දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම ලිපි මගින් ඇතැම් මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ තමන් පෙන්වා දෙන අඩුපාඩු නිවැරදි නොවන්නේ නම් මන්ත්‍රී ධුරවලින් හෝ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවයි. මෙම විරෝධතාවයේ නිරත පිරිස කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පත්වූ කිහිප දෙනෙකු ද ඒ අතර වේ. විශේෂත්වය වන්නේ මොවුන්ගෙන් බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ සෘජු සාමාජිකයන් නොව මාලිමාව සමඟ එක්වූ වෘත්තිකයන් වීමයි. කෙසේ වෙතත්, පක්ෂයට ලැබුණු ජනවරම නොසලකා හරිමින් කිසිදු තනතුරකින් ඉල්ලා අස්වීමට මොවුන්ට අවසර නොදීමට ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇති අතර, මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇත.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙක් ලිපි භාර දී, තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇත්නම්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ප්‍රමුඛ පුවතක් විය යුතු අතර, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් මූලික වශයෙන් මෙවැනි පුවතක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කළත්, ඒ සම්බන්ධ කිසිඳු පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ නැහැ.
එසේම, එවැනි ලිපි භාර දීමක් හෝ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ඇති සූදානමක් පිළිබඳව කිසිදු පිළිගත හැකි නිල මූලාශ්‍රයක් හරහා තහවුරු කර නොතිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගත හැකි අදාළ පාර්ශව සෘජුවම සම්බන්ධ කර ගැනීමට අප කටයුතු කළා.
ජනාධිපති මාධ්‍ය අංශය
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දොළොස් දෙනෙක් තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යය සටහනක් බවත්, එසේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ය.
පැලවත්ත පක්ෂ කාර්යාලය
මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ද ඔවුන් සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.
මෙතෙක් ජාතික ජන බලවේග රජයෙන් ඉල්ලා අස් වූ මැති ඇමතිවරුන්
ජාතික ජන බලවේග රජයේ වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව, විවිධ හේතූන් මත මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී තිබුණා.
කථානායකවරයා වශයෙන් පත්වූ අශෝක රන්වල මහතා 2024 දෙසැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, ඔහුගේ ආචාර්ය උපාධියේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වූ දැඩි කතාබහ සහ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙම තීරණය ගනු ලැබුවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මූල්‍ය හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය වරයා වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා 2025 ජූනි 20 වන දින සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
2026 අප්‍රේල් 17 වන දින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා මත පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දීම සඳහා ඔහු මෙම ඉල්ලා අස්වීම සිදු කර තිබුණා. මොහු NPP රජයේ ඉල්ලා අස් වූ පළමු සහ එකම කැබිනට් අමාත්‍යවරයා වනවා. බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟම, එම පරීක්ෂණ කටයුතුවලට සහාය වීමක් ලෙස 2026 අප්‍රේල් 17 වන දින බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ද සිය ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබුණා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. එම සටහන සම්පූර්ණයෙන් අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය සහ ජාතික ජන බලවේගයේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය විසින් තහවුරු කළා.


