තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම නැවත්වීමට නම් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බව චීන ජනපති ප්‍රකාශ කළාද?

Internatioanl Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2026 අප්‍රේල් අග වන විට මැදපෙරදිග කලාපයේ (විශේෂයෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර) පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය විසින් සාමකාමී විසඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව විසින් ඉරානය සමඟ ගනුදෙනු කරන චීන සමාගම්වලට නව සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටී. 

මෙවන් පසුබිමක චීන ජනපති ෂී ජින් පින් ඉලක්ක කරගනිමින් විවිධාකරයේ සටහන් නිර්මාණය වී තිබු අතර ඔහු න්‍යෂ්ටික අවි භාවිතය නැවත්වීම ගැන සිදුකළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වූ සටහනක් ගැන අප සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

සී.සී.ටී.වී පුවත් සේවය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් චීන ජනපති ෂී ජින්පින් විසින්, තෙවන ලෝක යුද්ධයක් වැළැක්වීමට නම් ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු සියලුම න්‍යෂ්ටික අවි වහාම ඉවත් කළ යුතු බව ප්‍රකාශ කර ඇති බව දක්වමින් සහ චීනය මෙලෙස විවෘතව ඇමරිකාවට අභියෝග කිරීමත් සමඟ මුළු මහත් බටහිර ලෝකයම මේ වන විට දැඩි කම්පනයකට පත්ව ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook |Archived Link

අදාළ සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

න්‍යෂ්ටික අවි මුලින්ම භාවිතා නොකරන (No First Use) ප්‍රතිපත්තියක සිටින චීන ජනපති විසින් සැබෑ ලෙසම මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෑතකාලීනව මැදපෙරදිග කලාපයේ ඉරාන ඊශ්‍රායල ගැටුම හමුවේ චීනය තම ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික බලය උපයෝගී කර ගනිමින් සක්‍රීය මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරමින් සිටී. මෙවන් පසුබිමක චීන ජනපති ෂී ජින්පින් විසින් තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට නම් ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සතු න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක් සිදුකර ඇත් නම් එය ලෝකයේම අවධානය යොමු වන ප්‍රබල ප්‍රකාශයකි. ඒ අනුව ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එවැනි ප්‍රකාශයක් කර නොමැත

චීන ජනාධිපති ෂී ජින් පින් විසින් ලෝකය තුන්වන ලෝක යුද්ධයකින් බේරා ගැනීමට අවශ්‍ය නම් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සතු න්‍යශ්ටික අවි ඉවත් කිරීම අවශ්‍ය වන බවට CCTV මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර ඇත්ද  යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. ඒ අනුව චීනයේ රාජ්‍ය මාධ්‍ය ජාලය වන CCTV  පුවත් සේවයේ නිල වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ලෝකය තුන්වන ලෝක යුද්ධයකින් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සතු න්‍යෂ්ට්ක අවි ඉවත් කිරීම අවශ්‍ය බවට ප්‍රකාශයක් කර නොමැති බවයි. CCTV News නිල වෙබ් අඩවියේ චීන ජනාධිපතිවරයාගේ සියලුම නිල ප්‍රකාශ සහ හමුවීම් පිළිබඳ වාර්තා සහිත Xi Jinping Special නම් අංශයට පිවිසීම මෙතනින්.

මැද පෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් චීන විදේශ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තුළ ද ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිය යුතුයි. නමුත් එවැන්නක් එහිද අන්තර්ගතව තිබුණේ නැහැ. ඉරාන ඊශ්‍රායල ගැටුම සහ න්‍යෂ්ටික අවි පිළිබඳ චීනයේ නිල දෛනික නිවේදන පළ කරනු ලබන චීන විදේශ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය මෙතනින්.

චීන රාජ්‍ය සභා පුවත් කාර්යාලයේ නිල වෙබ් අඩවිය තුළ චීන ජනපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශවල පිටපත් දැක්වෙන අතර එය පරීක්ෂා කිරීමේදී ද එවැනි ප්‍රකාශයක් හඳුනාගැනීමට ලැබුණේ නැහැ.

චීන ජනාධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ප්‍රමුඛ ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයකින් වාර්තාකර තිබිය යුතුයි. නමුත් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් චීන ජනාධිපතිවරයා විසින් සිදු කළ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ නැහැ.

න්‍යෂ්ටික අවි පිළිබඳ චීන ස්ථාවරය

චීනය ඇමරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් අවි ඉවත් කරන ලෙස සෘජු නියෝග නිකුත් කර නොමැති අතර, ඒ වෙනුවට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික බලවතුන් සිය වගකීම් ඉටුකළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

චීනය විසින් “න්‍යෂ්ටික අවි පළමුව භාවිතා නොකිරීමේ” (No First Use – NFU) ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන අතර, 2026 අප්‍රේල් 17 වන දින චීනය විසින් NPT ගිවිසුමේ 11 වන සමාලෝචන සමුළුව සඳහා වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් පහ (P5) අතර “න්‍යෂ්ටික අවි මුලින්ම භාවිතා නොකිරීමේ” ගිවිසුමක් ඇති කරගත යුතු බවට නැවතත් යෝජනා කර ඇත. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

ප්‍රථමයෙන් භාවිතා නොකිරීම (No First Use – NFU) යනු න්‍යෂ්ටික අවි සහිත රටක් අනුගමනය කරන ආරක්ෂක ප්‍රතිපත්තියකි.මෙහි සරල අදහස වන්නේ,

“වෙනත් රටක් අපට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන තෙක්, අපි කිසිම අවස්ථාවක ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිතා නොකරමු” යන්නයි.

මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ

ප්‍රතිප්‍රහාර සඳහා පමණි: න්‍යෂ්ටික අවි භාවිතා කරනු ලබන්නේ සතුරෙකු විසින් එල්ල කරන ලද න්‍යෂ්ටික ප්‍රහාරයකට පිළිතුරු දීමට (Retaliation) පමණි.

විශ්වාසය ගොඩනැගීම: රටවල් අතර අනවශ්‍ය බිය සහ සැකය අඩු කිරීමට මෙය උපකාරී වේ. හදිසි තීරණ මත න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීම මෙයින් වැළකේ.

සාම්ප්‍රදායික යුද්ධ: සතුරු රටක් සාම්ප්‍රදායික අවි (තුවක්කු, ටැංකි, මිසයිල) මගින් ප්‍රහාර එල්ල කළද, මෙම ප්‍රතිපත්තිය අනුව න්‍යෂ්ටික අවි භාවිතා නොකළ යුතුය.

මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන රටවල්

චීනය: මෙම ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන ප්‍රධාන රටකි.

ඉන්දියාව: “ප්‍රථමයෙන් භාවිතා නොකිරීමේ” ප්‍රතිපත්තියක් ඇතත්, රසායනික හෝ ජීව විද්‍යාත්මක ප්‍රහාරයකදී එය වෙනස් විය හැකි බව පවසා ඇත.

ඇමරිකාව සහ රුසියාව: මෙම රටවල් මෙතෙක් නිල වශයෙන් NFU ප්‍රතිපත්තියක් පිළිගෙන නැත. අවශ්‍ය වුවහොත් ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අයිතිය ඔවුන් සතුව තබාගෙන සිටියි.

කෙසේ නමුත්, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය නිල ප්‍රතිපත්තිය යටතේ චීනය න්‍යෂ්ටික බලවතුන්ගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් විවිධ අවස්ථාවලදී සිදු කර තිබෙනවා. ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90%කට වඩා හිමි ඇමරිකාව සහ රුසියාව තම අවි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බව චීනය දිගින් දිගටම අවධාරණය කර තිබෙනවා. අනෙකුත් රටවල් නිරායුධකරණයට එක්වීමට ප්‍රථම මෙම ප්‍රධාන බලවතුන් දෙදෙනා ආදර්ශයක් විය යුතු බව එහි අදහසයි. 

එසේම මැදපෙරදිග කලාපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් විය යුතු බවට චීනය දිගින් දිගටම කියා සිටින අතර, ඊශ්‍රායලය න්‍යෂ්ටික අවි ප්‍රපූලනය නොකිරීමේ ගිවිසුමට (NPT) එක්විය යුතු බවත්, ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ජාත්‍යන්තර පරීක්ෂාවට (IAEA) යටත් විය යුතු බවත් පවසා තිබෙනවා. වැඩිදුර තොරතුරු මෙතනින්.

නමුත් චීන ජනපති කිසිදු අවස්ථාවක තුන්වන ලෝක යුද්ධයකින් ලෝකය බේරා ගැනීමට නම් ඊශ්‍රායලය, එක්සත් ජනපදය හෝ එවැනි එක් පාර්ශවයක් හෝ රටවල් කිහිපයක් සම්බන්ධයෙන්, එම රටවල න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බවට වන ප්‍රකාශයක් සිදුකර නැහැ.

මෑතකාලීන මැදපෙරදිග අර්බුදය (ඉරාන ඊශ්‍රායල ගැටුම) හමුවේ චීනය සහ ජනාධිපති ෂී ජින්පින් නිල වශයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න සොයා බැලීමටද අප කටයුතු කළා.  

චීන ජනාධිපතිවරයා 2026 අප්‍රේල් 14 මැදපෙරදිග සාමය සඳහා කරුණු හතරක යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ යුද්ධය වෙනුවට දේශපාලන විසඳුම් සෙවිය යුතු බවයි. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ,

සියලු රටවල ස්වෛරීභාවයට සහ භූමියට ගරු කිරීම,

ලෝකය නැවතත් කැලෑ නීතියට ඉඩ නොතැබීම,

බලහත්කාරය හෝ තර්ජනය කිරීම වෙනුවට දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සෙවීම,

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සියලුම න්‍යෂ්ටික බලවතුන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්.

චීන ජනපතිවරයා ප්‍රකාශයට පත් කළ 2026 වාර්ෂික අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය දැක්වෙන වීඩියෝවේ දර්ශනයක්

අදාළ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන චීන ජනපතිවරයාගේ ඡායාරූපය ඔහු සිය කාර්යාලයේ සිට 2025.12.31 දින ප්‍රකාශයට පත් කළ 2026 වාර්ෂික අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය දැක්වෙන වීඩියෝවේ දර්ශනයකි.

කෙසේ නමුත් එම වීඩියෝව තුළද චීන ජනපතිවරයා විසින් තෙවන ලෝක යුද්ධයක් පිළිබඳව හෝ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නැහැ. මෙහිදී ඔහු අවධාරණය කරන්නේ චීනයේ ආර්ථික ස්ථාවරත්වය, ගෝලීය සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් වන අතර විශේෂයෙන් චීනය සහ තායිවානය අතර සබඳතා පිළිබඳව එහිදී අවධාරණය කර තිබෙනවා. එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, චීන ජනපති ෂී ජීන්පින් විසින් සී.සී.ටී.වී පුවත් සේවය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ලෝකය තුන්වන ලෝක යුද්ධයකින් බේරා ගැනීමට අවශ්‍ය නම් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සතු න්‍යෂ්ටික අවි ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. චීන ජනපති විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, කෙසේ නමුත් ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් න්‍යෂ්ටික අවි මුලින්ම භාවිතා නොකිරීමේ ගිවිසුමක් ඇති කරගත යුතු බවට නැවතත් යෝජනා කර තිබෙනවා.

Result Stamp

Title: තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම නැවත්වීමට නම් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බව චීන ජනපති ප්‍රකාශ කළාද?

Written By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *