දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමක් සිදුව ඇති පසුබිමක මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නිම කළ මිලියන 380ක් මුදලක් නැවත වැරදීමකින් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එහි මූලික ගිණුමෙන් මිලියන 380ක් කලින් අවස්ථාවක මුදල් ගෙවා ඇති කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් නැවත ගෙවීම් කර ඇති බවට දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.
“RDA එකේ ප්‍රධාන ගිණුමෙන් කලින් ගෙවීම් කරද්දී, දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉංජිනේරුවා, විධායක ඉංජිනේරුවා ප්‍රධනා ඉංජිනේරුවා වෙන්න පුළුවන් ඔවුන් හරහා තමයි චෙක් පත් ගෙවීම සිදු වූයේ, මේ ආණ්ඩුව පැමිණි පසු මේ ගෙවීම් සියල්ල මාර්ග අධිකාරියේ මූලස්ථානයෙන් ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරා. 2023 කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිලා තියෙන එම මුදල් ප්‍රමාණයම එම කොන්ත්‍රාත්කරුවන්ට නැවත වැරදිලා ගෙවලා. නැවත මුදල් ලබා ගැනීමට ලියුම් යවනවා”
මේ ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන් හට වැඩිපුර ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වුණා.





මෙහි නිර්වද්‍යතාවක් ඇත්ද, යන්න පිළිබඳ කරුණු පරීක්ෂා කර බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
මන්ත්‍රී නලින් බණ්ඩාර
ප්‍රධාන මාධ්‍ය ධාරා ද, නලින් බණ්ඩාර මහතා විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කර තිබූ අතර මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට නැවත මිලියන 380ක් ගෙවූ බවට ඔහු සතුව කුමන හෝ වාර්තාවක් සාක්ෂියක් ඇත් ද යන්න පිළිබඳ අප ඔහුගෙන් විමසීමක් කළා.
ඒ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති ඉහත සඳහන් කොන්ත්‍රාත්කරුවන්ට ලංකා බැංකුව විසින් නැවත ගෙවීමක් කර ඇති බවට සඳහන් වන ලිපියක් අපගේ ඉල්ලීම පරිදි ඔහු අප වෙත යොමු කරනු ලැබුවා. එහි තමන් සිදු කළ ප්‍රකාශයට සාක්ෂියක් බවට ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.
Document-98අදාළ වාර්තාව විශ්ලේෂණය
මෙම ලිපිය ලංකා බැංකුව (BOC) විසින් නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටින්නේ, පද්ධති දෝෂයක් හේතුවෙන් වැරදීමකින් කොන්ත්‍රාත්කරුවන් පිරිසකට බැර වූ රුපියල් 51,053,326.59 ක මුදලක් නැවත ලබාගැනීමට සහාය වන ලෙසයි.
2024 දෙසැම්බර් 30 වන දින සිදුකළ අරමුදල් හුවමාරුවක් (SLIPS file), බැංකු පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් 2026 ජනවාරි 23 දින නැවත වරක් (Duplication) සිදුවී ඇත. මෙලෙස වැරදීමකින් රුපියල් 263,529,072.11 ක මුදලක් බැර වී තිබුණු බව ත්, බැංකුව විසින් එම මුදලින් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගෙන ඇති අතර, තවමත් අයකර ගැනීමට ඇති ඉතිරි මුදල රුපියල් 51,053,326.59 ක් බව ත්, එම ලිපියේ සඳහන් කොට තිබේ.
තවමත් අයකර ගැනීමට ඇති රුපියල් 51,053,326.59 ක ඉතිරි මුදල අය කර ගත යුතු ක්‍රොන්ත්‍රාත් ආයතනය මෙන් ම, කොපමණ මුදල් ප්‍රමාණයක් ද, යන්න එම ලිපියේ සඳහන් කොට තිබේ.
මෙම ලිපිය මගින් මෙම මුදල් අදාළ ආයතනවලින් නැවත ලබාගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම සහ සම්බන්ධීකරණය ලංකා බැංකුව බලාපොරොත්තු වන බව එහි වැඩි දුරටත් සඳහන් වන බව දැක ගන්නට ලැබේ.
කෙසේ වෙතත් ලංකා බැංකුව විසින් එවන ලද මෙම ලිපියේ පැහැදිලිවම සඳහන් වන්නේ, මෙම මුදල් බැර වී ඇත්තේ ලංකා බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් (Internal Account) මිස මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුමකින් නොවන බවයි.
මෙම වැරදීම සිදුව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම් අංශයෙන් නොව, ලංකා බැංකුවේ අභ්‍යන්තර පද්ධතියේ ඇති වූ දෝෂයක් නිසා බව මෙම ලිපියෙන් නිල වශයෙන් තහවුරු වේ.
ඒ අනුව මෙම ලිපිය මගින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට පියවා නිම කළ මුදලක් එම අධිකාරියේ නිල ගිණුමෙන් නැවත ගෙවා ඇති බවට තහවුරු වන බවට මන්ත්‍රීවරයා කරන ප්‍රකාශ අසත්‍ය බව තවදුරටත් තහවුරු වේ.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
මාර්ග සංවර්ධන අධිකාරිය, කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිදු ගෙවීමක් ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් අනු ගිණුමකින් කිසිම විටෙක අදාල ව්‍යාපෘති සඳහා සිදුකර නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරනවා.
එමෙන් ම නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිදු ලිපියක් බැංකුවට යවා නොමැති බව ත්, බැංකුව විසින් අධිකාරියට කිසිම ලිපියක් යොමුකර නොමැති බව ත්, අධිකාරිය සහ කොන්ත්‍රාත්කරුවන් අතර කිසිම ගැටලුවක් නොමැති බව ත්, කොන්ත්‍රාත්කරුවන් සහ බැංකුව අතර ගැටලුවක් පවතීනම් එහි වරද මාර්ග සංවර්ධන අධිකාරියේ නොවන බව ත් ඔහු පවසනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙවරක් මුදල් ගෙවා නොමැති බව ත්, බැංකුවේ මුදල් තැන්පත් කර ඇත්තේ එක්වරක් පමණක් බවට ප්‍රධාන ගණකාධිකාරිවරයා තහවුරු කළ බව ත්, මෙම ගෙවීම් සිදුකර තිබෙන්නේ මඩකලපුව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට වන අතර එහි සත්‍යාසත්‍යතාවය මාර්ග සංවර්ධන අධිකාරියේ අදාල පළාත්භාර අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික මූල්‍ය) තුෂාර විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ, මහා භාණ්ඩාගාරයෙන් අමාත්‍යංශය හරහා මාර්ග සංවර්ධන අධිකාරියට ලැබෙන මුදල් තාක්ෂණික ක්‍රමවේදය අනුව දෙවතාවක් නොගෙවන බවයි. අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් මුදල් සෘජුව කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවන අතර ප්‍රාදේශීය කාර්යාල හරහා නිවැරදි ක්‍රමවේදයට අනුව ගෙවීම් සිදුකරන බව ත්, එම කාර්යාලවල අධ්‍යක්ෂවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරිවරු හරහා ගෙවීම් සිදු කරන බව ත්, ප්‍රාදේශීයව සිදුකරන ගෙවීම් ප්‍රධාන කාර්යාලයේ ගිණුම් හරහා සිදු නොවන බව ත් ය. මෙම ගෙවීම් කටයුතු නැගෙනහිර පළාතේ ගණකාධිකාරිවරයා හරහා සිදුවන අතර ඒ හේතුවෙන් ද්විත්ව ගෙවීමක් සිදුවීම ප්‍රායෝගිකව හෝ තාක්ණිකව සිදු නොවන බව ත්, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ත්, ඔහු පෙන්වා දෙනවා.
මේ පිළිබඳව පැහැදිලි කරන මාර්ග සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශය මෙතනින්.
එමෙන් ම මේ පිළිබඳව තවදුරටත් තහවුරු කරමින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබුණා.

මේ පිළිබඳව ලංකා බැංකුව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, මේ පිළිබඳ විමසීමට අප ලංකා බැංකුව හරහා උත්සහ කරත් එම අවස්ථාව ව්‍යර්ත විය. ඔවුන්ගෙන් මේ සඳහා පිළිතුරක් ලැබෙන්නේ නම්, මෙම වාර්තාව පිළිතුරු සමගින් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube


