ජනපති අනුර අලුත් අවුරුද්ද නොසැමරීම හා විකාශනය නොකිරීම පිළිබඳව සිරිල් ගාමිණී කතෝලික පියතුමන් ප්‍රසාදය පළ කරා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සිංහල- දමිළ අලුත් අවුරුද්ද සැමරුම ශ්‍රී ලාංකා වාසින් විසින් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබනවා. අලුත් සහ පරණ අවුරුද්ද සැමරෙන අප්‍රේල් 13, 14යන දින මෙවර කිතුණුවන් විසින් ජේසුස් ස්වාමීන් වහන්සේ අනුස්මරණය කරන ‘ශුද්ධ වූ සතිය’ තුල යෙදීම හේතුවෙන් ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් ආගම්වාදය අවුළුවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනපති අනුර කුමාර දිසානායක සිංහල අළුත් අවුරුද්ද නොසැමරීම හා විකාශනය නොකිරීම පිළිබඳව සිරිල් ගාමිණී කතෝලික පියතුමන් සිය ප්‍රසාදය පළ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

පියතුමන් විසින් සඳහන් කළ බවට දක්වා තිබූ ප්‍රකාශය මෙසේය.

ශුද්ධ වූ සතිය යනු පාස්කු ඉරිදාට පෙර එළඹෙන, ගොබ් ඉරිදායින් ආරම්භ වී පාස්කු ඉරිදා උදෑසනින් අවසන් වන කාලයයි. මෙය කතෝලික ජනවන්දනා ලිතක වසරේ උච්චතම අවස්ථාවයි. මෙහිදී ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව ඇතුළු වීම, අවසන් රාත්‍රී භෝජනය, උන් වහන්සේගේ දුක් විඳීම, කුරුසියේ ඇණ ගැසීම, මරණය සහ ශරීරය සොහොත් ගැබෙහි තැම්පත් කිරීම යන සිදුවීම් අනුස්මරණය කෙරේ. මෙය යාච්ඥාව, උපවාසය, දන්දීම, පසුතැවීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ අසීමිත ප්‍රේමය මෙනෙහි කිරීම සඳහා වෙන් වූ අතිශය ගාම්බීර කාල සීමාවකි. විශේෂයෙන් මහා බ්‍රහස්පතින්දා, මහ සිකුරාදා සහ පාස්කු සෙනසුරාදා යන දිනයන්හිදී දේවස්ථාන වල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට සහභාගී වීම කතෝලිකයන්ගේ ප්‍රධාන වගකීමකි. 

මේ කාලය රටේ ප්‍රීතිමත් සැණකෙළි හෝ උත්සව පැවැත්වීමට සුදුසු කාලයක් නොවේ. එබැවින් රටේ සුවහසක් කතෝලික ප්‍රජාවගේ විශ්වාසයන්ට හා මතවාදයන්ට ගරු කරන අපගේ ගරු ජනාධිපතිතුමා වෙත අපගේ ප්‍රසාදය පල කර සිටිමු..

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන් ම සිරිල් ගාමිණි පියතුමන් විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ බොහෝ අපගේ පාඨකයින් විමසා සිටි අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර ඇත් ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

නමුත් පියතුමන් විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි. පියතුමන් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය අවසන් වරට පුවත් වාර්තා කර තිබුණේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බවට පසුගිය පෙබරවාරි 5 වන දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයන් වේ. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඉන් පසුව අප සිරිල් ගාමිණි පියතුමන්ගේ ෆේස්බුක් ගිණුම සහ කොළඹ අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුව හරහා හෝ පියතුමන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් කළ බවට සටහනක් හෝ ප්‍රකාශයක් හෝ දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම නව ජනපති අනුර කුමාර දිසානායක සිංහල අළුත් අවුරුද්ද නොසැමරීම හා විකාශනය නොකිරීම පිළිබඳව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් සිය ප්‍රසාදය පළ කළ බවට දැක්වෙන කිසිදු සටහන් ප්‍රකාශයක් දැක ගන්නට නොලැබුණු බැවින් අප මේ පිළිබඳ පියතුමන්ගෙන් විමසා සිටියා.

පියතුමන් සඳහන් කළේ, තමන් සිදු කළ ප්‍රකාශයක් ලෙසට පෙන්වා දෙමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශයක් තමන් කිසි විටෙක, කිසිදු තැනකදී හෝ සිදු කර නොමැති බවයි. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් වන අතර මෙවැනි ප්‍රකාශ මගින් ජනතාව අතර ජාතිවාදය සහ ආගම් වාදය ඇවිලීමට දරන කුරිරු උත්සහය දැඩි ලෙස හෙළා දකින බවයි එතුමන් සඳහන් කළේ.

සිංහල දමිළ පරණ අවුරුදු යෙදෙන පසුගිය 13 වන දින යෙදී තිබුණේ ඉරු දිනකයි. කිතුනුවන් විසින් ‘ගොබ් ඉරිදා’ ලෙස හැඳින්වෙන මෙම ඉරුදිනෙන් ඇරඹුණු මෙම සතිය කිතුනුවන් විසින් ‘ශුද්ධ වූ සතිය’ ලෙස ලෙස හැඳින්වේ. ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළුවීමේ සිට කුරුසියේ දුක්විඳ උකුත්වීම, උත්ථාන වීම දක්වා විශේෂාකාරයෙන් ස්මරණය කරනු ලබනවා.

කෙසේ වෙතත් සෑම වසරකම නව අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර  විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය සිදු නොකිරීමට තීරණය කර තිබුණා මේ පිළිබඳ විවිධ පාර්ශවයන් විවිධ අදහස්, විවේචන දක්වා තිබූ අතර ජනපතිගේ මෙම තීරණයට  ප්‍රසාදය පළ කරමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ ප්‍රකාශය සාමූහික කතෝලික සභාවේ අදහසක් ලෙස හැඟවීමට තව ත් පාර්ශවයන් උත්සහ කර ඇති බවට පෙනී යනවා. 

සිංහල හා දමිළ අවුරුදු උත්සවය පිළිබඳ කතෝලික සභාවේ සුබපැතුම් පණිවිඩය කොළඹ පදවි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක් කර තිබූ අතර එහිදී හෝ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් ප්‍රකාශයක් අදහසක් කාදිනල් හිමිපාණන් විසින් හෝ සිදු කර ඇති බවට දැක ගන්නට නොලැබේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනපති අනුර කුමාර දිසානායක සිංහල අළුත් අවුරුද්ද නොසැමරීම හා විකාශනය නොකිරීම පිළිබඳව සිරිල් ගාමිණී ප්‍රනාන්දු කතෝලික පියතුමන් සිය ප්‍රසාදය පළ කළ බවට දක්වමින් පළ වූ  සමාජ මාධ්‍ය සටහන අසත්‍ය අතර පියතුමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට තහවුරු වේ.

Avatar

Title:ජනපති අනුර අළුත් අවුරුද්ද නොසැමරීම හා විකාශනය නොකිරීම පිළිබඳව සිරිල් ගාමිණී කතෝලික පියතුමන් ප්‍රසාදය පළ කරා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *