දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
‘හික්කඩුව’ යන වෙළඳ නාමයෙන් වෙළඳපොළේ පවතින පාවහන් වල “අල්ලාහ්” යන නාමය මුද්‍රණය කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වන අයුරු දක්නට ලැබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප සිදුකළ සොයා බැලීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Facebook Facebook | Archived Link
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය සටහන් තුළ දැක්වෙන පරිදි මෙහි සැබවින්ම “අල්ලාහ්” යන වචනය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අප කටයුතු කළෙමු. එහිදී “99 NAMES OF ALLAH Arabic Calligraphy in Kufi Script” (කූෆි අක්ෂර කලාවෙන් ලියවුණු අල්ලාහ්ගේ නාම 99) යන තේමාව යටතේ ඇති අක්ෂර රටාවට සමාන මෝස්තරයක් මෙම සෙරප්පුවේ ඇති බව හඳුනා ගැනීමට හැකි විය.

විඩිවෙල්ලි පුවත්පතේ ප්‍රධාන කර්තෘ
මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අප, ආරාබි භෂාව ගැන දැනුමක් ඇති, විඩිවෙල්ලි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා සම්බන්ධ කර ගත්තෙමු. එහිදී ඔහු විසින් පවසා සිටියේ අරාබි අක්ෂර කලාවේ (Calligraphy) එක්තරා විලාසිතාවකින් “අල්ලාහ්” යන වචනය මෙහි ලියවී ඇති බවයි.
තමන්ද ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර තහවුරු කරගත් බව පවසමින් ඒ සඳහා වන සාක්ෂිද අප වෙත යොමු කළේය. තවද, අදාළ නිෂ්පාන ආයතනය මේ පිළිබඳව නොදැනුවත්ව මෙම මෝස්තරය සෙරප්පුවේ මුද්‍රණය කරන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.


සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව
අප සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර, එහිදී ඔහුද තහවුරු කළේ මෙය අරාබි අක්ෂර කලාවේ එක්තරා රටාවක් බවයි.
හික්කඩුව පාවහන් ආයතනය
අප මේ සම්බන්ධයෙන් හික්කඩුව පාවහන් ආයතනය සම්බන්ධ කරගෙන විමසීමක් සිදු කළ අතර, එහිදී ඔවුන් පැහැදිලි කළේ මෙම මෝස්තරය www.pinterest.com වෙබ් අඩවියෙන් ලබාගත් නිර්මාණයක් පදනමින් සකස් කරන ලද්දක් බවයි. කිසිදු ආගමික සංකේතයකට හෝ යම් ප්‍රජාවකගේ ආගමික විශ්වාසයන්ට අපහාස කිරීමේ, හෙළාදැකීමේ හෝ රිදවීමේ චේතනාවෙන් මෙය නිර්මාණය නොකළ බවද ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, මෙම මෝස්තරය නිසා ආගමික විශ්වාසයක් සහිත ජන කොටසකගේ හිත් රිදීමකට ලක්ව ඇති බව දැනගත් වහාම, පැය 24 ක් ඇතුළත එම මෝස්තරය වෙනස් කිරීමට ක්ෂණික පියවර ගත් බව ඔවුහු ප්‍රකාශ කළහ. ඒ සම්බන්ධයෙන් ඔවුන් නිල මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

හික්කඩුව පාවහන් ආයතනය පැවසූ තොරතුරු මත අප Pinterest වෙබ් අඩවියේ සෙවීමක් කළ අතර, අදාළ මෝස්තරයට සමාන ඡායාරූපයක් සොයා ගැනීමට හැකි විය. එහි සඳහන්ව තිබුණේ මෙය අරාබි අක්ෂර රටාවක් (Arabic Calligraphy) බව පමණි. එහි “අල්ලාහ්” යන වචනය ඇති බව සඳහන් කර නොතිබීම විශේෂත්වයකි. pinterest.com
‘හික්කඩුව පාවහන්‘ මෝස්තරය වෙනස් කිරීම සහ නිවැරදි කිරීම
“හික්කඩුව පාවහන් ආයතනයේ නිෂ්පාදනයක ඇති මෝස්තරයක් ආගමික සංකේතයකට සමාන වන බවට වෙළෙඳපොළෙන් නැගුණු චෝදනා කෙරෙහි අපගේ අවධානය යොමු විය. මෙම මෝස්තරය ආගමික හැඟීම්වලට බලපෑමක් එල්ල කර ඇති බව දැනගත් වහාම, ‘හික්කඩුව පාවහන්‘ ආයතනය වහා ක්‍රියාත්මක වී පැය 24ක් ඇතුළත එම මෝස්තරය වෙනස් කිරීමටත්, නිවැරදි කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලදී. මෙම සිදුවීමෙන් අහම්බෙන් හෝ යම් පුද්ගලයෙකුගේ හෝ ප්‍රජාවකගේ ආගමික හෝ සාමාජීය හැඟීම් රිදවීමකට හෝ සිත් තැවුලකට ලක් කළේ නම්, ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කර සිටිමු.
කිසිදු ආගමකට, ආගමික සංකේතයකට හෝ සංස්කෘතික අගයකට අවමාන කිරීමේ හෝ අව තක්සේරු කිරීමේ අරමුණින් මෙම මෝස්තරය කිසිසේත්ම නිර්මාණය නොකළ බව අවධාරණය කරමු. ‘හික්කඩුව පාවහන්‘ ආයතනය සෑම විටම සියලුම ආගම්, සංස්කෘතික වටිනාකම් සහ සමාජ විවිධත්වයට ගරු කිරීමට බැඳී සිටියි.
අපගේ ඉදිරි සියලු නිෂ්පාදන සහ ක්‍රියාකාරකම්වලදී උපරිම සාධාරණත්වය සහ ගෞරවය සුරකිමින් වගකීම් සහගතව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බව ප්‍රකාශ කරමු.” යනුවෙන් එම නිවේදනයේ දක්වා ඇත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
‘හික්කඩුව’ යන වෙළෙඳ නාමයෙන් වෙළෙඳපොළේ පවතින පාවහන් වල “අල්ලාහ්” යන නාමය මුද්‍රණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් Factcrescendo අප සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ, එම පාවහන්හි ඇත්තේ අරාබි අක්ෂර කලාවේ (Arabic Calligraphy) එක්තරා විලාසිතාවකට අනුව ලියවුණු මෝස්තරයක් බවත්, ආරාබි භාෂාව පිළිබඳ දැනුමැති විශේෂඥයන් හා සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ද එය තහවුරු කර ඇති බවත් ය.
එබැවින්, පාවහන්හි අරාබි අක්ෂර කලාවට අනුව ‘අල්ලාහ්’ යන නාමයට සමාන මෝස්තරයක් තිබූ බව සත්‍ය වුවද, එය හිතාමතා හෝ ආගමික අපහාසයක් ලෙස නිර්මාණය කරන ලද්දක් නොවන අතර දැනටමත් නිවැරදි කර ඇති බව, හික්කඩුව පාවහන් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.


