කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

 කච්චතිව් දූපත අපේ රටේ වගේම දකුණු ඉන්දීය දේශපාලනය තුළත් විටින් විට කරලියට එන මාතෘකාවක්.  ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටි නමුත් 1974  ඉන්දු – ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ අයිතියට පත් මෙම කුඩා දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතුය යන්න එදා සිට අද දක්වා දකුණු ඉන්දීය දේශපාලනඥයින් මධ්‍යම රජය වෙත සිදු කරන ප්‍රධාන ඉල්ලීමක්. කලින් කලට බිහිවන අණ්ඩු විසින් මෙම කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා දෙයිද?  යන්න පිළිබඳව මෙරට දේශපාලනඥයිනුත්  දැඩි උනන්දුවකින් පසුවෙනවා. මේ නිසාම මීට අදාළ විවිධ සමාජ මාධ්‍ය සටහන්   සමාජ මාධ්‍ය වේදිකාවල කලින් කලට අසන්නට, දකින්නට ලැබෙනවා. ඒ ආකාරයෙන් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අපගේ අවධානය යොමු වුණා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සමාජ මාධ්‍ය සටහන මේ දිනවල WhatsApp ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතිනවා. PRIME NEWS විසින් පළ කරන ලද බව කියන මෙම සටහනට අනුව කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි යනුවෙන් සඳහන් ය. මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ කච්චතිව් දූපත පෙන්නුම් කරන ඡායාරූපයක් ද සහිතවයි. 

මේ අතර කච්චිතිව් දූපත සම්බන්ධයෙන් මෑත කාලීනව ෆේස්බුක් ඔස්සේ ද සංසරණය වූ සටහන් කිහිපයක්  මෙලසෙ දැකගත හැකි වුණා. 

Facebook 

Facebook 

ඒ අනුව මේ දිනවල සහ මෑතකාලීනව සමාජ මාධ්‍ය වේදිකාවල කච්චතිව් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් අපි කරුණු සොයා බැලීමක් සිදු කළා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කච්චතිව් දූපත පවරා දීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා නැහැ

ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම හෝ පවරා දීම යන්න සම්බන්ධයෙන් මෑත කාලීනව ප්‍රධාන ධාරාවේ ඉන්දීය සහ මෙරට මාධ්‍ය  තොරතුරු වාර්තා කර තිබේ දැයි අප විමසා බැලුවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්ධයෙන් මෑත කාලීනව තොරතුරු වාර්තා කර තිබෙනු දැකගන්නට නොහැකි විය. 

WhatsApp ඔස්සේ හුවමාරු වන ඉහත සටහන පිළිබඳ අවධානය යොමු කිරීමේදී කච්චතිව් පවරා ගැනීමේ යෝජනාව සම්මත කර ඇත්තේ, ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුවක් ද නැතිනම් මධ්‍යම රජය ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් නොමැත. එමෙන්ම මෙම සටහන පළ කර ඇති දින වකවානුවක් ද මෙම සමාජ මාධ්‍ය සටහනේ පැහැදිලිව දැකගන්නට නොමැත. ඒ අනුව මේ දිනවල කච්චිතිව් සම්බන්ධ මෙවැනි පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විකාශය වී ඇති දැයි අප සොයා බැලුවේ කෙසේ වෙතත් කිසිදු පිළිගත් මාධ්‍යක මෙවැනි පුවතක් වාර්තා කර තිබෙන ආකාරයක් දැකගත නොහැක. 

කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට  පවරාගත යුතු බවට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂයේ 2024 වසරේ යෝජනාවක්

ඒ අනුව අප PRIME NEWS මෙය වාර්තා කර ඇත්තේ, කවදා ද යන්න අප සොයා බැලුවා. ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ, මීට වසර එක හමාරකට පමණ පෙර එනම්, 2024 වසරේ දෙසැම්බර් 24 වනදා PRIME NEWS ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කරන ලද සටහනක් මේ දිනවල යළිත් WhatsApp ඔස්සේ මෙලෙස හුවමාරු වන බවයි. 

Facebook 

කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට  පවරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන ඇති බවත් ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම්, කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරාගත යුතු බවත් එකී යෝජනාව ඉන්දීය මධ්‍යම රජයට යොමු කිරීමට තීරණය වී ඇති බවත් 2024 වසරේ දෙසැම්බර් 24 වනදා පළ කර තිබූ අදාළ සමාජ මාධ්‍ය සටහනෙන් කියවේ. ඒ අනුව පැහැදිලි වන්නේ WhatsApp ඔස්සේ මෙලෙස යළි හුවමාරු වන මීට වසර එක හමාරකට පමණ ඉහතදී  පළ කරන ලද සටහනක් බවයි.

පෙරටුගාමීන්ගෙන් හෙළිදරව්ව?

කෙසේ වෙතත් පසුගිය මැයි 28 වනදා ෆේස්බුක් ඔස්සේ පළ වී ඇති සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ, කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වෙලා පෙරටුගාමීන්ගෙන් හෙළිදරව්වක් යනුවෙනි. 

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය  අදාළ සමාජ මාධ්‍ය සටහන පළකර ඇති කාලය තුළ කච්චතිව් සම්බන්ධව මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ ද? යන්න අප සොයා බැලුවා. ඒ අනුව පැහැදිලි වුණේ, පසුගිය මැයි 23 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගෙරිහංකඩ එලාගන්න ඉන්දියාවට ඉඩ දෙනවා ද?  යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී පළවූ අදහස් පදනම් කරගනිමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පළ වී ඇති බවයි.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව ප්‍රධානත්වයෙන් පැවති සම්මන්ත්‍රණයේදී ඔහු කියා සිටියේ, බොටම් රෝලීන් ධීවර ක්‍රමය භාවිත කරමින් කච්චතිව් දූපත ආශ්‍රිත කලාපයේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින් කොල්ල කමින් සිටින බවයි. යම් හෙයකින් දූපත පවරා දුන්න හොත් ඉන්දීය ධීවරයින් එහි සිටම සිය ධීවර කටයුතු මෙ‍හෙයවීම තුළ උතුරේ ධීවරයින්ට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි. 

තව ද  ඉන්දීය ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන කච්චතිව් සම්බන්ධ නඩු තීන්දුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිත බවත් අදාළ නඩු තීන්දුව ශ්‍රී ලංකාවට අදාළ නොවුණත් එය කච්චතිව් සම්බන්ධ දකුණු ඉන්දීය දේශපාලන උද්ඝෝෂණ යළි මතුවීමට හේතුවක් වනු ඇති බවයි. මේ අතර ‍ප්‍රචාරක ලේකම්වරයා සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් පැවසුවේ, කච්චතිව් නම් දෙන්න වෙනවා යනුවෙන් ජනතා විමුක්ති ‍පෙරමුණු නායකයෙක් අභ්‍යන්තර දේශපාන සාකච්ඡාවකදී  ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. ඒ අනුව ආසන්න කාලයේදී පෙරටුගාමීන් කච්චතිව් සම්බන්ධයෙන් සිදු කළ වෙනත් ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ වී නොතිබූ අතර මෙම සම්මන්ත්‍රණයේදී පළ වූ ඉහත අදහස් පදනම් කර ගනිමින් මෙම ෆේස්බුක් සටහන් පළ වී ඇති බව පැහැදිලිය. අදාළ සම්මන්ත්‍රණය පිළිබඳ වැඩි විස්තර මෙතැනින්

කච්චතිව් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා

කෙසේ වෙතත් කච්චතිව් පිළිබඳව ප්‍රධාන ධාරාවේ ඉන්දීය සහ මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණේ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සාචාරයත් සමගයි.   නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2025 අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අතර තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව 2025 අප්‍රේල් 2 වනදා කච්චතිව් දූපත යළි ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ගත්තේ ය. අදාළ  යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් පවසා තිබුණේ, තමිල්නාඩු ධීවරයින්ගේ ධීවර අයිතීන් ආරක්ෂා කිරීමට ඇති එකම ස්ථිර විසඳුම කච්චතිව් දූපත නැවත ලබා ගැනීම බවයි. 

1974 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම වහාම සමාලෝචනය කර කච්චතිව් දූපත නැවත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස යෝජනාවෙන් මධ්‍යම රජයෙන් ඉල්ලා තිබූ අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයේදී, සිරගත කර සිටින සියලුම ධීවරයින් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන ලෙස ද යෝජනාවෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණා. මේ අතර හිටපු මහඇමතිනී ජයලලිතාගේ පාලන සමයේදී, 1991 ඔක්තෝබර් 3 වනදා සහ 2013 මැයි 3 වනදා ද කච්චතිව් යළි ලබා ගන්නා ලෙස  මධ්‍යම රජයට බල කරමින් යෝජනා සම්මත කරන ලදී. ඉන් පසු පන්නීර්සෙල්වම් මහඇමති ධුරය දැරූ  සමයේ ඒනම් 2014 දෙසැම්බර් 5 වන දින එවැනි යෝජනාවක් සම්මත කරගෙන ඇති බව ඉන්දියාවේ ද හින්දු වාර්තා කර තිබේ. වැඩි විස්තර මෙතැනින්.

මෙම යෝජනාව පිළිබඳව මෙරට මාධ්‍ය වාර්තා කර තිබූ පුවත් මෙතැනින් සහ මෙතැනින් 

විදේශ කටයුතු අමාත්‍යාශයේ ප්‍රතිචාරය 

මේ අනුව කලින් කලට කරලියට එන මෙම කච්චතිව් සම්බන්ධව මෑත කාලීනව යම් සාකච්ඡාවක් සිදුවූයේ දැයි අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළේ ය. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, කච්චතිව් හා සම්බන්ධ කිසිදු කරුණක් මෑතකදී සකච්ඡා නොවූ බව ත්, කච්චතිව් දූපතේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවට බව ත්, එය ඉන්දීය රජයට පවරා දීමක් සිදු කර නොමැති බවත් ය‍. 

ශ්‍රී ලංකා ජනපතිගේ ඉන්දීය සංචාරය සහ කච්චතිව්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා 2024 දෙසැම්බර් 15 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමග සාකච්ඡා පවත්වා තිබූ අතර විශේෂයෙන්ම  දකුණු ඉන්දියානු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන අනවසර ධීවර කටයුතු සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී විශේෂයෙන් සාකච්ඡා වූ බව ජනපතිගේ ඉන්දීය සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා  පැවසුවා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ මුහුණදෙන මෙම ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කඩිනමින් මැදිහත් වීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.  වැඩිවිස්තර මෙතැනින් 

නමුත් එහිදී හෝ කච්චතිව් දූපත ඉන්දියාවට පවරා දීමක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවට වාර්තා වී නොතිබුණි.

කච්චතිව් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය

පසුගිය අප්‍රේල් 4 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.  සිය ධූර කාලය තුළ සිව්වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිය සංචාරයේදී දකුණු ඉන්දීය දේශපාලනයේ ප්‍රධාන ඉල්ලීමක් වන කච්චිතිව් සම්බන්ධයෙන් කතා බහ කිරීමක් හෝ කිසියම් නිල එකඟතාවන්ට එළැඹීමක් සිදු කළේ දැයි අප විමසා බැලුවා. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචරය අතරතුර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව දෙරට අතර  අවබෝධතා ගිවිසුම් 7ක්  හුවමාරු වුවත් කච්චතිව් සම්බන්ධ කිසිවක් එහි නොවී ය.  

බලශක්ති හුවමාරු ගිවිසුම, ඩිජිටල් සහයෝගිතා ගිවිසුම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, බහු ආංශික ප්‍රදාන සහයෝගය – නැගෙනහිර පළාත, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම, ඖෂධ නියාමන සහයෝගිතාව යන එම ගිවිසුම් 7යි. 

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා විසින් ජනමාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයේ මෙලෙස සඳහන් කර තිබුණා.  

ධීවර ගැටලුව සඳහා තිරසර විසඳුමක් ලබාදීමට සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් ආම්පන්නයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමය මඟින් සිදු වන දැඩි පාරිසරික හානිය හඳුනා ගනිමින්, මෙම ක්‍රියාව නැවැත්වීමට සහ නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටියා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව මෙතැනින්   

කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති වුණ හැටි 

භූමි ප්‍රමාණයෙන් අක්කර 285ක පමණ වන කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහයෙන් එකක් වන අතර එය ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපතයි.ධීවර කටයුතු සඳහා වැදගත් ජන ශූන්‍ය ප්‍රදේශයක්වන කච්චතිව් ආශ්‍රිතව ස්වාභාවික ඛනිජ තෙල් සහ ගෑස් පවතින බවට ද පැවසේ. කච්චතිව් දූපත පිළිබඳ කතා කිරීමේදී අමතක කළ නොහැකි ම විශේෂම කරුණ වන්නේ, වසර සිය ගණනක සිට පවත්වාගෙන එන ශාන්ත අන්තෝනි දේවස්ථායේ දේව මෙහෙයයි. ශ්‍රී ලංකා – ඉන්දීය ධීවරයින් එක්ව සෑම වසරකම පෙබරවාරි හෝ මාර්තු මාසයේදී කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මෙහෙය පවත්වනු ලබයි

යුද සමයේ වසර ගණනාවක් කච්චතිව් දේව මංගල්‍යයට සහභාගී වීමට අවස්ථාව නොලැබුණ අතර යුදධය නිම වීමෙන් පසු යළිත් වාර්ෂිකව කච්චතිව් දේව මංගල්‍ පවත්වනු ලබයි. සාමාන්‍යයෙන් කච්චතිව් දූපතට පිවිසීමට ඉන්දීය ජනතාවට ආගමන විගමන නීති අනුගමන කළ යුතු වුවත්, කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය සමයේ වීසා නොමැතිව ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට හැකිය.

කච්චතිව් දූපතේ අයිතිය අයිති කාට ද? යන ප්‍රශ්නය  ඉතිහාසය පුරාවටම දක්නට ලැබී අති  අතර කෙසේවෙතත්  1974 ජුනි 26 වැනිදා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය. ගිවිසුමට අනුව කච්චතිව් දූපත ඉන්දියාවේ කොටසක් නොවන අතර එය ශ්‍රී ලංකාවට අයත් භූමි කොටසකි. තව ද 1976 වසරේ ඉන්දු ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි විය.  ඒ අනුව දූපත ආශ්‍රීත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටලු තවදුරටත් ඇඳෙමින් පවතී.

කච්චතිව් දූපතේ කතාව දකුණු ඉන්දීය දේශපාලයේ ප්‍ධාන මාතෘකාවකි. එදා සිට අද ක්වා බිහිවූ සියලුම දකුණු ඉන්දීය දේශපාලනඥයින් හා දකුණු ඉන්දීය ධීවර ප්‍රජාව කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස මධ්‍ම රජයට විටින් විට බලපෑම් මෙන්ම ඉල්ලීම් ද සිදුකරන ආකාරයක් දැකගත හැකියි. වැඩි විස්තර මෙතැනින් 

මේ අතර කච්චතිව්  සම්බන්ධයෙන් කච්චතිව් සම්බන්ධයෙන් දෙරට අතර නව එකඟතාවයක් ඇති වී ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් Fact Crescendo දමිල මාධ්‍ය අංශය 2024 ජූලි 24 වනදා කරුණු පරීක්ෂාවක් සිදු කළේ ය. අතර එහිදී ද තහවුරු වූයේ, කච්චතිව් සම්බන්ධයෙන් කිසිදු නව එකඟතාවක් ඇති කර ගෙන නොමැති බවයි. අදාළ කරුණු පරීක්ෂාව මෙතැනින්.

කච්චතිව් එදා සිට අද දක්වා දකුණු ඉන්දීය දේශපාලනය තුළ ප්‍රධාන  මාතෘකාවක්. විශේෂයෙන්ම ප්‍රාන්ත මැතිවරණ සමයන්හිදී, නව ප්‍රධාන අමාත්‍යවරයෙකු පත්වූ විට පමණක් නොව ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා අත්අඩංගුවට පත්වීම වැනි කාරණාවලදී  කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගත යුතුයි යන්න  කරලියට පැමිණේ. තව ද මෙරට දේශපාලනය තුළත් ආණ්ඩු මාරුවීම්, ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රකයින්ගේ මෙරට සංචාර වැනි අවස්ථාවලදී කච්චතිව් ඉන්දියාවට දෙයි ද? යන්න කරලියට පැමිණේ. කෙසේ වෙතත් මේ වන තෙක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කච්චතිව් පවරා ගැනීමේ හෝ කච්චතිව් ලබාදීමේ කිසිදු නිල සාකච්ඡාවක් හෝ ඒ හා ආසන්න කතාබහක් හෝ සිදුවී ඇති බවක් හෝ සිදුවන බවට නිල තොරතුරු කිසිවක් මේ වනතෙක් අනාවරණය වී නොමැත. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි යනුවෙන් මේ දිනවල පළ වන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, 2024 වසරේ පළ වූ සමාජ මාධ්‍ය සහනක නැවත හුවමාරු වීමකි. එහිදී ද, සඳහන් වෙන්නේ, කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරාගත යුතු බවට ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගත් බවයි. කෙසේ වෙතත් මෑතකදී ඉන්දීය අගමැති මෝදිගේ මෙරට සංචාරයට පෙර තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව 2025 අප්‍රේල් 2 වනදා කච්චතිව් දූපත යළි ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ගත් නමුත් මෙරටට අයත් කච්චතිව් දූපත ඉන්දීයාවට පවාර දීමක් සම්බන්ධයෙන් දෙරට අතර කිසිදු එකඟතාවයක් පැමිණ නොතිබුණි. ඒ බවට විදෙස් අමාත්‍යාංශයෙන් අප කළ විමසීමේදී ද, ඔවුන් තහවුරු කරනු ලැබුවා. 

ඉන්දීය පක්ෂ සහ ව්‍යවස්ථාදාක සභාවන් විසින් වරින් වර කච්චතිව් දූපතේ අයිතිය ලබා ගැනීමට සිදු කරන යෝජනාවන් සම්මත කර ගැනීම් මෙලෙසින් ශ්‍රී ලංකාව විසින් කච්චතිව් අයිතිය ඉන්දියාවට පවරා දීමට යෝජනා සම්මත කිරීමක් කළ බවට හැඟවෙන අයුරින් නොමග යන අන්දමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බවට පෙන්වා දිය හැක.

Avatar

Title:කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply