කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වසර අවසනදී ඉල්ලා අස්වීමේ තීරණයක?

Missing Context Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබූ අතර ඒ පිළිබඳව අප සිදු කරන සටහන් පිළිබඳ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව වෙනසක් සඳහා මග පෑදෙමින්, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව කොළඹ පල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ වතිකානුවෙන් ලැබෙන තොරතුරු උපුටා දක්වමින් ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වාර්තා කරයි යනුවෙන් ‘අගරදගුරු ඉල්ලා අස්වෙයි..?’ යන තේමාවෙන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

2009 වසරේ සිට 9 වැනි කොළඹ අගරදගුරුතුමන් ලෙස සේවය කරන කාදිනල් හිමිපාණන්, මේ වසරේදී සිය 79 වැනි වියට පා තබයි.

පල්ලියේ නීති රීති අනුව රදගුරුතුමන්ලා වයස අවුරුදු 75 දී ඉල්ලා අස්විය යුතු වුවද, කාදිනල් හිමිපාණන් හට වයස අවුරුදු 80 දක්වා පාප් වහන්සේ තේරීමේ ඡන්ද බලය හිමි වේ. 

කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් සිය 79 වැනි උපන්දිනයෙන් පසු විශ්‍රාම ගැනීමට ස්වේච්ඡාවෙන්ම කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට පසුබිම් වී ඇත්තේ අගරදගුරුතුමන්ගේ මෑත කාලීන ක්‍රියාකලාපය සහ සභාවේ නායකත්වයේ දිශානතිය පිළිබඳව වතිකානුවේ ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වයයි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු යුක්තිය ඉල්ලා උන්වහන්සේ කළ ප්‍රකාශයන් සහ වතිකානුවේ ශ්‍රී ලංකා තානාපති මොන්සිඤ්ඤෝර් ඇන්ඩ්‍රේ ජොස්වොවිච් හිමිපාණන් මෑතකදී අවධාරණය කළ සංහිඳියාව පිළිබඳ ස්ථාවරය අතර යම් පරස්පරතාවයක් නිරීක්ෂණය වන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

කාදිනල් හිමිපාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස දැනට නම් හතරක් පිළිබඳව අවධානය යොමුව ඇති බව පල්ලියේ ආරංචි මාර්ග සඳහන් කරයි.”

FB| FB

මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) : 

ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලා අස්වීමේ තීරණයක් පිළිබඳ ආරංචි මාර්ග අනුව, කාඩිනල් රංජිත් මහතාගේ නවතම ක්‍රියාකාරකම් සහ කොළඹ සභාවේ නායකත්ව දිශාව පිළිබඳව වතිකානයේ කිහිප දෙනෙකු අතර අසතුටක් වර්ධනය වී ඇති බවට සඳහන් කරමින් හිමිපාණන්ගෙන් සමීපතයින් සඳහන් කර ඇත්තේ, ඔහුගේ 79 වන උපන්දිනය ලබන අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමට කාදිනල් හිමිපාණන් සූදානමක් බවට Sri Lanka Guardian වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් සඳහන් කළේ, අගරගුරු පදවිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ වතිකානුව මගින් බව ත්, කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින් බවයි.

ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබන වසරේදී වයස අවුරුදු 80ක් පිරුණද, ඔහුගේ විශ්‍රාමය සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව පියතුමන් වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

අගරදගුරු හෝ රදගුරුතුමෙකු විශ්‍රාම ගැනීමේ ක්‍රියාවලිය

වතිකානු කැනන් නීති සංග්‍රහයට (Code of Canon Law) අනුව, අගරදගුරු හෝ රදගුරුතුමෙකු විශ්‍රාම ගැනීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් 401 වන කැනනය (Canon 401) මගින් පාලනය වේ. 

එහි ප්‍රධාන පියවර මෙසේය

වයස් සීමාව සහ ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීම: වයස අවුරුදු 75 සම්පූර්ණ වූ රදගුරුතුමෙකු (අගරදගුරුතුමන්ලා ඇතුළුව) තම ඉල්ලා අස්වීමේ ලිපිය ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතුය.

පාප් වහන්සේගේ තීරණය: ඉල්ලා අස්වීම ලැබුණු පසු, පාප් වහන්සේ පවතින තත්ත්වයන් සලකා බලා එය වහාම පිළිගන්නේද, නැතහොත් තවදුරටත් සේවය කරන ලෙස දන්වා එය ප්‍රමාද කරන්නේද යන්න තීරණය කරයි.

නිලයේ රැඳී සිටීම: පාප් වහන්සේ ඉල්ලා අස්වීම පිළිගත් බව නිල වශයෙන් දන්වන තුරු එම රදගුරුතුමා තම ධූරයේ රාජකාරි දිගටම කරගෙන යනු ලබයි.

ගෞරව නාමය (Emeritus Status): ඉල්ලා අස්වීම පිළිගත් පසු, අදාළ තැනැත්තා එම පදවියේ “විශ්‍රාමික අගරදගුරු” (Archbishop Emeritus) හෝ “විශ්‍රාමික රදගුරු” යන ගෞරව නාමය දරයි.

සෞඛ්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වීම: 401 §2 කැනනයට අනුව, යම් රදගුරුතුමෙකු අසනීප තත්ත්වයක් හෝ වෙනත් බරපතල හේතුවක් නිසා තම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම්, වයස 75 ට පෙර වුවද ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අගරදගුරුතුමෙකු විශ්‍රාම ගැනීමෙන් පසු නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය 

මෙය ඉතා රහසිගත සහ ක්‍රමානුකූල පියවර කිහිපයකින් සමන්විත වේ. වතිකානු නීතිවලට අනුව එහි ප්‍රධාන අවධීන් මෙසේය

1. තොරතුරු රැස් කිරීම සහ උපදෙස් ලබා ගැනීම (Consultation Phase)විශ්‍රාම යාම හෝ මරණය හේතුවෙන් පදවියක් පුරප්පාඩු වූ විට, ශ්‍රී ලංකාවේ සිටින පාප් වහන්සේගේ නියෝජිතයා හෙවත් ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා  (Apostolic Nuncio) තුමන් විසින් අදාළ අගරදගුරු පදවියේ අවශ්‍යතා සහ පවතින තත්ත්වය පිළිබඳව රහසිගත වාර්තාවක් සකස් කරනු ලබයි.මෙහිදී අපෝස්තලික තානාපතිතුමන් විසින් රහසිගතව එම පළාතේ අනෙකුත් රදගුරුතුමන්ලා, ප්‍රමුඛ පෙළේ පූජකවරුන් සහ ඇතැම් විට ගිහියන්ගෙන් ද අදහස් විමසනු ලැබේ. වැඩි දුර තොරතුරු මෙතනින්.

2. නාම යෝජනා ලැයිස්තුව සැකසීම (The Terna)එම උපදෙස් සහ පරීක්ෂණවලින් අනතුරුව, සුදුසු යැයි හැඟෙන පූජකවරුන් හෝ රදගුරුතුමන්ලා තිදෙනෙකුගේ නාම ලැයිස්තුවක් අපෝස්තලික තානාපතිතුමන් විසින් සකස් කරනු ලැබේ. මෙය “ටර්නා” (Terna) ලෙස හැඳින්වේ. අපෝස්තලික තානාපතිතුමන් මෙම නම් තුන සහ ඒ පිළිබඳ වාර්තාව වතිකානුවේ ඇති “රදගුරුතුමන්ලා පිළිබඳ දෙපාර්තමේන්තුව” (Dicastery for Bishops) වෙත යොමු කරයි.

3. වතිකානු දෙපාර්තමේන්තුවේ සමාලෝචනය (Review by the Dicastery)වතිකානුවේ සිටින කාදිනල් හිමිවරුන් සහ රදගුරුතුමන්ලාගෙන් සැදි මණ්ඩලයක් විසින් අපෝස්තලික තානාපතිතුමන් එවූ වාර්තා සහ නම් තුන ගැඹුරින් අධ්‍යයනය කරනු ලබයි. ඔවුන් එම ලැයිස්තුව අනුමත කිරීමට හෝ අවශ්‍ය නම් අලුත් නම් ඉදිරිපත් කරන ලෙස අපෝස්තලික තානාපතිතුමන්ට දැන්වීමට ද පුළුවන.

4. පාප් වහන්සේගේ අවසන් තීරණය (The Pope’s Decision) දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් අවසාන නිර්දේශයන් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත පුද්ගලිකව ඉදිරිපත් කරනු ලබයි. ඕනෑම රදගුරු පත්වීමක අවසන් තීරණය සහ බලය ඇත්තේ පාප් වහන්සේ සතුව පමණි.පාප් වහන්සේ නිර්දේශිත නම් තුනෙන් එක් අයෙකු තෝරා ගනී, නැතහොත් සම්පූර්ණයෙන්ම වෙනත් අයෙකු පත් කිරීමට ද උන්වහන්සේට හැකියාව ඇත.

5. නිල නිවේදනය (Announcement)තෝරාගත් පුද්ගලයා එම ධූරය භාර ගැනීමට එකඟ වූ පසු, වතිකානය විසින් එම පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබේ. සාමාන්‍ය යෙන් මෙම ක්‍රියාවලිය සඳහා මාස 6 සිට අවුරුද්දක පමණ කාලයක් ගත විය හැකිය.

රදගුරු හෝ අගරදගුරු පදවියකට පත් කරනු ලබන පුද්ගලයෙකු සතුව තිබිය යුතු මූලික සුදුසුකම්

වතිකානු කැනන් නීතියේ 378 වන වගන්තිය (Canon 378) අනුව, මූලික සුදුසුකම් මෙසේය.

ගැඹුරු ඇදහිල්ල සහ යහපත් චරිතය: ඔහු නොසැලෙන ඇදහිල්ලක් ඇති, යහපත් සදාචාරයකින් හෙබි, දේවගරුබිය ඇති සහ ජනතාවට ආදර්ශවත් චරිතයක් විය යුතුය.

වයස: පත්වීම ලබන අවස්ථාව වන විට අවම වශයෙන් වයස අවුරුදු 35ක් සම්පූර්ණ වී තිබිය යුතුය.

පූජක සේවා කාලය: පූජකවරය ලබා අවම වශයෙන් අවුරුදු 5ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.

උසස් අධ්‍යාපන සුදුසුකම්: ඔහු ශුද්ධ වූ බයිබලය, දේවධර්මය (Theology) හෝ කැනන් නීතිය (Canon Law) පිළිබඳව ආචාර්ය උපාධියක් (Doctorate) හෝ අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් (Licentiate) ලබා තිබිය යුතුය. එසේ නොමැති නම් එම විෂයන් පිළිබඳව මනා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.

නායකත්ව හැකියාව: පදවියක් පාලනය කිරීමට අවශ්‍ය කළමනාකරණ හැකියාව, මනා පෞරුෂය සහ පොදු ජනතාව සමඟ කටයුතු කිරීමේ හැකියාව සලකා බලනු ලැබේ.

විශේෂ කරුණ: අගරදගුරු පදවියක් සඳහා තේරීමේදී, බොහෝ විට දැනටමත් වෙනත් රදගුරු පදවියක සේවය කරන පළපුරුදු රදගුරුතුමෙකු හෝ අදාළ පදවියේම සහායක රදගුරුතුමෙකු (Auxiliary Bishop) කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2022 වසරේ ද, මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් බවට සටහන් පළ වූ අතර ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ අගරදගුරු පදවියෙන් මෙම වසරේ අවසානයේදී විශ්‍රාම යන බවට පවසන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් සඳහන් කළේ, අගරගුරු පදවිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ වතිකානුව මගින් බව ත්, කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින් බවයි. මෙම වසරේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ අගරදගුරු පදවියෙන් විශ්‍රාම යන බවට පළවන්නේ අසත්‍ය සටහනක් බවයි පියතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Result Stamp

Title: කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වසර අවසනදී ඉල්ලා අස්වීමේ තීරණයක?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *