දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වන කොරියානු රාමේන් නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පිළිකා වැනි අහිතකර සෞඛ්‍ය තත්වයන් ඇති විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වුණා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කොරියන් රාමේන් කාපු උන්ට නිවන්සුව” යනුවෙන් සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණේ මෙලෙසින්, ”

එවැනි තේමා ඔස්සේ ම හුවමාරු වූ තවත් සටහන් පෙළක් පහතින්.



රාමෙන් නූඩ්ල්ස් තුළ සැබෑ ලෙසම පිළිකා කාරක ඇති බවට වාර්තා වී ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මුලින්ම පරික්ෂා කළේ රාමෙන් නුඩ්ල්ස් සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය සහ කල්තබාගැනීමේ ද්‍රව්‍ය කවරේ ද යන්න සහ ඒ ඔස්සේ ඇතිවිය හැකි හානිකර තත්වයන් පිලිබඳ කිසියම් හෝ පර්යේෂණ සිදුකර තිබුනේ ද යන් පිළිබඳවයි.
හොංකොංහි ආහාර සුරක්ෂිතතා ආයතනය විසින් පෙන්වා දෙන ආකාරයට රාමෙන් නූඩ්ල්ස් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස තෘතීක බියුටයිල් හයිඩ්‍රොක්විනොන්(tert-Butylhydroquinone) නොහොත් TBHQ භාවිතා කරනු ලබනවා. එම ආයතනය විසින් රාමෙන් නූඩ්ල්ස් තුළ අන්තර්ගත TBHQ පිළිබඳව දක්වා ඇති වැඩිදුර තොරතුරු මෙතනින්.
රාමෙන් නූඩ්ල්ස් කල් තබා ගැනීමට යොදාගන්නා TBHQ යනු මොනවාද ?
තෘතියික බියුටයිල්හයිඩ්‍රොක්විනෝන් නොහොත් යනු සැකසූ ආහාර කල් තබා ගැනීම සඳහා TBHQ භාවිතා කරන ද්‍රව්‍යයකි. එය යකඩ අඩංගු ආහාර දුර්වර්ණ වීමෙන් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
එය ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයක්ද?
CN103864579A පේටන්ට් බලපත්‍රය මඟින් බොරතෙල් තෘතියික බියුටයිල් හයිඩ්‍රොක්විනෝන් (TBHQ) ඉහළ සංශුද්ධතාවයකින් (99.5% දක්වා) සංස්ලේෂණය කිරීමේ ක්‍රමයක් විස්තර කෙරේ. TBHQ ඛනිජ තෙල් වලින් සෘජුවම නිස්සාරණය නොවන නමුත් එහි නිෂ්පාදනය සඳහා භාවිතා කරන හයිඩ්‍රොක්විනෝන් සහ ටර්ට්-බියුටයිල් මධ්‍යසාර වැනි ද්‍රව්‍ය බොහෝ විට ඛනිජ තෙල් ආශ්‍රිත ක්‍රියාවලීන්ගෙන් ලබා ගනී. එබැවින්, TBHQ ඛනිජ තෙල් වලින් ලබාගත් නිෂ්පාදන සමඟ වක්‍රව සම්බන්ධ වී ඇති බව සැලකිය හැකිය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්
MSG (මොනොසෝඩියම් ග්ලූටමේට්)
එසේම නේපාලයේ කත්මන්දු නුවර, Central food Laboratory, Department of Food Technology and Quality Control ආයතනය විසින් සිදු කරන ලද පර්‍යේෂණයකින් රාමෙන් නූඩ්ල්ස් තුළ MSG රසකාරකය අන්තර්ගත වන තහවුරු වී තිබුණා. එම ආයතනය විසින් රාමෙන් නූඩ්ල්ස් තුළ අන්තර්ගත MSG පිළිබඳව දක්වා ඇති වැඩිදුර තොරතුරු මෙතනින්
MSG යනු ආහර රසය වැඩි කිරීම සඳහා භාවිතා කරන්නක් වන අතර එය බොහෝ ආහාරවල (තක්කාලි සහ බිම්මල් වැනි) ස්වභාවිකව දක්නට ලැබෙන අතර සුප්, සැකසූ ආහාර සහ කුළුබඩු පැකට් වල රසය වැඩි කිරීමට භාවිතා කරනවා. එක්සත් ජනපදයේ FDA, EFSA, යන ආයතන විසින් සඳහන් කරන ආකාරයට අනුමත ප්‍රමාණයන්ට අනුව පරිභෝජනය කරන විට MSG ආරක්ෂිත ලෙස පිළිගත් (GRAS) ආහාර රසගැන්වීමේ අමුද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. MSG සහිත ආහාර අනුභව කිරීමෙන් පසු හිසරදය, ඔක්කාරය, රතු පැහැය, දහඩිය දැමීම හෝ පපුවේ අපහසුතාව වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ ඇතිවීමට යම් හැකියාවක් පවතිනවා. මෑත කාලීන පර්යේෂණ වලට අනුව සොයාගෙන ඇත්තේ ඉහළ MSG සාන්ද්‍රණයන් සහිත ආහාර මගින් බඩවැල්-මොළයට හා සෛලීය ක්‍රියාකාරිත්වයට බලපෑම් කල හැකි බවයි. නමුත් මෙය අනුමත සීමාවන් තුළ භාවිතයේදී හානිකර නොවන බව පර්‍යේෂණ මගින් දක්වා තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්
TBHQ, MSG ආහාර සඳහා භාවිතයට අනුමත කර තිබේද?
යුරෝපානු ආහාර සුරක්ෂිතතා ආයතනය විසින් EU හි අවසර ලත් ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් වන TBHQ (E 319) හි සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇත. එය ශරීර බර කිලෝග්‍රෑමයකට 0.7 mg ආරක්ෂිත දෛනික පරිභෝජන සීමාවක් සහිතව භාවිතා කිරීම එම ආයතනය විසින් අනුමත කර ඇත. ඔවුන්ගේ අධ්‍යයනයන් හරහා පෙනී ගොස් ඇත්තේ මෙම ආරක්ෂිත සීමාව තුළ වැඩිහිටියන්ගේ පරිභෝජනය රැඳී ඇති නමුත්, ළමුන් විසින් TBHQ ආරක්ෂිත පරිභෝජන සීමාව ඉක්මවා යා හැකි අවධානමක් ඇති බවයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්
යුරෝපානු ආහාර සුරක්ෂිතතා ආයතනය විසින් ආහාරවල TBHQ කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේද සහ පුද්ගලයන් විසින් TBHQ කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේද යන්න පිළිබඳ සිදු කරන ලද පර්‍යේෂණ හරහා ලබා ගත් නව දත්ත විශ්ලේෂණය හරහා අනාවරණය කර ගෙන ඇත්තේ, ළමුන් මෙම TBHQ පරිභෝජන ආරක්ෂිත සීමාව ඉක්මවා යා හැකි අවධානමක් ඇති බවයි.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ද TBHQ ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස අනුමත කර ඇති අතර එහි ආරක්ෂිත භාවිතය සඳහා නිශ්චිත කොන්දේසි නියම කර ඇත. FDA ට අනුව, TBHQ අවම වශයෙන් 126.5°C ද්‍රවාංකයක තිබිය යුතු අතර අවම වශයෙන් 99% පිරිසිදු විය යුතුය. ආහාරවල ඔක්සිකරණය වැළැක්වීම සඳහා එය තනිවම හෝ BHA සහ BHT සමඟ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස භාවිතා කළ යුතු අතර, TBHQ ඇතුළුව මුළු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය ආහාරවල ඇති මේද හෝ තෙල් ප්‍රමාණයෙන් 0.02% නොඉක්මවිය යුතුය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්
TBHQ අනුමත ප්‍රමාණයන් පමණක් භාවිතා කිරීම වෛද්‍ය නිර්දේශයයි
ජාතික වෛද්‍ය පුස්තකාලයට අනුව , TBHQ යනු ආහාර, ඖෂධ සහ රූපලාවන්‍ය කර්මාන්තවල අනුමත ප්‍රමාණවලින් භාවිතා කරන කෘතිම ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශකයකි. එය ශරීරයේ සැලකිය යුතු ලෙස සමුච්චය නොවන නමුත් ඉහළ මාත්‍රාවලින් පරිභෝජනය කිරීම හෝ දිගු කාලයක් පරිභෝජනය කරන විට පෝෂණ ආබාධ, නිදන්ගත රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකිය. TBHQ මගින් දැවිල්ල, ආතතිය සහ සෛලීය හානි ඇති කළ හැකිය. එබැවින්, ආහාරවල භාවිත සීමාවන් දැඩි ලෙස අනුගමනය කිරීමට අනුමත කරනු ලැබේ. ඇතැම් තත්වයන් යටතේ TBHQ හි චිකිත්සක ප්‍රතිලාභ පිළිබඳ වාර්තා ඇත, නමුත් TBHQ පුද්ගලයින්ට සියලුම ආහාර ප්‍රභවයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කළ හැකිද යන්න පිළිබඳ පැහැදිලි දත්ත නොමැත. අවදානම් අවම කිරීම සඳහා, ආහාර නිෂ්පාදනවල TBHQ අනුමත ප්‍රමාණයන් පමණක් භාවිතා කිරීමට යෝජනා කරනු ලැබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්
MSG අනුමත ප්‍රමාණයන් පමණක් භාවිතා කිරීම නිර්දේශයයි
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (U.S. Food and Drug Administration -FDA), යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය (European Food Safety Authority -EFSA) සහ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය (UK Food Standards Agency) ඇතුළු ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට MSG මධ්‍යස්ථ ප්‍රමාණවලින් භාවිතා කිරීමේදී පරිභෝජනයට ආරක්ෂිත බව නිගමනය කර ඇත.
රසය වැඩි දියුණු කිරීමේ එහි කාර්යභාරයට අමතරව, MSG ආහාර රුචිය උත්තේජනය කිරීමට ද ඉහළ හැකියාවකින් යුක්තයි. වැඩි දියුණු කළ රසය හරහා ආහාර ගැනීම දිරිමත් කිරීම මගින් වැඩිහිටියන් වැනි අඩු ආහාර රුචිය ඇති පුද්ගලයින්ට මෙම ගුණාංගය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය. කෙසේ වෙතත් MSG මගින් ලුණු, මේද සහ වෙනත් ආහාර අධික ලෙස පරිභෝජනය කිරීමටද පොළඹවන අතර, අවධානයයෙන් යුතුව භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ.
MSG වල glutamate අඩංගු වන අතර එය මොළයේ ස්නායු සම්ප්‍රේෂකයක් ලෙසද ක්‍රියා කරනවා. අධික glutamate ප්‍රමාණ වලට නිරාවරණය වීමෙන් ස්නායු සෛල අධික ලෙස උත්තේජනය කළ හැකි අතර එය ‘excitotoxicity’ ලෙස හැදින්වේ. එය මොළයේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබනවා. කෙසේ වෙතත්, ආහාරමය MSG ස්නායු පරිහානීය රෝග සමඟ ඇති සම්බන්ධය පිළිබඳ නිශ්චිත සාක්ෂි දැනට සොයාගෙන නැහැ.
අධික සෝඩියම් පරිභෝජනය අධි රුධිර පීඩනය, හෘද රෝග සහ අනෙකුත් සෞඛ්‍ය අවදානම් වලට හේතු වනවා. එබැවින්, MSG සෘජු සෞඛ්‍ය තර්ජනයක් ඇති නොකළද, අනුමත මට්ටමින් පමණක් භාවිතා කිරීම සෞඛ්‍යයට යහපත් වනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් .
රාමෙන් නූඩ්ල්ස් තුළ ‘ඉටි‘ හෝ අහිතකර බැක්ටීරියා අන්තර්ගතව තිබේ ද ?
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන ක්ෂණික නූඩ්ල්ස් යම් ප්‍රමාණයක බැක්ටීරියා දූෂණයක් සහිත බවත්, ක්ෂණික නූඩ්ල්ස් සමඟ සපයන කුළුබඩු වල බැක්ටීරියා දූෂණය වැඩි ප්‍රමාණයක් ඇති බව බවත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, නිෂ්පාදන හොඳින් පිසීමෙන් නිෂ්පාදනයේ පවතින බැක්ටීරියා අවම කළ හැකි අතර, ඒ හා සම්බන්ධ විය හැකි අවදානම් අවම කරන බවද එම පර්‍යේෂණයෙන් සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
නූඩ්ල්ස් මතුපිට ඉටි ආලේප කර ඇති බවට කිසිඳු පර්‍යේෂණයකින් මේ වන තුරු සනාත වී නැහැ. සිංගප්පූරු ආහාර ඒජන්සිය ද එහි වෙබ් අඩවියේ පැහැදිලි කළේ ක්ෂණික නූඩ්ල්ස් වලට දිලිසෙන පෙනුමක් ලබා දීම සඳහා ඉටි ආලේප කර නොමැති බවයි.
පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇතිවීමේ වැඩි සම්භාවිතාවක්
හාවඩ් මහජන සෞඛ්‍ය පාසලේ (HSPH) පර්යේෂකයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව , ක්ෂණික නූඩ්ල්ස් නිතර පරිභෝජනය කරන කාන්තාවන්ට පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා. තරබාරුකම, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරගත සීනි ඇතුළු අවදානම් සාධක සමූහයක් සහ හෘද රෝග සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම පෙන්වා දී තිබෙනවා.දකුණු කොරියාවේ වැඩිහිටියන් 10,711 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පර්යේෂකයන් විසින් අධ්‍යයනය කර ඇති අතර සතියකට අවම වශයෙන් දෙවරක් ක්ෂණික නූඩ්ල්ස් අනුභව කළ කාන්තාවන්ට පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම 68% කින් වැඩි බව දක්වා තිබෙනවා.HSPH හි පෝෂණ හා වසංගත රෝග විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන්ක් හූ විසින් 2014 අගෝස්තු 20 වන දින නිව් යෝර්ක් ටයිම්ස් ලිපියක සඳහන් කර ඇත්තේ, ක්ෂණික නූඩ්ල්ස් නිතර පරිභෝජනය කිරීම අනුමත කළ නොහැකි බවයි. මසකට වරක් හෝ දෙවරක් පරිභෝජනය කිරීම ගැටලුවක් නොමැති නමුත් සතියකට කිහිප වතාවක් භාවිතා කිරීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.
එසේම මේ සම්බන්ධයෙන් අප පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගෙන්ද විමසීමක් කලා. එහිදී ඇය සඳහන් කළේ, රාමෙන් නූඩ්ල්ස් තුළ අන්තර්ගත අනුමත රසාකාරක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නියමිත මාත්‍රාවන්ගෙන් යුතුව අන්තර්ගත කර ඇති බවත්, ලෝකය පිළිගත් කොඩෙක්ස් දර්ශක වලට අනුව එම සීමාවන් නිර්ණය කර ඇති බවත් ය. නමුත් පුද්ගලයන් විසින් නූඩ්ල්ස් පරිභෝජනය කරන ප්‍රමාණය අනුව අධික පරිභෝජනයේදී අහිතකර අතුරු ප්‍රතිඵල ඇති වීමේ අවධානමක් ද තිබිය හැකි බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ රාමෙන් නූඩ්ල්ස් තුළ අන්තර්ගත TBHQ, MSG අධික මාත්‍රාවකින් ගැනීම සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකි බව සත්‍යයක් වුවද, ආහාර සුරක්ෂිතතා නියාමන ආයතනවලට අනුව, අනුමත ප්‍රමාණයන් තුළ පරිභෝජනය කිරීමට ආහාර සුරක්ෂිතතා සංවිධාන අනුමත කර ඇති බවයි.
Title:රාමෙන් නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති විය හැකි ද ?
Fact Check By: Pavithra HansaniResult: Misleading


