දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

False Health Hoax

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන පසුබිමක ඩෙංගු වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ලෙස විවිධ විධික්‍රම පිළිබඳව ද සමාජ ජාලාවල පැතිරෙනවා. එහෙත් මේ ක්‍රම බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මකව සැබැවින්ම ඩෙංගු මර්දනය කල හැකි ක්‍රම බවට ඔප්පු වී නැහැ. අප මේ සටහන තුලින් අවධානය යොමු කරන්නේ දණහිසේ සිට දෙපතුළ දක්වා පොල් තෙල් ආලේපකරගෙන සිටීමෙන් ඩෙංගු මදුරුවාගෙන් වැළකිය හැකි බවට පළවන සමාජ ජාලා සටහන් පිලිබදවයි.

සමාජ මාධ්‍ය සටහන් 

දණහිසේ සිට දෙපතුළ දක්වා පොල්තෙල් ආලේප කිරීමෙන් ඩෙංගු උවදුරෙන් බේරිය හැකි බවට සමාජ ජාලා සටහන් පළව තිබුණා.

Facebook | Archived

මෙම සටහන්වලින් දැක්වෙන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා.

  1. දණහිසේ සිට දෙපතුළ දක්වා පොල්තෙල් ආලේප කිරීමෙන් ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වැළකිය හැකියි.
  2. ඩෙංගු මදුරුවන් පියාසර කරන්නේ දණහිසට පහලින්.

මෙම කරුණු වට්ස් ඇප් ඔස්සේ ද ඉංග්‍රීසි බසින් වේගයෙන් පැතිරෙන ආකාරයක් දැකගන්නට ලැබුණා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

මෙම ඉංග්‍රීසි බසින් නිර්මාණය කරන ලද සටහන වසර ගණනාවක් තිස්සේ සමාජ ජාලා හරහා පැතිරෙන්නේ ඉන්දියාවේ තිරුපතිහි Saisudha නම් රෝහලේ B.සුකුමාර්  නමැති වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් ලෙසින්.

වෛද්‍ය සුකුමාර්ගේ නව අවභාවිතා කරමින් වයිරල් වූ පණිවුඩයක්..

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සැබැවින්ම Saisudha Hospital ලෙස රෝහලක් පවතින අතර එහි සුකුමාර් ලෙස වෛද්‍යවරයෙක්ද සිටිනවා. අප FactCrescendo ඉන්දීය කණ්ඩායම,  ඔහුගෙන් විමසා සිටියේ වට්ස්ඇප් සමාජ ජාලා හරහා හුවමාරු වන ආකාරයේ කරුණු ඔහු විසින් නිර්දේශ කර ඇතිද යන්නයි.

තමන් අස්ථිවේද (orthopedist) වෛද්‍යවරයෙක් බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසිදු අවස්ථාවක මෙවන් ඩෙංගු රෝගයෙන් වැළකිය හැකි ක්‍රමවේදයක් පිලිබඳ නිර්දේශ කර නොමැති බවත් මෙම ව්‍යාජ සටහන් වසර ගණනාවක් පුරා තමාගේ නම අවභාවිතා කරමින් හුවමාරු වෙන බවයි. එමෙන්ම පොල්තෙල් ආලේප කිරීම මගින් ඩෙංගු උවදුරෙන් ආරක්ෂා විය හැකි බවක් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පුවී නොමැති බවත් වෛද්‍ය සුකුමාර් පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට වසර කිහිපයකට පෙර පෙන්වාදුන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනාගතය බියකරු විය හැකි බවයි. විශේෂයෙන්ම ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ තත්ත්වය වඩාත් පීඩාකාරී තත්වයක් ඇතිවිය හැකි බවට ද ඔවුන් නිවැරදිව අනුමාන කර තිබුණා.

ඩෙංගු වාහක මදුරුවාට, දණහිසට වසා වැඩි උසකට, ඇතැම්විට අඩි 50ක් තරම් උසකට පවා, පියාසර කිරීමේ හැකියාව පවතිනවා…

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව තහවුරුව ඇත්තේ ඩෙංගු රෝග වාහක මදුරුවන්ට (Aedes aegypti) මීටර 400 ක පරාසයක් දක්වා පියාසැරිය හැකිය. එසේම සාමාන්‍යයෙන් ඩෙංගු රෝග වාහක මදුරුවන්ට පොළව මට්ටමේ සිට අඩි 50ක් පමණ දක්වා සීමාවකට පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා. එමනිසා ම මහල් නිවාස තුළින් ද ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. ඉන්දියාවේ හයිද්‍රබාඩ්හි උස් ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු වසීග්‍රයෙන් ව්‍යාප්ත වීම පිලිබඳ 2021 වසරේ දී වාර්තා වී තිබුනේ මෙලෙසින්. එම නිසා ඩෙංගු මදුරුවන් පියාසර කරන්නේ දණහිසෙන් පහල උසකින් පමණක් යනුවෙන් සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ප්‍රකාශය ද සාවද්‍ය බව තහවුරුවේ.

පොල්තෙල් ප්‍රබල ප්‍රතිජිවකයක් ලෙස කටයුතු කරන බව පිළිගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ තහවුරුව නොමැත.

ලෝරික් අම්ලයේ ව්‍යුත්පන්නයක් වන Monolaurin යම් ප්‍රතිජීවක ගුණ පෙන්වනවා. ලෝරික් අම්ලය පොල් තෙල්වල සංඝටකයක් ලෙස පවතින නිසා පොල්තෙල්ද ප්‍රතිජිවකයක් ලෙස සැලකිය හැකි බවට සමාජ ජාලා සටහන් ඔස්සේ පැතිරෙනවා විය හැකියි. නමුත් පිරිසිදු පොල්තෙල් වල හෝ නිස්සාරණය කරන ලද පොල්තෙල්වල එම ගුණ නොමැති බව පර්යේෂණවලදී තහවුරුව තිබෙනවා. Source: The Conversation

Monolaurin නිස්සාරණය කිරීම සදහා පොල්තෙල් උපයෝගී කරගන්නවා. එය බැක්ටීරියා, වෛරස් සහ දිලිර ආසාදනයන්ට එරෙහිව සටන් කිරීම සදහා උපයෝගී කරගන්නවා. මෙම සංයෝගය ප්‍රකට වන්නේ ආසාදනයවීම් වලට එරෙහිව කාර්යක්ෂමව සටන්කරන සංයෝගයක් ලෙසයි. කෙසේ වෙතත් පොල්තෙල්වල ඍජුව මෙම සංයෝගය දැකගත නොහැකියි. එය නිස්සාරණය කරන්නේ පොල්තෙල්වල අඩංගු ලෝරික් අම්ලය භාවිතයෙන්. 

පොල්තෙල් ආසාදනයවීම් වලට එරෙහිව ක්‍රියා නොකරන බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබද විස්තර කියවිය හැකියි මෙතනින්

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ

මේ පිලිබදව අප ශ්‍රී ලංකාවේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් කරුණාරත්නගෙන්ද විමසා සිටියා. ඔහු පවසා සිටියේ ද දණහිසට පහලින් පොල්තෙල් ආලේප කර ඩෙංගු උවදුරෙන් ගැලවිය හැකි බවට වන සටහන් වල විද්‍යාත්මක සත්‍යතාවයක් නොමැති බවයි. සමාජ ජාලාවල මේ දිනවල ඩෙංගු පිළිබද බොහෝ දේ පළවන බව පවසා සිටි ඔහු ඒවායේ ඇතැම් කරුණුවල වැඩිදුර සිතීමට ,සොයා බැලීමට දේ ඇති බවත්, ඇතැම් කරුණු සාවද්‍ය බවත් පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ගව්රි ලොකු ගලප්පත්ති

පොල් තෙල් ප්‍රතිජීවකයක් නොවන බවත්, එයට ඩෙංගු වැළැක්විය හෝ සුව කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිලිපීනයේ මැලේරියාව සහ අනෙකුත් රෝග වාහක හා පරපෝෂිත රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරීනී, වෛද්‍ය ගව්රි ලොකු ගලප්පත්ති මහත්මිය ද AFP වෙත සඳහන් කර තිබුණා.

මෙවැනි ප්වෙ‍රතිකර්නුම වෙත නැඹුරු වෙනවා වෙනුවට, මදුරු දෂ්ට කිරීම් වළකා ගැනීම සඳහා, මදුරු දැල්, දිගු අත් ඇඳුම්, මදුරු විකර්ෂක (repellents), වාෂ්පකාරක (vaporizers) යනාදිය භාවිතා කළ හැකි බවත්, නිවසේ ජලය ගබඩා කරන බඳුන්, නිතර හිස් කිරීම සහ පිරිසිදු කිරීමට සහතික කිරීම වැදගත් බවත් ඇය පෙන්වා දෙනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දැනට පැතිර යන ඩෙංගු රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, ඩෙංගු උණ සුළු කොට නොසලකන ලෙසත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. විශේෂයෙන දින දෙකකට පමණ වැඩි කාලයක් අඛණ්ඩව උණ වැළඳී ඇත්නම් දරුවන්ට ඩෙංගු පරීක්ෂාවට ලක් කළ යුතු බවත්, ඩෙංගු ආසාදනය වී ඇති දරුවන්ට ස්වභාවික දියරමය ආහාර ලබා දිය යුතු බවත් වෛද්‍යවරයා පවසයි. 

එසේම ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලෙස දරුවන්ට පැරසිටමෝල් වැඩිපුර ලබා නොදෙන ලෙසත් එයට හේතුව එමඟින් අක්මාවේ ක්‍රියාකාරීත්වයට අනිසි බලපෑම් ඇති කළ හැකි වීම බවත් වෛද්‍ය දීපාල් පවසනවා. දරුවන් ඩෙංගු රෝග තත්වයෙන් මිදීමෙන් පසුව ද සති තුනක පමණ කාලයක් ගතවන තුරු අධික ලෙස වෙහෙස වන ක්‍රියාකාරකම්හි නිරත නොකළ යුතු  යුතු බවද වෛද්‍ය දීපාල් පවසා තිබුනේ මෙලෙසින්.

ඩෙංගු රෝගීන්ට NSAID (Non-Steroidal Anti Inflammatory Drugs) ඖෂධ වර්ග භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දී තිබු වැදගත් පණිවිඩයක් මෙතනින්

ඉංග්‍රීසි බසින් මේ පිලිබඳ සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්.

Also Read: How is Climate Change Contributing to the Spread of Dengue? 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ පාද වල පොල්තෙල් ආලේප කර ඩෙංගු ආසාදනය වීමෙන් වැළකීමේ හැකියාවක් තිබෙන බවට හුවමාරු වන්නේ ඉන්දියාවේ වෛද්‍යවරයෙකුගේ නම අවභාවිතා කරමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක් බවයි. 

ඩෙංගු වාහක මදුරුවාට දණහිස මට්ටමට වඩා ඉතා වැඩි උසකට පියාසර කළ හැකි අතර දැනට සොයාගෙන ඇති පිළිගත් විද්‍යාත්මක කරුණු අනුව පොල්තෙල් ආලේප කිරීම මඟින් ඩෙංගු ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි. ඒ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ද තහවුරු කළා.

Avatar

Title:දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

Fact Check By: Kalana Krishantha 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *