දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් මත, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමඟම, දේශපාලන හා පාතාල ලෝකය අතර පවතින සම්බන්ධතා පිළිබඳ නැවත සංවාදයක් ඇති වී තිබෙනවා.
මෙම පසුබිම තුළ, ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ ජාතික ජන බලවේගය (NPP) නායකයින්, පාතාල නායකයෙකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ අයුරු බව කියවෙන ඡායාරූපයක්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ/ජාජබ නායකයින් කිහිපදෙනෙකු, අවමංගල්‍ය කටයුත්තකට සහභාගී බව පෙන්වන ඡායාරුපයක් සමග “මා කඳුරේ මදුෂ්ගේ මරණයට අවසන් ගෞරව දක්වන්න ආ වාමාංශික දේශපාලන නායකයා“ යනුවෙන් විස්තරයක් ද පළකර තිබුනේ මෙලෙසින්.



එම තේමාවෙන්ම ජනපති අනුර, මදුෂ්ට අවසන් ගෞරව දක්වන ආකාරය ලෙස හුවමාරු වී තිබු ඡායාරුපය සටහන් ද මෙලෙස දැක ගන්නට ලැබුණා.

මෙම ඡායාරූප සත්‍ය වශයෙන්ම මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතු සඳහා ජවිප/ජනබල නායකයින් සහභාගී වූ අවස්ථාවක ලබාගත් ඡායාරූපය ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.
Fact-Check (කරුණු විමර්ශනය)
පළමු ඡායාරූපයේ සැබෑ සන්දර්භය
Reverse Image සෙවුමක් ඔස්සේ මෙම ඡායාරූපයේ මුල් තොරතුරු පරික්ෂාවේ දී අපට අනාවරණය වුයේ, මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ මෑණියන්ගේ අවසන් කටයුතු අතරතුර ලබාගත් ඡායාරූපයක් බවයි.
මෙම ඡායාරූපය, 2020 සැප්තැම්බර් මස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල Facebook පිටුවේ පළවී තිබුනේ, ටිල්වින් සිල්වා මහතාගේ මෑණියන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් පළ කළ ඡායාරූප ඇල්බමයක කොටසක් ලෙසය:

Facebook — මූලාශ්‍ර ඡායාරූප ඇල්බමය (Anura Kumara Dissanayake)

ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවේ ද අදාළ ඡායාරුපය පළවී තිබුනේ මෙලෙසින්.
දෙවන ඡායාරුපය, මදුෂ්ගේ අවසන් කටයුතු අතරතුර දී ලබාගත් ඡායාරුපයක් ඇසුරෙන් සිදුකළ සංස්කරණයක්!
දෙවන ඡායාරුප සටහනට අදාළ මුල් ඡායාරුපය, මදුෂ්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පළවූ සටහන් කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේවෙතත් එම මුල් ඡයරුපවල ජවිප නායක අනුර කුමාර දිසානායක මහතා දැක ගන්නට ලැබෙන්නේ නැහැ. එම සටහන් මෙතනින් | Archived සහ මෙතනින්. Archived
ඡායාරුප සංස්කරණයේ සංසන්දනයක් පහතින්.

ජාතික ජන බලවේගය
ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය ද අපට තහවුරු කළේ, පක්ෂයේ නායකත්වය, මදුෂ්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී නොවූ බවයි.
මාකඳුරේ මදුෂ්ගේ මරණය
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මා කඳුරේ මධූෂ් (Makandure Madush) නැමැත්තා, පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මිය ගියේ, 2020 ඔක්තෝබර් මස 20 වැනිදා, මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දීයි. මාකදුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2020 ඔක්තෝබර් 21 සිදුවූ අතර ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්. එනම්, මදුෂ්ගේ මරණය සිදුව ඇත්තේ, ටිල්වින් සිල්වාගේ මවගේ අවසාන කටයුතුවලින් මසකට පසුවයි.
වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇති වූ වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වූ බව පොලිසිය පැවසු අතර එම සිදුවීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශන ගැන සෑහිමකට පත්විය නොහැකි බවත්, කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්, මදුෂ්ගේ බිරිඳ සහ සොහොයුරෑ පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර 2026 මාර්තු මස ද නැවත වරක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ ගැන නැවත විමර්ෂණ සිදුකර තිබුණා.
මෙම ඡායාරූපය දැන් නැවත සංසරණයේ වන්නේ ඇයි?
2026 ජූනි 25 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් SJB හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා, නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති පාතාල නායකයා සම්බන්ධ අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමත් සමඟ, දේශපාලනඥයන් සහ පාතාල ලෝකය අතර ඇති සම්බන්ධතා පිළිබඳ සමාජය තුළ නැවත සංවාදයක් මතු වී තිබෙනවා. Daily Mirror | News 1st
මෙම පසුබිම යටතේ, ආණ්ඩු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය ද, පාතාල ලෝකය සමඟ සම්බන්ධතා පවත්වන බව ඒත්තු ගැන්වීමට, මෙම 2020 වසරේ ව්‍යාජ ඡායාරූප සටහන නැවත හුවමාරු කරගෙන ඇති බව පෙනී යනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජවිපෙ නායකයින්, පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතුවලට සහභාගී වූ බව පෙන්වන ඡායාරූප, ව්‍යාජ සහ නොමඟ යවන සුළු බවයි.
ඉන් එක් සේයාරුවක්, ඡායාරුප සංස්කරණයක් වන අතර, අනෙක් ඡායාරූපයේ දැක්වෙන්නේ, මදුෂ්ගේ මරණයට මසකට පෙර සිදුවීමකි. එනම් 2020 සැප්තැම්බරයේ දී, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, පක්ෂයේ ප්‍රධාන ලේකම් වන ටිල්වින් සිල්වාගේ මෑණියන්ගේ අවසන් කටයුතු වලට සහභාගී වූ අවස්ථාවක ලබාගත් ඡායාරූපයකි.


