දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් රත්නපුර පොලිසිය විසින් වටලා ඇති බවට අද (17) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණු අතර මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීගේ කංසා වගාවක් රත්නපුර පොලිසිය වටලයි” යනුවෙන් සඳහන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ජායාරූපයක් සහිත සමාජ මාධ්‍ය සටහනක් අද (17) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ජාතික ජන බලවේගය ඔස්සේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වැදුණු, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශාන්ත පද්මකුමාර මහතාගේ මැතිවරණ දැන්වීමක් ද මේ සමඟ පල කර තිබුණා.


එලෙස හුවමාරු තවත් සටහන් කිහිපයක් පහතින්.


එසේම ඇතැම් සටහන්හි දක්වා තිබුනේ ගංජා වගා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාර්ශ්වයන්ගෙන් ප්‍රශ්නකිරීම්වලදී, එම වගාව රත්නපුර දිස්ත්‍රික් ඉහත මාළිමා මන්ත්‍රීවරයාට අයත් බව ඔවුන් පැවසු බවකි.
මෙම සිදුවීම පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ද අදහස් දක්වා තිබු අයුරු මෙලෙසින්. මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ මේ පිළිබඳව පැහැදිලි කිරීමේ යුතුකමක්, ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාට තිබිය යුතු බවත්, පොලිසිය විසින් ද මේ ගැන සත්‍ය තොරතුරු වසන් නොකර මහජනයාට ලබාදිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමක් සිදු කලා.
Explainer (කරුණු පරික්ෂා කිරීම)
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
අප විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් සහ රත්නපුර පොලිසියෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරනු ලැබුවා. එහිදී තහවුරු වූයේ එවැනි මන්ත්‍රීවරයෙකුගේ කංසා වගාවක් වැටලීමක් සිදුකර නොමැති බවයි.
මේ අනුව අදාළ සිදුවීම ගැන වැඩිදුර විස්තර ලබාගැනීමට, අදාළ සිදුවීමේ දී අත්තඩංගුවට ගැනීම සිදු කරන ලද සූරියකන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට ද අප කටයුතු කළා.
සූරියකන්ද පොලිස් ස්ථානාධිපති
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ ඉඩමේ වගකාර තිබෙන්නේ කෙසෙල් වගාවක් බවත්, කුඩා බඳුන් දෙකක ගංජා පැළ දෙකක් වගාකර තිබීම සම්බන්ධයෙන් එම ඉඩමේ වගා කටයුතු සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීමක් සිදු කරන ලද බවයි.
එසේම අද (17) දිනයේ ඔහු ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී අදාළ තරුණයා වරද පිළිගෙන ඇති බවත්, එම තරුණයා මාලිමාවේ මන්ත්‍රීවරයෙකු නොවන බවත්, එම පුද්ගලයා මන්ත්‍රීවරයාට සම්බන්ධ බවට හෝ තොරතුරක් ලැබුනේ නැති බවත්, සැකකරු වරද පිළිගනිම හේතුවෙන් මේ ගැන වැඩිදුර විමර්ෂණයක් සිදු කළේ නොමැති බවත් සඳහන් කර සිටියා.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන්
මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවෙකුගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ, ගංජා ගස් දෙකක් වගාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද බුලුතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයකු අද (17) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 3000 ක දඩයක් සමඟ නිදහස් කරන ලද බවයි.
තවද අදාළ තරුණයා ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රදේශයේ අයෙකු බව ද ඔහු සඳහන් කළා. එසේම මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පවුලට අයත් ඉඩමක, වෙනත් පාර්ශවයක් වගා කටයුත්තක් සිදු කර ඇති බවත්, එම පුද්ගලයා විසින් අදාල ගංජා පැළ දෙක වගා කර තිබෙන්නේ මෙකී ඉඩමේ බවට ද වාර්තා වී ඇති බවත්, ඒ ඔස්සේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයා සමබන්ධ කරගනිමින් ඉහත පරිදි සටහන් නිර්මාණ වී ඇති බව පෙනී බව ද , ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කලා.
කෙසේනමුත් මෙම සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධ බවට තොරතුරක් වාර්තා වී නොමැති බවද තවදුරටත් ඔහු සඳහන් කළා.
මන්ත්‍රීගේ මාමණ්ඩියගේ නිවසින් හමුවූ ගංජා යනුවෙන් ඉහත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබු අවස්ථාවක් මෙලෙසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා
එසේම අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහන් පෙළක් බවයි.
මෙම ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් හැකි ඉක්මණින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. සමාජ මාධ්‍ය සටහන් මගින් පෙන්වන ආකාරයේ වගාවක් තමා සතුව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය ඇතුළු වගකිව යුතු බලධාරීන් හරහා සොයා බැලීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
එසේම මන්ත්‍රීවරයා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම තුළ සටහනක් පල කරමින් මෙය අසත්‍ය සටහනක් බව සඳහන් කර තිබෙනවා.

එසේම ඉඩම සම්බන්ධයෙන් පැනනැගී ඇති කතිකාවත සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ, අදාළ ඉඩම සිය බිරිඳගේ නැගණියගේ ඉඩමක් බවත්, එය නිල වශයෙන් වගා කිරීම සඳහා කිසිවකුට ලබාදී නොමැති වුවත්, ප්‍රදේශයේ තරුණයන් දෙදෙනක් කුඩා බෝංචි වගාවක් එම ඉඩම කොටසක සිදුකරගෙන ගොස් තිබු බවත්, ඒ අතරතුර මෙම තරුණයන් සතුව කුඩා කංසා පැළ දෙකක් තිබීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ගෙන පසුව වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ව නිදහස් කොට ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Title:රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් රත්නපුර පොලිසිය විසින් වැටලුවා ද ?
Fact Check By: Pavithra HansaniResult: Insight


