දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 04 වැනිදා සිසු අයිතියට පත් කිරීම ගැන පුවත් වාර්තා වෙද්දී, ඊට සමගාමීව හුවමාරු වූ තවත් සටහන් පෙළකින් පෙන්වා දී තිබුණේ, මෙම වෛද්‍ය පීඨය මීට පෙර 2019 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද සිසු අයිතියට පත් කළ බවයි. මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප අදහස් කළේ එවන් පසුබිමකයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇතැම් ප්‍රධාන ධාරාවේ පුවත් ද මෙම පුවත වාර්තා කිරීමේ දී සම්පුර්ණ සන්දර්භය ඇතුළත් නොකරමින් නව පීඨයක් විවෘත කිරීමක් ලෙස පෙන්වා දීම මේ සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වීමට මුල් වී තිබුණි.



ඒ අනුව මෙය නව පීඨයක් විවෘත කිරීමක් ලෙස පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේද සටහන් නිර්මාණය වී තිබුණේ මෙලෙසින්.

මීට ප්‍රතිචාර ලෙස, අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ සිසු අයිතියට පත් කරන සබරගමුවේ වෛද්‍ය පීඨය, 2019 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිසු අයිතියට පත් කළ එකක් බව දක්වමින් ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක්ම හුවමාරු වී තිබුණා.


මෙම හුවමාරු වන සටහන්හි සැබෑ පසුබිම කුමක්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
කරුණු පැහැදිලි කිරීම (Explainer);
මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් සබරගමුව, වයඹ සහ මොරටුව වෛද්‍ය පීඨ සඳහා රුපියල් මිලියන 1,250 ක (බිලියන 1.25) සෘජු මුදල් ප්‍රතිපාදන වෙන් කරනු ලැබුවේ 2018 අයවැය මඟිනි. 2017 නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සම්පූර්ණ අයවැය වාර්තාව මෙතනින්.

සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය පිහිටුවීම පිළිබඳ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ප්‍රකාශය – 2018
2018 මාර්තු මස 06 වන දින ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩල කාර්යාලය (Cabinet Office – Sri Lanka) විසින් නිල වශයෙන් නිකුත් කරන ලද, සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය පිහිටුවීම පිළිබඳ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ප්‍රකාශය මගින් අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, සබරගමුව, වයඹ සහ මොරටුව වෛද්‍ය පීඨ සඳහා රුපියල් මිලියන 1,250 ක (බිලියන 1.25) මුදලක් වෙන් කර ඇති බව තහවුරු කර ඇත.
සබරගමුව වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 75 දෙනෙකු ඇතුළත් කර ගනිමින් පීඨයේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ස්ථිර ගොඩනැගිලි ඉදිවන තෙක් සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය දේශන ශාලා සහ නවාතැන් පහසුකම් කඩිනමින් සකස් කර ගැනීමටත් එහිදී තීරණය වී ඇත. වෛද්‍ය පීඨයේ ක්ෂණික අවශ්‍යතා වෙනුවෙන් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුහේන ප්‍රදේශයේ පිහිටි දේපළක් තෝරා ගෙන ඇති බවත්, ඒ අනුව, එවකට විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව තිබූ ඉඩම සහ එහි වූ ගොඩනැගිලි සංකීර්ණය වෛද්‍ය පීඨයේ පරිපාලන හා දේශන කටයුතු සඳහා විධිමත් පරිදි පවරා ගැනීමට මෙයින් අනුමැතිය ලැබී ඇත.

නිල වශයෙන් වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය (2018)
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සනින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය (Faculty of Medicine) නිල වශයෙන් පිහිටුවනු ලැබීය.

ප්‍රථම සිසුන් කණ්ඩායම ඇතුළත් කරගැනීම සහ විවෘත කිරීම (2019 ජනවාරි)
එසේම 2019 ජනවාරි 17 වැනි දින එවකට පැවති රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙහිදී සිසුන් 75 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම (2017/2018 කණ්ඩායම) ඇතුළත් කරගෙන ඇති අතර, ස්ථිර ගොඩනැඟිල්ලක් නොතිබූ බැවින් රත්නපුර ශික්ෂණ රෝහලට අනුබද්ධ තාවකාලික පරිශ්‍රයන්හි සහ විශ්වවිද්‍යාලයේ පවතින සම්පත් යොදාගනිමින් දේශන පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
වැදගත්: 2019දී සිදු වූයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම මිස, ස්ථිර ගොඩනැඟිලි සංකීර්ණයක් සිසු අයිතියට පැවරීම නොවේ. එවකට ස්ථිර ගොඩනැඟිලි ඉදිකර නොතිබූ අතර, තාවකාලික පහසුකම් යටතේ දේශන පවත්වන ලදී.
සෞදි සංවර්ධන අරමුදල සමඟ නිල ණය ගිවිසුම (2019 සැප්තැම්බර්)
වෛද්‍ය පීඨය සඳහා නවීන භෞතික පරිශ්‍රයක් ඉදිකිරීම වෙනුවෙන් 2019 දී ලංකා රජය සහ සෞදි රජය අතර නිල මූල්‍ය ගිවිසුමක් අත්සන් කර ඇත. සෞදි රියාල් මිලියන 187.5 ක (ඇමරිකානු ඩොලර් මිලියන 50 කට ආසන්න) සහනදායී ණයක් සෞදි සංවර්ධන අරමුදල (SFD) මඟින් ලබාදුන් අතර, ඉතිරි මුදල ලංකා රජය විසින් දැරීමට එකඟ වී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ණය මුදල ලැබීමෙන් පසු, වෛද්‍ය පීඨයේ Para-Clinica ගොඩනැගිල්ල සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,013.87 ක (වැට් බදු රහිතව) මුදලකට මගා ඉංජිනේරු ආයතනය (Maga Engineering Ltd.) වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
Para-Clinical සහ පරිපාලන ගොඩනැගිලි ඉදිකිරීම, රජයන් කිහිපයක් යටතේ සිදුවූ ව්‍යාපෘතියක්!
Para-Clinical සහ පරිපාලන ගොඩනැගිලි සඳහා අත්තිවාරම් තැබීමේ උත්සවය පවත්වා ඇත්තේ 2020 ඔක්තෝබර් (එවකට තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ), ගල්කඩුවවත්ත, නවනගරය, රත්නපුර පරිශ්‍රයේදීය.
මුල් සැලසුම අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය පළමු අදියරේදී වසර එකහමාරක (1.5) කෙටි කාලයකදී නිම කිරීමට නියමිතව තිබුණි. නමුත් 2020 කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව එළැඹි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් සැලකිය යුතු ලෙස ප්‍රමාද විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
2024 සැප්තැම්බර් 24 වන දින මෙම Para – Clinical ගොඩනැගිල්ල විවෘත කරන ලද බවට සබරගමුව විශ්ව විද්‍යාලයේ නිල වෙබ් පිටුව තුළ සටහනක් තබා තිබුණා. එම සටහන මෙතනින්. අප විසින් සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ඔහු විසින්ද සඳහන් කළේ, පැරා ක්ලිනිකල් ගොඩනැගිල්ල 2024 වසරේදී සිසු අයිතියට පත් කළ බවයි.
එසේම මෑතකදී විවෘත කළ නේවාසිකාගාර, ශ්‍රවණාගාර, පුස්තකාලය සහ මහාචාර්ය ඒකකය ඇතුළත් නව පීඨ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ, 2024 ජනවාරි මාසයේදී ය. ඒ බව අප විසින් සිදුකළ විමසීමේදී සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා විසින් තහවුරු කළා.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු…
2025 ජූලි 14 වැනිදා ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) අතර සමස්ත ණය සහනදායී කොන්දේසි මත ප්‍රතිව්‍යුහගත කරමින් ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් තැබූ අතර, එමඟින් මෙම ව්‍යාපෘතියේ අවසන් අදියරේ වැඩකටයුතු බාධාවකින් තොරව නිම කිරීමට මඟ පෑදිණි. මෙම ගිවිසුම මඟින් සෞදි රියාල් මිලියන 517ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 137.9ක) සමස්ත ණය මුදලක් සහනදායී කොන්දේසි මත ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර, එමඟින් සබරගමුව වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය ඇතුළු සෞදි ආධාර ලබන ව්‍යාපෘතිවල අවසන් අදියර කඩිනම් කිරීමට හැකි විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
2026.07.04 දින සිදු වූයේ 2024 ජනවාරි මාසයේදී ආරම්භ කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමයි.
2019 සිට මේ දක්වා වෛද්‍ය සිසුන් කණ්ඩායම් 5ක් පමණ මෙම පීඨයට ඇතුළත් කරගෙන ඇති අතර සමස්ත සිසුන් සංඛ්‍යාව 750ක් දක්වා වර්ධනය වී ඇත. දැනට බලයේ පවතින රජයේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී ඉංජිනේරු ෆයිසාල් අල්-කහ්තානි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූයේ ඉදිකරන ලද නව “ස්ථිර වෛද්‍ය පීඨ ගොඩනැඟිලි සංකීර්ණය” නිල වශයෙන් විවෘත කර සිසු අයිතියට පැවරීමයි.
එකවර සිසුන් 500කට නේවාසික පහසුකම් සහිත නේවාසිකාගාර, සිසුන් 1060ක ප්‍රධාන ශ්‍රවණාගාරයක් සහ නවීන දේශන ශාලාවලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සිසු අයිතියට පත් කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ විරෝධය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමට විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ වරින් වර මාරු වූ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් හමුවේ වසර ගණනාවක් ප්‍රමාද වූ මෙම වෛද්‍ය පීඨය, සිසුන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ අරගලයන්ගේ ප්‍රතිඵලයක් මිස දේශපාලනඥයන්ගේ කැපවීමක් නොවන බවයි.
සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමේ යෝජනාව 2007 වර්ෂයේදී ඉදිරිපත් වූවක් බවත්, 2010 වසරේදී ශිෂ්‍යයන් බඳවා ගැනීමට සැලසුම් කර තිබුණද, පාලකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් එය වසර ගණනාවක් ප්‍රමාද වූ බවත් ඔවුන් විසින් මෙම මාධ්‍ය නිවේදනයෙහි දක්වා තිබුණා. සිසුන්ගේ අඛණ්ඩ අරගලවල ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරි 05 වන දින වෛද්‍ය පීඨය නිල වශයෙන් ආරම්භ කර ඇතත්, එය ආරම්භ කරන ලද්දේ අවශ්‍ය මූලික පහසුකම් සම්පූර්ණ කිරීමෙන් තොරව බව ද ඔවුන් දක්වා තිබුණා.
2019 වසරේ ඇතුළත් වූ පළමු කණ්ඩායම 2023 දී සායනික පුහුණුව සඳහා යොමු විය යුතුව තිබුණත්, මහාචාර්ය ඒකකයක් නොමැති වීම හේතුවෙන් උපාධියේ වලංගුභාවය පිළිබඳ ගැටලු මතු වූ බවත්, වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව තාවකාලික විසඳුම් ලබාදීමට ගත් උත්සාහයන්ට සිසුන් විරෝධය පළ කළ බවත් එහිදී ඔවුන් විසින් සඳහන් කර තිබුණා.
සිසුන්ගේ කැපවීමෙන් දිනාගත් වෛද්‍ය පීඨ සංකීර්ණය විවෘත කිරීමේදී, විවිධ රජයන් සහ දේශපාලන බලවේග එහි ගෞරවය ලබා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පළ කර තිබුණා. එම නිවේදනය පහතින්.

2019 ජනවාරියේ රනිල් වික්‍රමසිංහ මහතා අතින් පීඨය ආරම්භ කළ අවස්ථාවේදී ද සිසු විරෝධතාවක් දැක්වූ අතර, එහිදී ද ඔවුන් පවසා තිබුණේ විශාල අරගලයකින් පසු වෛද්‍ය පීඨය ලබාගත් බවත්, එය දේශපාලනීකරණය නොකළ යුතු බවත්ය. එම පුවත් වාර්තාව මෙතනින්.
සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා
මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භයේ සිට මෑතක් වනතුරු අවස්ථා දෙකකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතාගෙන් මෙය සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඒ මහතා විසින් සඳහන් කළේ මෙවන් අදහසක්.
“සබරගමුව වෛද්‍ය පීඨය පටන් ගත්තේ 2019 දී. බටුහේන කියන තැන විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් තමයි අපට දුන්නේ පළවෙනියෙන්ම වැඩ පටන් ගන්න. එතන දෙපාර්තමේන්තු තුනක් තිබුණා. සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක් ඇතුළු වෙනකොට අවුරුදු දෙකක් ඉන්න ඕනේ පූර්ව සායනික වලට. ඊට පස්සේ තමයි පැරා-ක්ලිනිකල් කියන එකට යන්නේ. එතකොට ඒ පැරා-ක්ලිනිකල් බිල්ඩින් එක 2020 ඔක්තෝබර් වගේ, මගේ මතකය විදිහට ඔක්තෝබර් 30, වැඩ පටන් ගත්තා. ඒ සඳහා මිලියන 96ක් මහා භාණ්ඩාගාර සල්ලි යෙදෙව්වා. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඒ වැඩ පටන් ගන්නකොටත් මම වීසී (VC) වශයෙන් හිටියා. ඒ වැඩ පටන් අරන් යනකොට කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉදි කිරීම් ප්‍රමාද වුණා.
2019 ඇතුළත් වුණු ළමයි 70ක් විතර අර අවුරුදු දෙක ඉවර වෙලා මෙතෙන්ට එනකොට අර ප්‍රමාදය නිසා අපට ළමයි දාන්න තැනක් නැති වුණා. ඊට පස්සේ රත්නපුර නව නගරයේ තියෙන විශේෂ පුහුණු මධ්‍යස්ථානයේ කාමර කීපයක ඒ කටයුතු කරගෙන ගියා. නමුත් ළමයි කණ්ඩායම් වැඩි වෙනකොට ඒක කරන්න අමාරු වුණා.
පූර්ව සායනික එකේ දෙපාර්තමේන්තු 3යි, පැරා-ක්ලිනිකල් එකේ 7යි, ඔක්කොම දෙපාර්තමේන්තු 15ක් තියෙනවා. මේ ගොඩනැගිලි ප්‍රශ්නය නිසා, රත්නපුර නව නගරයේ තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගොඩනැගිල්ලක් බදු පදනම මත ගත්තා. 2022 වෙනකොට ආර්ථික අර්බුදය නිසා මේකෙ ඉදිකිරීම් කරපු මාගා සමාගම වැඩ නතර කරන්න හැදුවා. බිල් ගෙවලා නැති නිසා. ඊට පස්සේ මම එවකට ජනාධිපතිවරයාට කතා කළා, එයා එතකොට මුදල් ඇමති. මම කිව්වා ළමයි කණ්ඩායම් පහක් ඉන්නවා, පැරා-ක්ලිනිකල් බිල්ඩින් එකේ වැඩ නතර වෙලා තියෙන්නේ සල්ලි ගෙවලා නැති නිසා කියලා. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට මිලියන 300ක් රිලීස් කළා කන්ට්‍රැක්ටර්ට ගෙවන්න කියලා. එහෙම තමයි ඒ වැඩ ටික කරගෙන ගියේ.
ඊට පස්සේ 2024 දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇවිත් පැරා ක්ලිනිකල් බිල්ඩින් එක (නිල් පාට වහල තියෙන තට්ටු 3-4 ගොඩනැගිලි දෙක) විවෘත කළා. එතකොට අර බදු ගත්ත ගොඩනැගිල්ල අපි අයින් කළා. එම අවස්ථාව මෙතනින්
දැනට වෛද්‍ය පීඨයේ ළමයි 700ක් විතර ඉන්නවා. බැච් දෙකක් අවුට් වෙලා. මෙතන මාධ්‍ය විසින් පටලවා ගත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීම කියන එක. ඒක වැරදියි. වෛද්‍ය පීඨය විවෘත කරලා ඉවරයි. සෙරමෝනියල් ඕපනින් එකක් කරන්නේ එක පාරයි.
පහුගිය දවස්වල තිබුණේ ගොඩනැගිලි විවෘත කිරීමක්. මේ විවෘත කළ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සෞදි අරමුදල යටතේ පටන් ගත්තේ 2024 ජනවාරි. ඒ කියන්නෙ නේවාසිකාගාර, ශ්‍රවණාගාර, පුස්තකාලය සහ මහාචාර්ය ඒකකය. මහාචාර්ය ඒකකය තාම විවෘත කළේ නැහැ, ඒකේ වැඩ ඉවර වෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් වල.
2019 දි සෞදි සංවර්ධන අරමුදලේ ණය ගිවිසුමට සෑහෙන කාලයක් ගියා කොවිඩ් සහ පාස්කු ප්‍රහාරය නිසා. සෞදි අරමුදල ඒක නතර කරන්නත් ගියා. පස්සේ මම 2019 අගෝස්තු සැප්තැම්බර් අතර කාලයේ එවකට රනිල් වික්‍රමසිංහ මහතාට ලියුමක් ලියලා මේකේ අවශ්‍යතාවය පැහැදිලි කළා. පස්සේ 2019 අප්‍රේල් වල මූලික ගිවිසුම අත්සන් කරලා, පස්සේ කොළඹදී අවසාන ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි මේක ක්‍රියාත්මක වුණේ. 2024 ජනවාරි මාසයේ තමයි කැබිනට් එකත් අනුමත කරලා කන්ට්‍රැක්ටර් ට ගියේ.
රටේ ආර්ථික ප්‍රශ්න නිසා ලොකු පබ්ලිසිටි එකක් නැතුව වැඩ පටන් ගත්තා. වර්තමාන රජය යටතේ අලුත් ඉදි කිරීමක් ආරම්භ වුණේ නැහැ, පරණ ගිවිසුම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම තමයි මේ පීඨය පටන් ගන්න පළවෙනි ලියුම ලිව්වෙත්. ඉතින් මාධ්‍ය කළේ ‘ගොඩනැගිලි‘ කියන වචනය පාවිච්චි නොකර ‘වෛද්‍ය පීඨය විවෘත කළා‘ කියලා අර්බුදයක් ඇති කරපු එකයි. කොවිඩ් සහ ආර්ථික අර්බුදය මැද තමයි අපි මේ වැඩ ටික කරගෙන ආවේ. මාගා සමාගම ඉන්දියාවෙන් පවා සේවකයෝ ගෙනාවා වැඩේ ඉක්මන් කරන්න. මේක සබරගමුවට ලොකු ආශිර්වාදයක්.”
සාරාංශය (Summary)
සබරගමුව වෛද්‍ය පීඨය යනු 2017/2018 දී අයවැයෙන් ප්‍රතිපාදන ලබා, 2018දී නිල වශයෙන් ස්ථාපිත වී, 2019 ජනවාරියේදී තාවකාලික පහසුකම් යටතේ අධ්‍යයන කටයුතු ඇරඹි පීඨයකි. නව ගොඩනැගිලි සංකීර්ණයක ඇතිවූ අවශ්‍යතාව මත, 2020 දී ඉදිකිරීමේ මුල්ගල තබා වසර එකහමාරකින් අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී, 2024 ඉදිකිර්ම් ආරම්භ වී, ජාතික ජන බලවේග රජය යටතේ, සංශෝධිත ණය ගිවිසුමක් යටතේ ඉදිකිරීම් අවසන් කරමින්, 2026දී ස්ථිර ගොඩනැඟිලි සංකීර්ණයක් ලෙස විවෘත වූ මෙම අංගනය, රජයන් කිහිපයක් යටතේ සිදුකෙරුණු දිගුකාලීන ව්‍යාපෘතියකි.
2019දී සිදු වූයේ, සීමිත පහසුමක් යටතේ, අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වන අතර, 2026 ජූලි 04 දී සිදු වූයේ 2024 ජනවාරි ඉදිකිරීම් ඇරඹූ නව ස්ථිර ගොඩනැඟිලි සංකීර්ණයක් සිසු අයිතියට පැවරීමයි. ‘ගොඩනැගිලි විවෘත කිරීම’ යන වචනය පාවිච්චි නොකර ‘වෛද්‍ය පීඨය විවෘත කළා’ යනුවෙන් ඇතැම් මාධ්‍ය මේ පිලිබඳ වාර්තා කිරීමෙන් නොමඟ යවන සුළු සටහන් නිර්මාණයට මුල් වී තිබුණා.
මෙම ව්‍යාපෘතිය එක් රජයකට හෝ එක් දේශපාලනඥයෙකුට පමණක් හිමිකම් කිව නොහැකි, විවිධ රජයන් යටතේ අදියරෙන් අදියර ඉදිකෙරුණු, සිසු අරගලද ඇතුළත් දිගුකාලීන සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


