ඉරානය අන්තර්ජාල කේබලයකට ප්‍රහාරයක් එල්ල කළොත් පිටරට ගබඩා කළ ශ්‍රී ලංකාවේ දත්ත මැකී යනවා ද ?

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා කිරීමේදී යොදාගන්නා සිරස්තල හේතුවෙන් සමාජය තුළ අනිසි කැළඹීමක් ඇති විය හැකියි. මැද පෙරදිග අර්බුදකාරී වාතාවරණය තුළ ඉරානය විසින් අන්තර්ජාල කේබලයක් වෙත පහර දීමක් සිදු කළහොත් මෙරට දත්ත  මැකී යන බවට වූ සිරස්තලයක් සමගින් පල වූ පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ඉරානය අන්තර්ජාල කේබලයට ගැහුවොත් පිටරට ගබඩා කළ අපේ දත්ත මැකේ” යනුවෙන් දක්වමින් 2026 අප්‍රේල් මස 05 වන ඉරිදා දින ප්‍රධාන පුවත්පතක පල වී තිබූ පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ පුවත තවත් බොහෝ මාධ්‍ය නාලිකා විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. 

Facebook Facebook 

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ගැටුම් මධ්‍යයේ රතු මුහුදේ ඇති අන්තර්ජාල කේබල් වලට හානි කරන බවට ඉරානය තර්ජනය කර ඇති බව වාර්තා වන බවත්, එසේ වුවහොත් එය ලෝකයේ බොහෝ රටවල අන්තර්ජාල වේගයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බවත් දක්වමින් Times of India විසින් පුවතක් වාර්තා කර තිබුණා.

ඉරානය විසින් රතු මුහුදේ මුහුද යට අන්තර්ජාල කේබල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් ඇති බවත්, එය ගෝලීය සම්බන්ධතාවන්ට බාධා කළ හැකි බවත්, නමුත් ඉරාන බලධාරීන්ගෙන් හෝ ප්‍රධාන බුද්ධි අංශවලින් නිල තහවුරු කිරීමක් ඒ සම්බන්ධයෙන් ලැබී නොමැති බවත් දක්වමින් මාධ්‍ය විසින් තවදුරටත් අදාළ පුවත වාර්තා කර තිබුණා.

National herald india

ගෝලීය අන්තර්ජාල දත්ත හුවමාරුවෙන් 17%ක් පමණ මෙම මුහුදු යට ඇති තන්තු දෘශ්‍ය (Fiber Optic) කේබල් හරහා ගමන් කරන අතර, එය මැදපෙරදිග කලාපයේ පවතින Amazon, Microsoft සහ Google වැනි දත්ත මධ්‍යස්ථානවලට සෘජුවම සම්බන්ධ වනවා.

ශ්‍රී ලංකාවට සම්බන්ධ වී ඇති මුහුද යට පවතින අන්තර්ජාල කේබල්

Submarine Cable Map හි සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව මුහුද යට පවතින අන්තර්ජාල කේබල් 8කට සම්බන්ධ වී තිබෙනවා. එම අන්තර්ජාල කේබල් සම්බන්ධයෙන් තොරතුරු පහතින්. 

submarine cable map

කේබල් පද්ධතියේ නම
Bay of Bengal Gateway (BBG)අග්නිදිග ආසියාව, දකුණු ආසියාව සහ මැදපෙරදිග යා කරන කේබලයකි. මෙය මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්බන්ධ කරයි.
Bharat Lanka Cable Systemඉන්දියාව සහ ශ්‍රී ලංකාව (කොළඹ) අතර සෘජුවම සම්බන්ධ වන කේබල් පද්ධතියකි.
Dhiraagu-SLT Submarine Cableශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සන්නිවේදන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මාලදිවයිනේ ධිරාගු සමාගම එක්ව පවත්වාගෙන යයි.
FALCONඉන්දියාවේ සිට මැදපෙරදිග හරහා යුරෝපය දක්වා විහිදෙන දිගු කේබල් ජාලයකි. මෙය ලොව පුරා රටවල් රැසක් යා කරයි.
India Asia Xpress (IAX)ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, තායිලන්තය සහ සිංගප්පූරුව ඉහළ වේගයකින් යුත් දත්ත හුවමාරුවක් සඳහා සම්බන්ධ කරන නවීන පද්ධතියකි.
Maldives Sri Lanka Cable (MSC)මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෘජුවම දිවෙන තවත් එක් වැදගත් කේබල් සබඳතාවයකි.
SeaMeWe-4අග්නිදිග ආසියාව, මැදපෙරදිග සහ බටහිර යුරෝපය යා කරන ප්‍රධානතම ජාත්‍යන්තර කේබල් පද්ධතියකි.
SeaMeWe-5SeaMeWe-4 ට වඩා නවීන සහ වැඩි ධාරිතාවයකින් යුත්, යුරෝපය සහ ආසියාව සම්බන්ධ කරන ප්‍රධාන කේබල් පද්ධතියකි.
SeaMeWe-6 (2027)දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින අතර 2027 වසරේදී ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය ඉතා ඉහළ වේගයකින් දත්ත ලබා දීමට සැලසුම් කර ඇත.

දත්ත ගබඩා කිරීම සහ සම්ප්‍රේෂණය යනු ක්‍රියාවලීන් දෙකකි.

දත්ත ගබඩා කිරීම සහ දත්ත සම්ප්‍රේෂණය යනු ක්‍රියාවලීන් දෙකක් වන අතර, තොරතුරු තාක්ෂණය, පරිගණක දෘඩාංග,, මෘදුකාංග, කෘතිම බුද්ධිය සහ Cloud පරිගණක සම්බන්ධයෙන් ලොව පැරණිතම තාක්ෂණික සමාගමක් වන IBM විසින් දත්ත ගබඩා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ මෙලෙසින්. දත්ත ගබඩා කිරීම යනු අනාගතය සඳහා ඩිජිටල් තොරතුරු පටිගත කර සංරක්ෂණය කරන චුම්භක, දෘශ්‍ය හෝ යාන්ත්‍රික මාධ්‍යයන් ලෙස එහි දක්වා තිබෙනවා.

IBM

තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපදේශන ආයතනයක් වන Advantage ආයතනය විසින් මුහුදු යටින් ගමන් ගන්නා අන්තර්ජාල කේබල් සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ මෙලෙසින්. සිංගප්පූරුවේ හෝ ඇමසන් (AWS) වැනි දත්ත මධ්‍යස්ථානවල දත්ත භෞතිකව ගබඩා කර පවතින අතර, මුහුද යට කේබල් (Submarine Cables) භාවිත කරන්නේ මෙම දත්ත මධ්‍යස්ථාන සහ දත්ත ලබාගන්නා පුද්ගලයා අතර සම්බන්ධතාවය ගොඩනැගීමට පමණක් බව ඒ අනුව පැහැදිලි වනවා.

Advantagecg

ඇමසන් (AWS) වැනි සමාගම් දත්ත ගබඩා කරන්නේ එක තැනක පමණක් නොවේ

ඇමසන් (AWS) වැනි සමාගම් දත්ත ගබඩා කරන්නේ එක තැනක පමණක් නොවන අතර, ඔවුන් දත්ත Redundancy සහ Backups භාවිතා කරනු ලබනවා. Amazon (AWS) හෝ Google Cloud වැනි Cloud සේවා අනුගමනය කරන්නේ Multi-AZ (Availability Zones) ක්‍රමය වන අතර, Cloud සේවා වල Disaster Recovery (DR) එනම් ආපදා අවස්ථාවන් වලදී ඒ සඳහා විශේෂිතව සකස් කළ සැලැස්මක් තිබෙනවා. එක් රටක කේබල් කැපී ගියත්, වෙනත් කලාපයක ඇති සේවාදායකයන් හරහා එම දත්ත ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් ඇමසන් සමාගම විසින් කරුණු දක්වා ඇත්තේ මෙලෙසින්.

aws.amazon

ලෝකය පුරා අන්තර්ජාලය සම්බන්ධ වන්නේ එකම කේබලයකින් නොවන අතර, එක් කේබලයක් කැපී ගියහොත්, අන්තර්ජාල දත්ත ස්වයංක්‍රීයව වෙනත් කේබල් මාර්ගයක් ඔස්සේ ගමන් කරයි. එවිට අන්තර්ජාලය වේගය අඩුවීමක් සිදුවිය හැකි නමුත් දත්තවලට හානියක් නොවේ.

මෑතකාලීනව රතු මුහුදේ අන්තර්ජාල කේබල් කැපී ගිය අවස්ථා

මෑතකාලීනව රතු මුහුදේ අන්තර්ජාල කේබල් කිහිපයක් කැපී ගිය අතර, එම අවස්ථාවන්වලදී අන්තර්ජාල සේවාවල වේගය අඩුවීමක් පමණක් සිදු වූ නමුත්, කිසිදු පාරිභෝගිකයෙකුගේ දත්ත මැකී ගිය බවට වාර්තා වී තිබුණේ නැහැ.

csis

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය 

අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) සිදු කරගත් තහවුරු කර ගැනීමකින් අනතුරුව අප වෙත සඳහන් කර සිටියේ, රතු මුහුදේ අන්තර්ජාල කේබල් වෙත ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළහොත් ඒ හරහා කිසිසේත් මෙරට තුළ හෝ වෙනත් රටක දත්ත ගබඩා තුළ ගබඩා කර ඇති දත්ත මැකී යාමක් සිදු නොවන බවයි. නමුත් කේබල් වෙත හානියක් සිදු වුවහොත් මෙරට මෙන්ම තවත් බොහෝ රටවලට අන්තර්ජාලය වෙත පිවිසීමේ අවහිරතා ඇති විය හැකි බවත් ඒ ඔස්සේ දත්ත වෙත ප්‍රවේශ වීමේ සීමා ඇති විය හැකි බවත් ඇය සඳහන් කළා. 

අප මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වැඩිදුරටත් තොරතුරු තහවුරු කිරීම සඳහා විමසීමක් කළ අතර ඔවුන්ද,ඉහත කරුණු සනාථ කරමින් පවසා සිටියේ රතු මුහුදේ අන්තර්ජාල කේබල් හරහා දත්ත මැකී යාමක් සිදු නොවන අතර කේබල් වෙත හානියක් සිදු වුවහොත් එමගින් බොහෝ රටවලට අන්තර්ජාලය වෙත පිවිසීමේ අවහිරතා ඇති විය හැකි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග උත්සන්න වන ගැටුම් මධ්‍යයේ රතු මුහුදේ ඇති අන්තර්ජාල කේබල් වලට හානි සිදු වුවහොත් ලොව බොහෝ රටවල අන්තර්ජාල වේගයට එයින් සැලකිය යුතු බලපෑමක් වන නමුත් වෙනත් රටවල ගබඩා කර ඇති මෙරට දත්ත මැකී යාමක් ඒ හරහා සිදු නොවන බවයි. දත්ත ගබඩා කිරීම සහ සම්ප්‍රේෂණය යනු ක්‍රියාවලීන් දෙකක් වන අතර දත්ත මධ්‍යස්ථානවල ගබඩා කර ඇති දත්ත සම්ප්‍රේෂණය සඳහා පමණක් මෙම කේබල් භාවිතා කරන බැවින් කේබල් වලට හානි වූ පමණින් දත්ත මැකී යාමේ අවධානමක් නොමැත.

Result Stamp

Title: ඉරානය අන්තර්ජාල කේබලයකට ප්‍රහාරයක් එල්ල කළොත් පිටරට ගබඩා කළ ශ්‍රී ලංකාවේ දත්ත මැකී යනවා ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *