දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුරකුමාර දිසානායක සහභාගී වූ ජන රැළියකදී, ඊලම නියෝජනය කරමින් ස්වාධීන රාජ්‍ය ඉල්ලා සිටින පුද්ගලයෙකු ඔහුගේ පසෙකින් සිටිමින්, සහය ලබාදුන් අවස්තාවක් බව ගම්‍ය කරන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වසර කිහිපයක සිට විටින් විට හුවමාරු වෙනවා. මේ නිසා, ඊලම සංකේතවත් කරන සිතියමක් සහිත ටි-ෂර්ට් එකක් ඇඳ සිටින පුද්ගලයෙකු, අනුර සමඟ එකට සිටින අයුරු යනුවෙන් සඳහන් ඡායාරුප සටහනේ ඇත්ත කතාව අපි සොයා බැලුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වෙනම ඊළමක් ඉල්ලා හඬ නගන ජන කොටස්, ජනපති අනුරට කැමති හේතුව ලෙස හඟවමින් මෙම සටහන් විවිධ අවස්ථාවල දී, විවිධාකාරයේ තේමා යටතේ පසුගිය වසර කිහිපය පුරාවටම හුවමාරු වී තිබුනේ මෙලෙසින්.


මෙම පළ කිරීම්වලට ලැබී ඇති අදහස් දෙස බලන විට, ජනාධිපති අනුරකුමාර දිසානායක, උතුරේ සංචාරයක නිරත වූ අවස්ථාවක ගත් ඡායාරූපයක් බවත්, ඔහු අසල සිටින පුද්ගලයා අඳින ලද කමිසයේ ශ්‍රී ලංකා සිතියමේ කොටසක් වෙන් කර පෙන්වා මුද්‍රණය කර ඇති බවත්, මෙය ඊලම් රාජ්‍ය ඉල්ලීම මුල් කරගෙන යාපනයේ පැවති පෙළපාලියක් යනාදී අර්ථකථන ඔස්සේ අදාළ ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුණා.
Fact Check (කරුණු විමර්ෂණය කිරීම) :
මෙම ඡායාරූපය කවදා ගන්නා ලද්දක් ද, සහ ඊට අදාළ පසුබිම දැන ගැනීම සඳහා එම ඡායාරූපය reverse image සෙවුමකට ලක් කර විමර්ශනය කළ විට, 2019 වසරේ අනුරකුමාර දිසානායක යාපනයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් බව දැක ගන්නට හැකි විය.
ඒ අනුව, 2019 ජනාධිපතිවරණය අභියස දී, එවර ද ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර දිසානායක මහතා සහභාගී වූ, 2019.10.02 දින (ජනාධිපතිවරණයට මසකට පමණ පෙර) යාපනය ටිම්මර් ශාලාවේ (Timmer Hall) පැවති සම්මන්ත්‍රණයක, පිළිගැනීමේ අවස්ථාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇති බව හඳුනාගත හැකි විය. Link | Archived
තවද සමාජ මාධ්‍ය තුළ බෙදාහරින ලද ඡායාරූපය, මුල් ඡායාරූපයේ Crop කළ කොටසක් දැක ගන්නට ලැබෙන අතර එහි සම්පූර්ණ ඡායාරූපය සමඟ සංසන්දනය, පහතින් දක්වා ඇත.

මෙම අවස්ථාවේ අනෙකුත් ඡායාරූප, පළකර ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නිල වෙබ් අඩවියේ අදටත් දැක ගන්නට ලැබෙන පුවත දෙස බැලූ විට, ඉහත සඳහන් සමාජ මාධ්‍ය පළ කිරීමේ බෙදාහරින ලද ඡායාරූපයේ මුල් ඡායාරුපය ඇතුළුව, අදාළ අවස්ථාවේ ඡායාරූප පෙළක් ද එහි ඇති බවද අපට නිරීක්ෂණය කළ හැකි විය.
එසේම වත්මන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු, ජාතික ජන බලවේගයට පක්ෂ පිරිස් සහභාගී වූ එම අවස්ථාවේ අනෙකුත් ඡායාරූප අතරින් කිහිපයක් ද පහතින්. සියල්ල මෙතනින්.



නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන කමිසය ඇඳ සිටි පුද්ගලයා හැර වෙනත් කිසිවෙකු ඒ ආකාරයේ ටී-ෂර්ට් එකක් අඳින ලද බවක් ද එහිදී නිරීක්ෂණය නොවීය.
එම පුද්ගලයා අඳින ලද කමිසයේ මුද්‍රණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු කලාපය හෝ ඊළාම් ප්‍රදේශ ලෙස හැඳින්වෙන කොටස හෝ නොවේ.
මෙහිදී අප ප්‍රධාන වශයෙන් පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ, සමාජ මාධ්‍ය තුළ මෙය සිංහල භාෂාවෙන් ඊලම් රාජ්‍ය ඉල්ලීම මුල් කරගෙනම මෙම කමිසය එම අවස්ථාවට අන්දවා ඇති බව පෙන්වා දී තිබුණද, එම කමිසයේ මුද්‍රණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත බවයි. Map
තවද ශ්‍රී ලංකා පළාත් සභා පනතට අනුව, නැගෙනහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ: මඩකලපුව දිස්ත්‍රික්කය (Batticaloa District), ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (Trincomalee District), අම්පාර දිස්ත්‍රික්කය (Ampara District) ඒවායි.
එහෙත් සමාජ මාධ්‍ය තුළ බෙදාහරින ලද ඡායාරූපය සමඟ මෙය ඊලම් රාජ්‍ය ඉල්ලීමක් ලෙසත් ඊලමය නියෝජනය කරන සංකේතයක් ලෙසත් එම ඡායාරූපය බෙදා හැර තිබේ.
ඊලම් සිතියම යනු කුමක්ද? එය දැනට ක්‍රියාත්මකද?
ඊලම් සිතියම යනු ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළත් වූ භූමිය හඳුනාගැනීම සඳහා යොදාගන්නා දේශපාලනික හා භූගෝලීය සිතියමකි. මෙය ශ්‍රී ලංකාවේ තමිල් ඊලමය (එනම් ශ්‍රී ලංකා දෙමළ ජනතාව සඳහා වූ ස්වාධීන රාජ්‍යයක්) ඉල්ලූ දේශපාලන ව්‍යාපාර සහ කොටි සංවිධානයේ (LTTE) අරගල සමයේ ඉදිරිපත් කරන ලද න්‍යායික සිතියමකි.
ඊලම් සිතියමට අනුව, ශ්‍රී ලංකාවේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම දෙමළ ජනතාවගේ මුතුන් මිත්තන්ගේ භූමිය ලෙස සලකනු ලැබේ.
- උතුරු පළාත: යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක.
- නැගෙනහිර පළාත: ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක.
මෙම දිස්ත්‍රික්ක අටම එකට සම්බන්ධ වූ භූමිය සාමාන්‍යයෙන් ‘දෙමළ ඊලම’ හෝ ‘ඊලම’ ලෙස සිතියම්වල පොදුවේ හඳුනාගනු ලැබේ. එසේම ඇතැම් අර්තකනයන්හි එය පුත්තලම දක්වා ද පෙන්නම් කරන්නේ මෙලෙසින්.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත සහ තමිල් ඊලමයේ සිතියම අතර වෙනස පහත දැක්වේ.

එබැවින් ඉහත සඳහන් සමාජ මාධ්‍ය පළ කිරීමේ බෙදාහරින ලද ඡායාරූපයේ ඇති පුද්ගලයා තමිල් ඊලමය නියෝජනය කරන කමිසයක් ඇඳ නොමැති බව ත් එම කමිසයේ මුද්‍රණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත බව ත් පැහැදිලි වේ.
ඓතිහාසික පසුබිම
ශ්‍රී ලංකා දෙමළ ජාතික දේශපාලන පක්ෂ සහ සටන්කරුවන්, උතුර හා නැගෙනහිර දශක ගණනාවක් තිස්සේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වූ, ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය සහ සම්ප්‍රදාය පොහොසත් වූ මුතුන් මිත්තන්ගේ භූමිය බවට තර්ක ඉදිරිපත් කරයි.
1957 බණ්ඩාරනායක – චෙල්වා ගිවිසුම සහ 1965 ඩඩ්ලි – චෙල්වා ගිවිසුම වැනි කාලසීමාවලින් පටන් ගෙන උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ ප්‍රධාන කතාබහක් වී තිබුණි. 1970 සහ 1980 දශකවලින් පසුව, විමුක්ති කොටි (LTTE) ඇතුළු සංවිධාන ලෙස වෙන්වූ තමිල් ඊලමක් ගැන ඉල්ලීම ශක්තිමත් කරමින්, මෙම උතුරු-නැගෙනහිර ඒකාබද්ධ භූමිය නිල වශයෙන් ‘ඊලම් සිතියම’ ලෙස දෙමළ ජාතික දේශපාලනයේ හැඩගැසුණි.
දේශපාලනික සහ නීතිමය ස්ථාවරය : ශ්‍රී ලංකා රජය සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන බැවින්, ඊලම් සිතියම හෝ උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීම යනු රටේ ස්වෛරීභාවයට එරෙහි වූවක් ලෙසත්, රටේ ඒකීයභාවයට හානිකර වෙන්කිරීමේ න්‍යායක් ලෙසත් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. Link
ඉන්දු-ලංකා ගිවිසුම (1987): රාජීව් ගාන්ධි – ජේ.ආර්. ජයවර්ධන ගිවිසුමට අනුව උතුරු සහ නැගෙනහිර පළාත් තාවකාලිකව ඒකාබද්ධ කර ‘උතුරු-නැගෙනහිර පළාත් සභාව’ පිහිටුවන ලදී. එහෙත් පසුව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව 2006 ඔක්තෝබර් 16 වන දින මෙම ඒකාබද්ධ කිරීම නීත්‍යානුකූලව අවලංගු කරන ලද අතර, උතුරු පළාත සහ නැගෙනහිර පළාත නැවත වෙන් වෙන් පළාත් ලෙස වෙන් කිරීමට තීන්දු වී, 2007 ජනවාරි 1 වැනිදා සිට වෙනම පරිපාලන පළාත් ලෙස ක්‍රියාත්මක විය.
වර්තමාන තත්ත්වය : අද ඊලම් සිතියම දක්නට ලැබෙන්නේ පුළුල් අර්ථයකින් යුත් දේශපාලනික සංකේතයක් ලෙසත්, ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ ඓතිහාසික අයිතිවාසිකම්, ස්වයං නිර්ණය අයිතිය සහ දේශපාලනික අභිලාෂයන් සිහිපත් කරන සංකේතයක් ලෙසත් මිස, ප්‍රායෝගිකව එවැනි ස්වාධීන රාජ්‍යයක් හෝ පරිපාලන සිතියමක් ශ්‍රී ලංකාව තුළ නොපවතී. Link
සැබවින්ම මෙම T-Shirt එක පැළඳ සිටි පුද්ගලයා පවසන්නේ කුමක්ද?
මෙවැනි විවාදයක් සමාජ මාධ්‍ය තුළ ඇතිවීමට ප්‍රධාන හේතුව 2019 වසරේ යාපනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකයා සහභාගී වූ සම්මන්ත්‍රණයකට සහභාගී වූ පුද්ගලයෙකු නැගෙනහිර පළාත නියෝජනය කෙරෙන කමිසයක් අඳිමින් සිටීමයි.
එබැවින් අප මේ පිළිබඳ දිගටම විමර්ශනය කළ විට, Puyal Nesan නම් අදාළ පුද්ගලයා, තම ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූපය පළ කරමින්, ‘අපේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ; මම දේශපාලන වෙළෙන්දෙක් නෙවෙයි., එයට කැමති සැබෑ නිලධාරියෙක් නොවේ, ස්වාධීන ලේඛකයෙක් – ලේඛක පුයල්නේසන්” කරමින් සටහනක් පළකර තිබු අයුරු පහත පරිදි දැක ගැනීමට හැකි විය.

අප මෙහි දැක්වෙන පුයාල් නෙල්සන් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මෙම කමිසය සහ 2019 වසරේ යාපනයේ ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාව ගැන විමසුවෙමු.
එහිදී ඔහු පවසා සිටියේ, තමා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ බව ත් මෙම කමිසය තම සගයෙකු වූ ගුරුවරයෙකු විසින්ම තමාට ලබා දුන් බව ත් ඔහු සඳහන් කළා. තවද 2002 වසරේ උතුරු සහ නැගෙනහිර පළාත් එකට තිබූ අවස්ථාවේදී, උතුරු-නැගෙනහිර ජාතික ක්‍රීඩා උළෙල සඳහා මෙම කමිසය මුද්‍රණය කරන ලද බව ත්, එය නියෝජනය කරන ආකාරයෙන්ම (NEP – North Easter Province) ලාංඡනය ද මෙහි ඇති බවත් ඔහු සඳහන් කළා.
තවද 2019 වසරේ, අනුර කුමාර සහෝදරයාගේ රැස්වීමට සහභාගී වීම සඳහා කිසිවෙකුට එවැනි විශේෂ ඇඳුම් ලබා නොදුන් බවත් එදින ඔහු අහම්බෙන්ම මෙම කමිසය පැළඳ පැමිණි බවත් සඳහන් කළා.
එසේම, මෙම ඡායාරූපය ඊලමය නියෝජනය කරන බව සඳහන් කරමින් වෙන්කිරීමක් ඇති කරන ආකාරයෙන් දැනට සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වන බව ඔහු ද නිරීක්ෂණය කළ බවත්, ඒ නිසාම ඉහත පළ කිරීම තම ෆේස්බුක් පිටුවේ පළ කළ බවත්, මෙම කමිසයේ මුද්‍රණය කර ඇත්තේ ඊලමේ දක්වන කොටසක් නොව, නැගෙනහිර පළාත දක්වන කොටසක් බවත් ඔහු නැවතත් අවධාරණය කළා.
මීට දශක දෙකකටත් පෙර, එනම් 2002 වසරේ පැවති ජාතික ක්‍රීඩා තරඟාවලිය සම්බන්ධ ටී-ෂර්ට් එකක් බැවින් සහ එම අවධියේ දැන් වාගේ සමාජ මාධ්‍ය හෝ ජංගම දුරකථන ඡායාරුප පහසුකම් නොතිබුණු බැවින්, මේ ගැන නැවත පරික්ෂා කළද ඒ හා සම්බන්ධ ඡායාරූප කිසිවක් සොයා ගැනීමට හැකි වුයේ නැති බවත් පුයාල් මහතා සඳහන් කළා.
ඔහු සඳහන් කළ පරිදිම 2002 වසරේ පැවති ජාතික ක්‍රීඩා උළෙල පිළිබඳ අන්තර්ජාලයේ සොයා බැලූ විට Daily News පුවත්පතේ ලේඛනගත කරන ලද පුවතක් අපට හඳුනාගත හැකි විය. එහෙත් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප අපට ලබාගත නොහැකි විය. තවද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ 2002 වසරේ පැවති ජාතික ක්‍රීඩා උළෙල පිළිබඳ වාර්තා තිබූ නමුත් ඒවායේද එම අවස්ථාවේ ඡායාරූප ප්‍රකාශයට පත් කර නොතිබුණි.
2019 වසරේ ද හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් ගැන සිදුකළ පැහැදිලි කිරීමක් – රාමලිංගම් චන්ද්‍රසේකර්
එබැවින් අප ඉහත සඳහන් කමිසයේ ඡායාරූපය ප්‍රතිලෝම රූප සෙවීමකට ලක් කර විමර්ශනය කළ විට, jvp canada නමැති ෆේස්බුක් පිටුවක මෙම කමිසයේ ඡායාරූප සහිත පළ කිරීමක් හඳුනාගත හැකි විය. මෙතනින්. Archived
2019 වසරේ මුල්වරට මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමඟ, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පැවසු බව සඳහන් කරමින්, අදාළ කමිසයේ සමීප ඡායාරූපය කිහිපයක් මෙන්ම එහි පසුපිට ඡායාරූපයක් ද ඇතුළත් කරමින්, පළවූ සටහනක පහත කරුණු දක්වා තිබුණා.
මෙම කමිසයේඉදිරියේ නැගෙනහිර පළාත පෙන්වන බවත්, උතුරු-නැගෙනහිර පළාතේ සංකේතය ද එහි දක්වා ඇති බවත්, ජාතික ක්‍රීඩා තරඟාවලියක දී ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් අඳින ලද ඇඳුම මෙය බවත්, උතුර සහ නැගෙනහිර නියෝජනය කළ ක්‍රීඩකයන් සඳහා, (එවකට උතුරු-නැගෙනහිර පළාත ඒකාබද්ධව තිබුණි) මෙම T-shirt ලබා දෙන ලද බවත්, උතුරු සහ නැගෙනහිර පළාත් පමණක් නොව, ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම පලාත නියෝජන මෙම වර්ගයේ T-Shirt පැළඳ සිටි බවත් එහි දැක්වුනා. එම සටහනේ ඡායාරූප පහතින්.



ඒ ඔස්සේ, වයිරල් ඡායාරූපයේ දැක්වුණු පුද්ගලයා පැළද සිටි ටී-ෂර්ට් එක සමඟ සැසඳීමක් පහතින්.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
එබැවින් ඉහත සඳහන් පළ කිරීම මත පදනම්ව, 2019 වසරේ යාපනයේ පැවති ජාතික ජනබලවේගයේ සංවිධානයෙන් පැවති රැස්වීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ද සහභාගී වී ඇති බව එම අවස්ථාවේ ඡායාරූප හරහා හඳුනාගත හැකි බැවින්, මෙම කමිසය සහ එම අවස්ථාව සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන විමසා ඇත්තෙමු.
එහිදී, මෙම ඡායාරූපය 2019 වසරේ ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක සහභාගී වූ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් බව සත්‍ය වුවත්, එම ඡායාරූපයට සහභාගී වූ එම පුද්ගලයා අඳින ලද කමිසය එම අවස්ථාව සඳහාම විශේෂයෙන් මුද්‍රණය කරන ලද කමිසයක් නොවන බව ත් ඔහුට අමතරව වෙන කිසිවෙකු එවැනි කමිසයක් එම අවස්ථාවට අඳින ලද්දේ නැති බවත් ඔහු අපට සඳහන් කළා.
2019 වසරේම එම පුද්ගලයා අඳින ලද කමිසය සමාජයේ මහත් කතාබහක් බවට පත් වූ නිසාම එකල පිළිබඳ විමර්ශනය කර තොරතුරු නිකුත් කර තිබූ බව ත්, තවද එම පුද්ගලයා 2019 වසරේ යාපනයේ පැවති අවස්ථාවට අහම්බෙන් අඳින ලද එම කමිසය දැන් සමහරු දේශපාලනික ලාභය සඳහා වැරදි අර්ථයක් සහිතව සමාජ මාධ්‍ය තුළ බෙදාහරින බව ත් අමාත්‍යවරයා සඳහන් කළා.
එපමණක් නොව ජාතික ජන බලවේග රජය, කිසි කලෙකත් ස්වාධීන රාජ්‍ය ඉල්ලීම සහාය දක්වන රජයක් නොවන බව ත් අප සියලු දෙනා සමාන යන ස්ථාවරයෙන්ම රට ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසුවා.
එසේම මෙම කමිසය 2006ට පෙර කාලසීමාවේ පැවති ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාවිතා කළ කමිසයක් බව ත් ඔවුන් තම නැගෙනහිර පළාත නියෝජනය කිරීම සඳහා මෙම කමිසය අඳින ලද බව ත් තමා 2019 වසරේ කාලසීමාවේදී මේ පිළිබඳ සිදු කළ විමර්ශනවලදී හෙළිදරව් වූ බවත් අමාත්‍යවරයා අප සඳහන් කළේ, ඒ පිලිබඳව 2019 වසරේ දී පළකර තිබු ෆේස්බුක් සටහන ද සම්බන්ධවයි.
2006 වසරට පෙර උතුරු නැගෙනහිර පළාත ඒකාබද්ධව ක්‍රියාත්මක වූ කාලයේ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් භාවිත කර තිබූ ලාංඡනයක්
එම කමිසයේ N E P (North Eastern Province) ලෙස සඳහන් කර තිබූ ලාංඡනය උතුරු නැගෙනහිර පළාත් එකට තිබූ කාලයේ භාවිතා කරන ලද ලාංඡනයක් ලෙස සඳහන් වන බැවින් අප ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කළෙමු.
එහිදී 1988 වසරේ සිට 2007 වසර දක්වා, එනම් උතුරු සහ නැගෙනහිර පළාත් එකට පරිපාලන කළ සමයේ, උතුරු-නැගෙනහිර පළාතේ ධජය සම්බන්ධ ලේඛන අපට හඳුනාගත හැකි විය. Link | Link
එහෙත් උතුරු-නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඉහත ටී-ෂර්ට් එකේ සඳහන් වූ ලෝගෝව, ඔවුන්ගේ ප්‍රකාශන සඳහා යොදාගෙන ඇති අයුරු දැක්වෙන ලේඛන කිහිපයක්ම අපට දැක ගන්නට ලැබුණා. උතුරු නැගෙනහිර පළාතේ දෙමළ භාෂා උත්සවයක ප්‍රකාශනයක එය දක්වා තිබුනේ මෙලෙසින්.
ඒ අනුව අදාළ ලාංඡනය, උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ බව අනුමාන කළ හැක. T-shirt එකේ සඳහන් ලාංඡනය සමඟ සංසන්දනයක් පහතින්.

එසේම 2006 වසරට පෙර, උතුරු නැගෙනහිර පළාත යනුවෙන් එකට ක්‍රියාත්මක වූ පළාතට අනුබද්ධිත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්, මෙම ලාංජනය, තවත් අවස්ථා කිහිපයක දීම සිය ප්‍රකාශයන වල යොදාගෙන තිබු බව දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

2007 ජනවාරි 1 වැනිදා සිට, ඊට පෙර වසර 20ක් තිස්සේ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ එක්ව පරිපාලන කටයුතු සිදුවූ උතුරු සහ නැගෙනහිර පළාත්, වෙන් වෙන් වශයෙන් උතුරු සහ නැගෙනහිර ලෙස අදටත් පරිපාලනය වන පළාත් ලෙස වෙන් කිරීමට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වෙනම ලාංජනය සමඟ ප්‍රකාශන නිකුත් කර තිබු බවත් අප සිදුකළ වැඩිදුර පරික්ෂාවේ දී ද දැකගන්නට ලැබුණි. ඒ අනුව, අදටත් යොදාගැනෙන මෙම නැගෙනහිර පළාත් ධජයේ ද , මඩකලපුව නියෝජනය කරමින්, වයිරල් වූ ඡායාරූපයේ ලාංජනයට සමාන මාළුවෙකුගේ සංකේතයක් දැක ගන්නට ලැබෙනවා.


උතුරු සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන / ක්‍රීඩා දෙපාර්තමේන්තුව
සමාජ මාධ්‍ය තුළ බෙදාහරින ලද ඡායාරූපයේ එම පුද්ගලයා අඳින ලද කමිසය, උතුරු-නැගෙනහිර පළාත හඳුනාගැනීම සඳහා 2002 වසරේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාවිතා කළ කමිසයක් බව සඳහන් වන බැවින්, අප ඒ පිළිබඳ උතුරු සහ නැගෙනහිර ලෙස 2006 වසරින් පසුව ක්‍රියාත්මක වන පළාත් අධ්‍යාපන සහ ක්‍රීඩා දෙපාර්තමේන්තු සම්බන්ධ කරගෙන විමසීමක් කරනු ලැබුවා.
එහිදී අපට පිළිතුරු ලබා දුන් සම්බන්ධීකරණ නිලධාරින් පැවසුවේ, පසුගිය වසර 10 පමණ කාලයේ තොරතුරු පමණක් මෙහි ලේඛනගත කර ඇති බවත් 2002 වසරේ පැවති අවස්ථාවක් වන බැවින් සහ 2007 සිට පළාත් වෙන් වෙන්ව පරිපාලනය වූ බැවින්, අදාළ කාලසීමාව සඳහා වූ ලේඛන දැනට නොමැති බවයි. කෙසේවෙතත්, ඒ පිළිබඳ සොයා බලා අපට දැනුම් දෙන බව සඳහන් කරනු ලැබීය. එම පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
ජනාධිපති අනුර කුමාර දිසානායක අසල, “ඊලමය නියෝජනය කරන” ටී-ෂර්ට් එකක් ඇඳ සිටින පුද්ගලයෙකු සිටින බවට වසර ගණනාවක් තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය නොමඟ යවනසුලු ය.
අපගේ විමර්ශනයෙන් හෙළි වූ පරිදි, එම ඡායාරූපය 2019 වසරේ ඔක්තෝබර් 2 වන දින, ජනාධිපතිවරණයට පෙර, යාපනයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට ආශ්‍රිතව ලබාගත් සත්‍ය ඡායාරූපයකි. වඩාත්ම වැදගත් කරුණ නම්, එම පුද්ගලයා ඇඳ සිටි කමිසයේ මුද්‍රණය කර ඇත්තේ ඊලම් සිතියම නොව, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත (මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර දිස්ත්‍රික්ක) බවයි. එහි ඇති “NEP” ලාංඡනය, 2006 වසරට පෙර උතුරු–නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවති කාලයේ භාවිතා වූ ලාංඡනයකි.
කමිසය ඇඳ සිටි Puyal Nesan මහතා (විශ්‍රාමික ගුරුවරයෙක්) දුරකථනයෙන් සම්බන්ධ කරගත් විට, එය 2002 වසරේ පැවති උතුරු–නැගෙනහිර ජාතික ක්‍රීඩා උළෙල සඳහා මුද්‍රණය කරන ලද, තම සගයෙකු විසින් ලබා දුන් කමිසයක් බවත්, එදින අහම්බෙන් එය පැළඳ පැමිණි බවත් තහවුරු කළේය.
වත්මන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ද මෙය තහවුරු කරමින්, එය එම අවස්ථාවට විශේෂයෙන් සකසන ලද කමිසයක් නොවන බවත්, ජාතික ජන බලවේගය කිසිදා ස්වාධීන රාජ්‍ය ඉල්ලීමකට සහාය නොදක්වන බවත් සඳහන් කළේය.
අපගේ පරික්ෂාවේ දී ද දැක ගන්නට ලැබුනේ ද, අදාළ ටි-ෂර්ට් එකේ මුද්‍රිත ලාංජනය, 2007 වසරට පෙර, උතුරු–නැගෙනහිර පළාත් එකට පැවති සමයේ, එහි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ ප්‍රකාශනවල මෙම ලාංජනය දැක ගන්නට ලැබෙන බවයි.
එබැවින්, “අනුරට ඊලමේ සහය ලැබෙන බවට” මෙම ඡායාරූපය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම නොමඟ යවනසුලු අර්ථකථනයකි. සත්‍ය ඡායාරූපයක්, දේශපාලනික වශයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සහිතව බෙදාහැරීමකි.


