල ගුවන් අනතුරේ වීඩියෝවක් ලෙස හුවමාරු වන පැරණි වීඩියෝවක්!(Video)
Fact Check By: Pavithra SandamaliResult: False