Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් 2015 සිට පෙළ පොතක තිබුණු බවට මහින්ද ජයසිංහගේ ප්‍රකාශය අසත්‍යයි!

Misleading Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් අන්තර්ගත වීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඒ සම්බන්ධයෙන් ඇති වුණා. එම ආන්දෝලනයට තුඩු දුන් අසභ්‍ය වෙබ් අඩවියේ නාමයට සමාන නාමයක් 2015 සිට මෙරට පෙළ පොතක අන්තර්ගත වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයතිස්ස මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවතක් ඇති වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“බඩී දාලා තියෙන්නේ 2015 ඉඳන්, මහින්ද ජයසිංහ පෙළ පොත රැගෙන ඇවිත් ඔප්පුකර පෙන්වයි” යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණේ මෙලෙසින්

Facebook | Archived Link

නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වන් අදහස සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වමින් සමාජ මාධ්‍ය තුළ එම වීඩියෝව පල වී තිබුණේ මෙලෙසින්.

Facebook 

 

Facebook | Facebook

සැබෑ ලෙසම Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් සම්බන්ධ අන්තර්ගතයක් 2015 සිට මෙරට පෙලපොතක තිබුණේද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප විසින් 2026.01.22 දින පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ අදහස් දැක්වීම පරීක්ෂා කළා. එම අදහස් දැක්වීම පහතින්.

” මම පෙන්නලා දෙන්නං විපක්ෂ නායකතුමාටට අසභ්‍යකරණය කවද්ද කොතැනදීද පටන් ගත්තේ කියලා. මා සතුව තිබෙනවා 11 ශ්‍රේණියේ ICT Text Book එක. මේකේ 77 වන පිටුවේ විවිධ ලින්ක්ස් ගණනාවක් තිබෙනවා. ඒකේ එක තැනක තියෙනවා Buddy. ඔයගොල්ලෝ අසභ්‍යකරණය කියලා හඳුන්වල දීපු Buddy. Internet එකේ Buddy කියලා ගහපුවම ඔක්කොම එනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇති ආකාරය හඳුනාගත හැකියි.

11 ශ්‍රේණිය ICT පෙළ පොත

ඒ අනුව අප විසින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මඟින් 2015 වසරේදී මුල් වරට පල කර ඇති 11 ශ්‍රේණිය තොරතුරු සන්නිවේදන සහ තාක්ෂණ පෙළ පොත පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනා ගැනීමට හැකිවූයේ එහි 77 වන පිටුවේ “Tools for sending instant messages” යනුවෙන් සඳහන් දක්වමින් “Skype, Viber, Whatsapp” ආදී ඔන්ලයින් පණිවිඩ යැවීමේ මෙවලම් 15 ක් දක්වා ඇති බවත් ඒ අතර “e buddy” යන ඔන්ලයින් පණිවිඩ යැවීමේ මෙවලමේ නාමයත් අන්තර්ගත වන බවයි. 11 ශ්‍රේණියේ ICT පෙළපොත මෙතනින්.

සැබෑ ලෙසම e buddy යනු නුසුදුසු අසභ්‍ය වෙබ් අඩවියක නාමයක්ද යන්න පරීක්ෂා කිරිමට අප කටයුතු කළා.

e buddy සහ Buddy.net යනු එකක් නොව එකිනෙකට වෙනස් වෙබ් අඩවි දෙකකි. 

11 ශ්‍රේණියේ ICT  පෙළපොතෙහි 2015 වසරේ සිට අන්තර්ගතව තිබෙන e buddy යන යෙදුම කුමක්ද යන්න අප පරීක්ෂා කළා. e Buddy යනු 2003 වසරේදී ආරම්භ වුණු නෙදර්ලන්තය පදනම් කරගත් වෙබ් සහ ජංගම දුරකථන හරහා පණිවිඩ යැවීමේ සේවාවක් වන අතර මුලදී එය e-Messenger නමින් ආරම්භ වී 2006 වසරේ දී e Buddy ලෙස නම් කර තිබෙනවා. e Buddy හි ප්‍රධාන අරමුණ වී ඇත්තේ එකම web අඩවියකින් MSN/Windows Live Messenger, Yahoo Messenger, AIM, ICQ, Google Talk  වැනි IM ජාල කිහිපයක් සමග සංවාද පැවැත්විය හැකි සේවාවක් සැපයීමයි. e Buddy ගමන් මග කෙටි කාලීන එකක් වන අතර 2013 අවසානයේදී  eBuddy සේවාව අක්‍රීය කර තිබෙනවා. 

Buddy.net යන යෙදුම සහිත අන්තර්ගතයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව නිර්මාණය කරන ලද 6 ශ්‍රේණියේ මොඩියුලයක අන්තර්ගතව තිබීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ අතර Buddy.net යනු කුමක්ද යන්න ඒ අනුව අප පරීක්ෂා කළා. Buddy.net යනු සාමාන්‍ය පණිවිඩ හුවමාරු සේවාවක් නොව වැඩිහිටියන්ට පමණක් වන අන්තර්ගත සහිත වෙබ් අඩවියක් ලෙස හඳුනාගත හැකිය. 

ඒ අනුව 2015 වසරේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පලමු වරට පල කර ඇති 11 ශ්‍රේණිය සඳහා වන ICT පෙළපොතෙහි අන්තර්ගත වන e buddy යන යෙදුම සහ නව අධ්‍යාපන ප්‍රතිසංකරණ යටතේ නිර්මාණය කල 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගතව තිබූ Buddy.net යන වෙබ් අඩවිය එකිනෙකට වෙනස් යෙදුම් දෙකක් බව පැහැදිලි වනවා.

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් අපේක්ෂා කරමින් ජාතික ජන බලවේග රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා. ඒ අනුව මේ වසරේ සිට එක සහ හය ශ්‍රේණිවලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබුණා. කෙසේ වෙතත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුලුල් විරෝධයක් එල්ල වුණේ ඒ සඳහා ප්‍රමාණවත් විශේෂඥ සහයක් සහයක් සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කාලයක් නොලැබුණු බවට වන චෝදනා ද සමගයි. එම තත්ත්වය තවදුරටත් තීව්‍ර වුණේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයක ඇතුළත්ව තිබූ වෙබ් සබැඳියක් ඇති කළ ආන්දෝලනය හේතුවෙන්.කෙසේ නමුත් පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව විසින් 2015 වසරේ මුල් වරට පල කරන ලද 11 ශ්‍රේණිය ICT පෙළපොතෙහි අන්තර්ගත e buddy යන ඔන්ලයින් යෙදුම අසභ්‍ය එකක් නොව ඔන්ලයින් පණිවිඩ යැවීමේ යෙදුමක් බවත්, එය මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් Buddy.net යෙදුමට සමාන යෙදුමක් නොවන බවත් ය.

 

 

 

Avatar

Title:Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් 2015 සිට පෙළ පොතක තිබුණු බවට මහින්ද ජයසිංහගේ ප්‍රකාශය අසත්‍යයි!

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *