
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සම්පූර්ණ හෝ යම් සිදුවීමක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත නොහැකි අන්දමට විවිධ මාතෘකා යටතේ දර්ශන පළ කිරීම හමුවේ බොහෝ අවස්ථාවල සිදුවන්නේ, සමාජය නොමග යාමයි. මේ එලෙස පළ කරන ලද දුම්රිය පාලමක් ආශ්‍රිත දර්ශන පෙළක් පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඔන්න අපි කෝච්චි පාරවල් ඉක්මනට හැදුවා…කාට කියන්නද මෙව්වා….’’ ලෙස සඳහන් කරමින් පළ කර ඇති මෙම දර්ශන පෙළ කියැවෙන්නේ, රට මුහුණදුන් ව්‍යසනයෙන් පසු කැඩී ගිය කෝච්චි පාරක් කඩිනමින් සකස් කර ඇති බවත් එලෙස සකස් කළ මාර්ගය යළි කඩා වැටී ඇති බවත් ය.
දර්ශනයට අනුව දුම්රිය මාර්ගයක් මතින් ඩක්කුවක් ධාවනය කිරීමේදී එහි අතුරා තිබූ ගල් පහලට කඩා වැටෙන ආකාරයක් දැකගත හැකි අතර රැස්ව සිටින පිරිස අදහස් පළ කිරීම් සිදු කරන අතර එක් අයෙක් ඉස්සරට වැඩිය දැන් වල තියෙනවා යනුවෙන් ද ප්‍රකාශක කරයි. කෙසේ වෙතත් මෙම සටහන තුළ මෙය සිදුව ඇති ස්ථානය පිළිබඳව සඳහනක් නොමැත.
ඉහත දර්ශන පෙළ දමිල භාෂාවෙන් පළ වී තිබුණේ, දුම්රිය ගමන් කරමින් සිටියදී දුම්රිය මාර්ගය කඩා වැටුණා යන සඳහන සහිතවයි.
‘Bridge collapsed. AKD’s engineering wonders got a bit of a blow. I am sure they will not give up. They will do the same thing again’ යනුවෙන් සඳහන් කරමින් Twitter ඔස්සේ එම දර්ශන මෙලෙස පළ කර තිබුණා.
‘ගමේ මිනිස්සු තාවකාලිකව හදපු නිසා අවුලක් නෑ..‘ යන සඳහන සහිතව Instagram ඔස්සේ එම දර්ශන පෙළ පළ කර තිබුණේ මේ ආකාරයෙනි.
සිදුවීමට අදාළ සම්පූර්ණ විස්තරයක් හෝ එය සිදුව ඇත්තේ කොතැනකදී කවදාද ද යන්න පිළිබඳ නිවැරදි තොරතුරක් නොමැතිව එකම දර්ශන පෙළ විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය වේදිකාවල පළ වී තිබූ බැවින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම)
ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි, පසුගිය ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය පාලමක් කඩා වැටීමක්, දුම්රියක් ධාවනය කරමින් තිබියදී පාලමක් කඩා වැටීමක් හෝ ප්‍රතිසංස්කරණය කර අවසන් කළ දුම්රිය මාර්ගයක් කඩා වැටීමක් සිදුවූවේ නම්, එවැනි පුවතක් මෙරට මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතුය එහෙත් අප සිදු කළ පරීක්ෂාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සිදුවීමක් මෑතකදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් විසින් වාර්තා කර නොමැති බව තහවුරු විය.
දිට්වා සුලි කුණාටුව හමුවේ ඇති වූ ආපදා තත්ත්වයෙන් දුම්රිය මාර්ග පද්ධතියට දැඩි හානී සිදුවූණා. ඒ සමගම හානියට පත් වූ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග පද්ධති යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ වූ අතර මේ වනවිට ඇතැම් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් අතර තවත් ස්ථාන කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. විස්තර මෙතැනින් සහ මෙතැනින්
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව කුමන ස්ථානය, කිනම් දිනයකද දර්ශන ද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරු නෙමැති නිසා අප එහි රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව මෙම වීඩියෝව පසුගිය 19 වැනිදා මේ ක්‍රමයට මේවා කවදා ඉවර කල හැකිද ? වෙන තාකෂණික ක්‍රමවේද යොද ගතයුතු නොවේද ? මෙය ගගට ඉනිකපන්නා වැනියැයි මට හැගේ.අදහස් දක්වන්න. යනුවෙන් ෆේස්බුක් වෙත මුදා හැර ඇති වීඩියෝවක් බව පැහැදිලි විය.
කෙසේ වෙතත් දුම්රියක් ගමන් කරන අතරතුර දුම්රිය මාර්ගය කඩා වැටීමක්, ප්‍රතිසංස්කරණය කර අවසන් කළ දුම්රිය මාර්ගයක් කඩා වැටී ඇති බවක් එහි සඳහන්ව නොමැති අතර ඉන් අදහස් කරන්නේ, අදාළ මාර්ගය තවමත් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවකි.
තව ද මෙම ෆේස්බුක් සටහනේ අදහස් පළවීම් පරීක්ෂාවේදී එම ස්ථානය කුඩාවැව බවට ද හඳුනා ගත හැකි විය.
පසුගිය අපදා තත්ත්වය හමුවේ පුත්තලම මාර්ගයේ, කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති කඩුපිටි ඔය හරහා ඉදිකර ඇති දුම්රිය පාලමේ ඉවුර සමග අඩි 65 කට ආසන්න කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. එහි වලහපිටිය උප දුම්රිය ස්ථානයට ආසන්නයේ ඉදිකර තිබූ පැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ද ජල පහර හේතුවෙන් විනාශ වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව එම ස්ථානයේ දර්ශන බව පැහැදිලිව දැකගත හැකියි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබුණා. විස්තර මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් මෙම පුවත් වාර්තා පරීක්ෂා කිරීමේදී එහි ඇති ඡායාරූප සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය ව වීඩියෝවේ රූප රාමුවල සමාන බවක් දැකගත හැකියි.
මේ අතර සාමාජ මාධ්‍ය පරිශීලකයෙකු කුඩාවැව දුම්රිය පාලමේ වත්මන් තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් පසුගිය 21 වනදා ඡායාරූපයක් මෙලෙස සිය ගිණුමේ පළ කර තිබුණා.

එම දර්ශනයට අනුව ද දුම්රිය පාලම සහ ඉවුර අතර කොටසට ගල් පුරවමින් ඇති බව පැහැදිලි වේ.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද අප විමසීමක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ, එම දර්ශනය කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පාලමට යාබද ඉවුරු කොටස ගල් අතුරා ප්‍රතිසංස්කරණය කරන අතර තුර දර්ශන පෙළක් බවයි.
නාත්තන්ඩිය දුම්රිය ස්ථානය
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ඒ පිළිබඳව නාත්තන්ඩිය දුම්රිය ස්ථානයෙන් විමසීමක් සිදු කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය ආපදා තත්ත්වය හමුවේ හානිවූ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය හරහා පිහිටා තිබූ දුම්රිය පාලමේ ඉවුර සමග හානි වූ කොටස ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවත් ය.
මේ වනවිට දුම්රිය ධාවනය සිදු වන්නේ, නාත්තණ්ඩිය දක්වා පමණක් බවත් එළඹෙන ජනවාරි 1 වැනිදා වන විට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් නාත්තන්ඩිය දුම්රිය ස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මේ අතර අප කළ විමසීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිදු සිදුවීමක් මෑතකදී දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව වාර්තා නොවූ බවයි. කුඩා ඔයට ඉහළින් දුම්රිය පාලම සහිත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී කළු ගල් පිරවීම සිදු කරන බවත් එහි පූර්ව පරීක්ෂණ මෙහෙයුම් අතරතුර අතුරන ලද ගල් රූරා වැටීම සිදුවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. හැකි ඉක්මනින් මෙම මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉංජිනේරු අධිකාරි (සැලසුම්) – දුම්රිය දෙපාර්තමේන්තුව
හානි වූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නගා ඇති ප්‍රශ්න වෙත ද අවධානය යොමු කරමින් අප ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ, සැලසුම් අංශයේ ඉංජිනේරු අධිකාරිවරයාගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, සේදී යාමකට ලක් වූ වතුරෙන් පිරුණු ස්ථානයක් ප්‍රතිසංස්කරණ කිරීමේදී යොදා ගත හැකි සාර්ථකම සහ හොඳම පියවර මෙලෙස ගල් පුරවා එය ප්‍රතිසංස්කරණය කිරීම බවයි.
ජලයෙන් පිරුණු මෙවැනි ස්ථානයක වැලි පිරවීම හෝ පස් පිරවීම ප්‍රායෝගික නොවන බවත් එම ස්ථානයට යන්ත්‍ර ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ග නොමැති බවත් ඉංජිනේරු අධිකාරීවරයා සඳහන් කළා.
ඒ අනුව, මෙවැනි හදිසි හා ප්‍රායෝගික නොවන තත්ත්වයන්හිදී භාවිත කරනු ලබන හොඳම ක්‍රමය ගල් කැබලි භාවිතය බවත් ගල් කැබලි යෙදීමේදී ස්වභාවිකවම කම්පැක්ශන් එකක් ලැබෙන බැවින්, වෙනම යන්ත්‍ර භාවිතයෙන් කම්පැක් කිරීම අත්‍යවශ්‍ය නොවන බව ත් ඒ අනුව එය ස්ථාවර හා ආරක්ෂිත ව්‍යුහයක් බවට පත්වන ද ඔහු සඳහන් කළා.
අතීතයේ සිටම මෙවැනි සේදීයාම් සිදු වූ අවස්ථාවලදී, පළමුව ගල් කැබලි භාවිතයෙන් පිරවීම සිදු කර, ඉක්මනින් දුම්රිය ධාවනය කිරීම සඳහා මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ක්‍රමය බව ද ඔහු ප්‍රකාශ කළා.
තවද ගල් කැබලි භාවිත කිරීමේදී එය ස්වභාවිකවම දෙපසට ආනති දෙකකට අනුව ස්ලෝප් වී ස්ථාවර බෑවුමක් නිර්මාණය කර ගන්නා අතර එමඟින් අවම අනතියකින් ඉහළට පිරවීම සිදු කළ හැකි අතර, දිගුකාලීනව ආරක්ෂිත ව්‍යුහයක් ලැබෙන බවත්, ජලය සහිත මෙවැනි ස්ථානයක පස් යෙදීම සාර්ථක ක්‍රමයක් නොවන බව ද ඔහු පැහැදිලි කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනවල පෙනෙන පරිදි, අතුරන ලද ගල් පාලම් කණු දෙක (pier) වෙත ගලා යාම සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර නිසි ඈන්ගල් එකක් සැකසුණු පසු එය ස්ථාවර තත්ත්වයට පත්ව නවතින බව ද ඔහු පැහැදිලි කළා.
මෙම ස්ථානය වතුර පිරුණු ගඟක් නොවන බවත්, කුඹුරු ප්‍රදේශයක් මැදින් ගමන් කරන දුම්රිය මාර්ගයක් බවත් මෙම ස්ථානයේ සිට මීටර් 50ක් පමණ දුරින් විශාල ගඟක් සහ දැනටමත් පවතින ප්‍රධාන පාලමක් තිබෙන බැවින්, මෙහි නව පාලමක් ඉදි කිරීම අවශ්‍ය නොවන බවද ඉංජිනේරුවරයා සඳහන් කර සිටියා.
දිස්ත්‍රික් ඉංජිනේරු – (මධ්‍යම) සඳුන් ලොකුආරච්චි
මේ අතර කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ග ප්‍රතිසංස්කරණය පිළිබඳව අප දිස්ත්‍රික් ඉංජිනේරු සඳුන් ලොකුආරච්චිමහතාගෙන් ද විමසීමක් සිදු කළා. ඉංජිනේරුවරයා සඳහන් කළේ, මෙම දුම්රිය මාර්ගයේ පාලම, වටාකාර කුළුණු මත පිහිටා ඇති අතර අතුරන ගල් ස්ථාවාර වීම සඳහා කුළුණු වටේටම ගලා යන බවයි. එලෙස පහලට රූරා යාම සාමාන්‍ය සිදුවීමක් බවත් බෑවුම සාදා ගත් පසු ස්ථාවරවී එය නතර වන බවත් ඔහු සඳහන් කළා.
එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.
මෙම ස්ථානයේ පාලමක් ඉදි කළ නොහැකි ද?
මෙම ස්ථානය පාලමක් ඉදි කිරීමට තරම් ජලය බැස යන් ස්ථානයක් නොවන බවත් මෙම ස්ථානයේ සිට මීටර් 50ක් පමණ දුරින් විශාල ගඟක් ගලා යන බවත් එම ස්ථානයේ පාලමක් පිහිටා ඇති බවත් ඉංජිනේරුවරයා කියා සිටියා. මෙම දුම්රිය මාර්ගය දෙපසම කුඹුරු පිහිටා ඇති බව සඳහන් කළ ඉංජිනේරුවරයා තවදුරටත් කියා සිටියේ, ලොකු පාලමක් තිබුණට එම ස්ථානයෙන් ගලා යන්නේ, කුඹුරු වලට අවශ්‍ය කුඩා ජල පහරක් බවයි. එක් පසෙකින් පාලමක් සහ අනෙක් පසින් ලොකු ගඟක් පිහිටා තිබෙන මෙම ස්ථානයට ඇති එකම ප්‍රවේශ මාර්ගය දුම්රිය මාර්ගය බවත් කියා සිටියා. එසේම මෙම ස්ථානයේ මීට පෙර පස් සහිත දුම්රිය මාර්ගයක් බවත් මෙම අවස්ථාවේ ලබා දිය හැකි ඉක්මන් සහ හොඳම විසඳුම මෙලෙස ගල් යොදා මාර්ගය සැකසීම බවත් ඔහු සඳහන් කළා.
දෙසැම්බර් 26 වන විට එම ස්ථානයේ තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් පහතින්.


ඒ අනුව පෙනෙන්නේ ද ඉහත ආකාරයට ගල් අතුරා, දුම්ර්ය මාර්ගය පහළින් කොටස සෑහෙන දුරට මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි.
පසුගිය ආපදා තත්ත්වය හමුවේ පේරාදෙණිය කළු පාලමේ (යකා පාලම) දින කිහිපයක් ඇතුළත ප්‍රතිසංස්කරණට කර අවසන් බව දක්වමින් පළ වූ සටහන් පෙළක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
හානිවූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව කියන ව්‍යාජ සටහන් පෙළක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය):
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන දුම්රියක් ධාවනය වෙමින් තිබියදී දුම්රිය මාර්ගය කඩා වැටීමක්, දුම්රිය පාලමක් කඩා වැටීමක්, ප්‍රතිසංස්කරණය කර අවසන් කළ කොටසක් කඩා වැටීමක් හෝ නොවන බවයි.
සත්‍ය ලෙසම අපාදා තත්ත්වය හමුවේ විනාශ වූ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීමේදී යාබදව සිදු කරන ලද පරීක්ෂණ මෙහෙයුම් අතරතුර ගල් පිරවීමේදී ගල් රූරා යන ආකාරය දැක්වෙන වීඩියෝවකි.
Title:ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණය කළ දුම්රිය මාර්ගයක් කැඩී යන දර්ශනයක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


