කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලම් භක්තිකයන්ගේ අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවී ඇත. දැනට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මියයන රොගීන් ආදහනය කරණු ලැබේ. එහෙත් මෙම ක්‍රමවේදයට විරෝධය පල කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය කිරීමට අවසර පතයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට රජය විද්වත් කමිටුවක් පත් කළ බවට වාර්තා විය.

මේ සම්බන්ධයෙන් හඬක් නගන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම සටහන් රැසක් නිර්මාණය වී තිබෙනු දැක ගන්නට ලැබුණි. “භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි” යනුවෙන් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවැසු බවට ඉදිරිත්ව ඇති සමාජ මාධ්‍ය සටහන් පිලිබඳව අප සිදුකළ විමර්ෂණයේදී අනාවරණය වුයේ ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු විකෘති කර දක්වන නොමග යවන සුළු සටහන් පෙළක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

Sujith Chaminda Iwa නම් ෆේස්බුක් ගිණුමක ෆේස්බුක් පිටුවක “භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි” යනුවෙන් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කල බවට සටහනක් පහත පරිදි හුවමාරු වී තිබුණි.

FacebookArchived Link

මෙම ප්‍රවෘත්තිය විවිධාකාරයෙන් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබුණි.

FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් වලට පාදක වු ප්‍රවෘත්ති පිළිබඳව පරීක්ෂා කිරිමේදී 2020 දෙසැම්බර් මස 20දා පළවු ඉරිදා මවුරට පුවත්පතේ “තත්වය භයානකයි. අන්තවාදී මුස්ලිම් තරුණයන් බිහිවෙයි” සිරස්තල‍යෙන් ඉදිරිපත් කර තිබු පහත වාර්ථාව නිරීක්ෂණය විය.

මෙම කරුණම තවත් පුවත්පත් සහ වීඩියෝ හරහා පළකර තිබු අයුරක් ද අපට දැක ගන්නට ලැබුණි.

මෙම කරුණු තහවුරු කර ගැනීමට අප අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. YouTube ජාලයේ ඇති නාලිකාවක් තමා සමග පැවැත්වු සාකච්ඡාවකදි තමන් ඉදිරිපත්කළ අදහස් විකෘති කරමින් සමාජ මාධ්‍ය ජාලයේ මෙම සටහන් ඉදිරිපත්ව ඇති බව පැවසු ඇමතිතුමා, ඔහු පැවත්වු සාකච්ඡාවේ දිගුව අප වෙත එවීය.

ඒ අනුව අප YouTube ජාලයට 2020 දෙසැම්බර් මස 16 වැනි දින ඔසවා ඇති “හරිTV” නාලිකාවේStandby with Lahiruවැඩ සටහන නැරඹුවෙමු. එහිදී පහත කරුණු ගෙනහැර තිබෙනු දැකගනන්ට ලැබුණි.

ක්‍රිස්තියානි, ඉස්ලාම සහ යුදෙව් භක්තිකයන් මරණයෙන් පසු නැවත නැගිටීමක් පිළිබඳව විශ්වාසයක් පවතින බවත්, ඉස්ලාම් භක්තිකයකුගේ අවසන් කටයුතු සිදුකිරිමේදී කාරනා හතරක් සැපිරිය යුතු බවත්, පළමුව සිරුර ස්නානය කරවා, දෙවනුව සුදු රෙදිකඩකින් ඔතා, තෙවනුව ආගමික වතාවත් ඉටුකොට, අවසානයේදී මිහිදන් කළ යුතු බවත් අමත්‍යාවරයා පැහැදිළි කළේය. මෙම මුල් පියවර තුනම ඉවත් කර බොඩි බෑගයක මුද්‍රා කරන ලද සිරුර පමණක් මිහිදන් කිරීම මුස්ලිම් ප්‍රජාවගේ අපේක්ෂාව බවත් පවසා තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කෝවිඩ්-19 ආසාදිත සිරුරු සෞඛ්‍යාරික්ෂිතව ආදාහනය කිරීමට හෝ භූමිදානය අවසර ඇති බව දක්වා ඇති බවත් ලොව රටවල් 194ක් කෝවිඩ්-19 ආසාදිත සිරුරු මිහිදන් කරන බවත් එහිදී පැවසෙනවා. ලොව ප්‍රධාන වසංගත විද්‍යාඥයන් පවා මිහිදන් කිරීම අනුමත කරන බැවින්, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව කෝවිඩ්-19 ආසාදිත සිරුරු මිහිදන් කිරීමට අවසර පතන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ මර සිටිනවා.

ඔහු තවදුරටත් පවසා තිබුණේ සෑම ජන කොට්ඨාශයකම අන්තවාදීන් සිටින බවයි. මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජා නායකයන්ට ජනතා අපේක්ෂා ඉටු කිරීමට අපෝහොසත් බවට මතයක් තරුණ පිරිස් අතර ගොඩනැගුණහොත් ඇතැම් තරුණ පිරිස් අන්තවාදීන් වෙතට ඇදීයාමේ අවදානමක් තිබෙන බවයි. 1971දී සහ 1987දී සිංහල තරුණයන් සහ 1983දී දමිළ තරුණයන් අන්තවාදීන් වෙතට යොමුවීම එයට හොඳම උදාහරණ බව පැවසු ඇමතිතුමා, මුස්ලිම් ප්‍රජාව එම තැනට යොමුවීම මගින් කණගාටුදායක තත්වයක් ඇතිවිය හැකි බවට පවසන අයුරු ද අපට නිරීක්ෂණය විය.

එම සම්පුර්ණ සාකච්ඡාව පහතින්. (27වන මිත්තුවේ සිට)

https://youtu.be/Ki26FVa7SUU?t=1630

මෙම කරුණම රාවය පුවත්පත වෙත අධිකරණ අමාත්‍ය තුමා පවසන අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Ravaya | Archived

මෙම කරුණ බොහෝ ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබු අවධියේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අමාත්‍ය තුමා තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහනක් ද පළකර තිබෙනු දැක ගන්නට ලැබුණි.

https://www.facebook.com/sabryuvais/posts/10225583545721336

Facebook | Archived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අධිකරණ ඇමති මෙහොමඩ් අලි සබ්‍රි පවසන්නේ ලංකාවේ මුසල්මානුවන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදීම හමුවේ මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් ඇතිවී තිබෙන බවත් එය යම් අන්තවාදී පිරිස් මඟින් ආයුධයක් කර ගත හැකි බවයි.

මේ අනුව භූමිදානයට අවසර ලබානොදුන්විට මුස්ලිම් තරැණයන් ආයුධ අතට ගන්නා බවට අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර නැති අතර පවසා ඇත්තේ එසේ මුස්ලිම් මළ සිරුරු ආදාහනයට ඉඩ නොදීම හරහා පීඩාවට පත්වන තරුණ පිරිස් අන්තවාදීන් වෙතට යොමුවීම මගින් ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

Avatar

Title:භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි යනුවෙන් අධිකරණ ඇමති තුමා පවසා සිටියා ද?

Fact Check By: Sahan Perera

Result: Explainer