Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Explainer Social

පසුගියදා පොලිස් රථ වාහන අංශයේ නිළධාරියකු විසින් ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර සංසරණය වූ අතර ඒ ඔස්සේ සමාජය විසින් පොලිස් සේවයට විශාල වශයෙන් චෝදනා එල්ල කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි නාලිකාවේ “පත්තරේ” වැඩසටහන අතරතුරදී පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන්ද වැඩසටහන මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංගන ද සිල්වා “ජීවිත ආරක්ෂාව” සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුර දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජීවිත හානියක් වළක්වා ගැනීමට තමන්ගේ ජීවිතය බේරා ගැනීමට පොලිස් නිලධාරීන්ට ප්‍රතිප්‍රහාර දැක්වීමේ අවස්ථාව තිබෙන බවයි. මෙම ප්‍රකාශය හේතුවෙන් ජනතාව වැරදි අවබෝධයක් ලබා තිබෙන බව අපට දැකගන්නට ලැබුණා. මෙම ප්‍රකාශය කෙතරම් ප්‍රායෝගිකද යන්න පිලිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

“Oi” නැමැති ෆේස්බුක් පිහිටුව “සියළුම දෙනාගේ දැනගැනීම පිණිසයි!!” යනුවෙන් මාධ්‍ය ප්‍රකාශකගේ මෙම ප්‍රකාශය සටහන් කර තිබුණා. මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් 3000ට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකරගෙන තිබුණා.

 Facebook | Archived Link

“The Sri Lankan Gazette” නමැති ෆේස්බුක් පිටුවක දැක්වුණේ, “පොලිස් නිලධාරියෙකු නිරායුද පුරවැසියෙකුට පහර දුනහොත් ආත්මාරක්ෂාව උදෙසා පෙරලා පහරදීමට ඔබට අයිතිය ඇත.. අතපය උස්සන්න ආවොත් හොම්බ රිවට් වෙන්න අනින්න… මුන්ගෙන් නිකං ගුටි කාපු යුගය අවසන් කරමු… ” යනුවෙන්

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මේ තේමාවෙන් ම තවත් සටහන් රැසක් ම හුවමාරු වී තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ වරදක් නැතත් මෙම තත්ත්වය ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී පැනනගින ගැටලු පිලිබඳ බොහෝ දෙනා කරුණු දක්වා තිබුණා. මෙම ප්‍රකාශය හේතුකොට ගෙන සිවිල් ජනයා ක්‍රියාත්මක වීමට පෙළඹුනහොත් නිරපරාදේ විත්තිකූඩුවට නගින්න වන්නේද සිවිල් ජනතාවට බවත් බොහෝ දෙනෙක් පෙන්වා දී තිබුණා. ඒ හේතුවෙන් මෙම ප්‍රකාශයට අදාළ සීමාවන් හා බලතල ගැන අප විමර්ශනයක් කළා.

Explained

ලොරී රථ රියදුරාගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මහරගම පොලිස් ස්ථානාධිපති, රියදුරාගේ ලොරියේ ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා. එම සිදුවීමේ දර්ශන මෙතනින්. එය පදනම් කරගනිමින් පොලිස් නිලධාරියා රියදුරාට පහරදෙන ආකාරය මෙතනින්

මෙම සිදුවීම පාදක කොටගෙන සිවිල් වැසියෙකුට තමන්ගේ ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකුට ප්‍රතිප්‍රහාරය එල්ල කළ හැකිදැයි රංගන ද සිල්වා නැඟූ පැනයත් ඊට අජිත් රෝහණ මහතා ලබා දුන් පිළිතුර මෙතනින්. (20.15 විනාඩියේ සිට 21.45 දක්වා)

අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ “අපේ රටේ අපරාධ නීතිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 92, 93 වගන්ති වල සඳහන් වන ප්‍රතිපාදන තමයි ක්‍රියාත්මක වන්නේ.  යම්කිසි අවස්ථාවකදී එම පුද්ගලයා තමුන් ප්‍රතිරෝදනය පාන්නේ නැත්නම් පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවකට ඒවගේ අවස්ථාවකදී ඔහුට හැකියාවක් තිබෙනවා අදාළ නීතිමය ප්‍රතිපාදන උපයෝගී කර ගැනීමට. මොකද ඔහුගේ අතේ ආයුධයක් නෑ ඔහු කෙරෙන ක්‍රියාවෙන් පොලිස් නිලධාරියාට හානියක් වෙන්නේ නෑ. ඒවගේ අවස්ථාවකදී එය වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. නීතිය හැමෝටම එකයි. සාධාරණයි. ඒ නිසා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඔහුටත් තිනෙවා” යනුවෙනි.

මෙම ප්‍රකාශයට අනුව ක්‍රියා කළහොත් සිදුවීමට හැකි දේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට නගා තිබුණේ මෙලෙසයි.

Facebook | Archived Link

සුසන්ත කුමාර නම් නීතිඥවරයාගේ පැහැදිලි කිරීම :

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 92,93,94 යන වගන්ති අදාළ වන බවත් එම වගන්ති වල සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ  සුසන්ත කුමාර නම් නීතිඥවරයා සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනයි මේ.

Facebook | Archived Link

සමාජ මාධ්‍යය ජාලාවල මේ දවස්වල පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 92 සහ 93 යන වගන්ති දෙක යටතේ පොලිස් නිළධාරියකු සිවිල් වැසියකුට පහර දෙන්නේනම් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සිවිල් පුරවැසියකුට ක්‍රියාත්මකකොට ප්‍රතිප්‍රහාර දැක්වීම කලහැකි බව ප්‍රකාශ කල බවට වූ පුවතක් සංසරණය වෙමින් පවතී.

මේ පුවතට අදාල හඬ පටයට මමද සවන්දුන් අතර එහිදී අජිත් රෝහණ මහතා 92 සහ 93 වගන්ති අනුව එලෙස ක්‍රියාකල හැකි බව පවසයි.

නමුත් මෙම වගන්ති දෙක අනුව එලෙස කටයුතු කල නොහැකි අතර එලෙස කටයුතු කල හැකිවන්නේ 94 වගන්තියට අනුව පමණි. කිසිදු නීතිඥවරයෙක් නීති වගන්ති චක්කරය වාගේ කට පාඩම් කර තබා නොගන්නා නිසා එම දෝෂය ඒ මහතාද හදිසියේ අදහස් දැක්වීම නිසා සිදුවූ අතපසු වීමක් බව මා විස්වාස කරමි.

92 වගන්තියේ සදහන්වන්නේ තැනැත්තෙකුට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය අහිමිවන අවස්ථාව හෝ ක්‍රියාවන් සදහාය.

92(01) “තමාගේ නිලයෙහි නාමයෙන්, රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත්කරනු ලැබූ මරණය හෝ බරපතල තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවක් නියම ලෙසම නීත්‍යානුකූල නොවන නමුදු ඊට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැත්තේය.”

92(02) “තමාගේ නිලයෙහි නාමයෙන් සද්භාවයෙන් ක්‍රියා කරන රජයේ සේවකයකුගේ නියම ලෙස කරනු ලැබූ හෝ කිරීමට තැත්කරනු ලැබු මරණය හෝ බරපතල තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවක් නියම ලෙසම නීත්‍යානුකූල නොවන නමුදු ඊට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැත්තේය.

92(03) “ආණ්ඩුවේ බලධරයින්ගේ රැකවරණය ලබාගැනීමට කාලය තිබේනම් එබදු අවස්ථාවලදී පුද්ගලික ආරක්ෂාවේ බලය නැත්තේය.”

93 වගන්තිය අදාල වන්නේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක නොකල හොත් ප්‍රථිඵලය මරණය හෝ බරපතල තුවාල වීම හෝ ස්ත්‍රී දූෂණය හෝ අස්වාභාවික කාම සංසිදුවා ගැනීම හෝ පැහැරගෙන යෑම හෝ අයුතු ලෙස සිරකර ගැනීමකට යැයි සාධාරණ ලෙස අනුමාන කල හැකි පහරදීම් වලට පමණි. මෙහි සරල තේරුම නම් තමාට පහරදීමට සූදානම් වන තැනත්තා තමාට පහරදුනහොත් තමාගේ මරණය හෝ තමාට බරපතල තුවාලයක් හෝ පෙරකී වරදක් සිදුවිය හැකියැයි සාධාරණ ලෙස අනුමාන කල හැකිනම් ඒ  පහරදීම සිදුකරන පුද්ගලයාගේ මරණය සිදුකිරීම දක්වා වු පහරදීමකට අයිතිවාසිකමක් ඒ පහරකෑමට ලක්වන පුද්ගලයාට හිමිවන බවයි.

මාධ්‍යය ප්‍රකාශක තුමාගේ 93 වගන්තිට අදාල  කථාව අනුව සිවිල් පුරවැසියකුට පොලිස් නිළධාරියකුට පහර දීමට හැකිවන්නේ ඒ පොලිස් නිළධාරියා විසින් සිදු කරන පහරදීම සිවිල් පුරවැසියා විසින් නොවැළැක්වුවහොත් ඒ සිවිල් පුරවැසියාට මරණය හෝ බරපතල තුවාල හෝ පෙරකී වරදකාරී ක්‍රියාවක් අත්වන්නේනම් පමණි. එසේම සිවිල් පුරවැසියා සතු පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පොලිස් නිළධාරියාගේ මරණය ගෙන දෙන අවස්ථාව දක්වා පැතිරේ. බොහෝවිට පොලිස් නිළධාරින් විසින් පහරදීමක් සිදුකරනු ලබන්නේ අවම වශයෙන් බලය යොදවන අවස්ථාවලදී වන අතර එවන් අවස්ථාවකදී සිවිල් වැසියන්ගේ මරණය සිදුවන පහරදීම් හෝ පෙරකී වැරදි සිදුවීම් සිදු කරනු ලැබු බව මෙතෙක් පෙනෙන්නට හෝ  වාර්ථා වී හෝ නොමැත. එබැවින් පොලිස් නිළධාරියකු විසින් සිවිල් පුරවැසියකුට කරනු ලබන එවැනි සුළු පහරදීමකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තිය යටතේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියක් ඇති නොවේ.

93 වගන්තිය මෙසේය.

” අයිතිය ක්‍රියාවේ යෙදීමට හේතුවූ වරද පහත සදහන් විස්තරවලින් යමකට වැටේනම් ඉහතින් වූ වගන්තියේ සදහන් සීමාකිරිම් වලට යටත්ව පහර දෙන්නාට ඕනෑකමින් මරණය හෝ වෙනත් පීඩාවක් සිදු කිරීම දක්වා ශරීරය පිළිබදව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පැතිරේ.”

පළමු වනුව – එසේ නොකළහොත් ප්‍රතිඵලය මරණය සිදුවීම ය යි සාධාරණ ලෙස අනුමාන කල හැකි යම් පහර දීමක්:

දෙවනුව – එසේ නොකොළහොත් ප්‍රථිඵලය බරපතල තුවාලවීම ය යි සාධාරණ ලෙස අනුමාන කළහැකි යම් පහරදීමක්:

තුන් වනුව – ස්ත්‍රී දූෂණය කිරීමේ අදහසින් පහර දීමක්:

හතර වනුව – අස්වාභාවික ලෙස කාමය සංසිදවා ගැනීමේ අදහසින් පහරදීමක්:

පස් වනුව – අපහරණය කිරීම හෝ පැහැරගෙන යෑමේ අදහසින් පහරදීමක්:

හය වනුව – තමා නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවේ බලධරයකු වෙත ඉදිරිපත් වීමට ඉඩ නැති වන බව සාධාරණ ලෙස අනුමත කිරීමට හැකිවන අවස්ථා යටතේ යම් තැනත්තකු අයුතුලෙස සිරකරගැනීමේ අදහසින් පහර දීමක්:

පොලිස් නිළධාරියකු විසින් සිදු කරනු ලබන සාමාන්‍ය පහරදීමකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කල හැකි වන්නේ ද.නී.සංග්‍රහයේ 94 වගන්තියේ දක්වා ඇති පරිදි පමණි.

94 වගන්තිය මෙසේය.

 “ඉහතින් වු වගන්තියේ දැක්වුණු විස්තරයකට වරද නොවැටේ නම් ශරීරය පිළිබදව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පහර දෙන්නා හට ඕනෑකමින්ම මරණය සිදු කිරීම දක්වා නොපැතිරේ.එහෙත් 92 වගන්තියේ දැක්වුණු සීමාකිරිම් වලට යටත්ව මරණය නොවන වෙනත් පීඩාවක් පහර දෙන්නා හට කැමැත්තෙන්ම සිදුකිරීම දක්වා ඒ අයිතිය පැතිරේ.

මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ එම නීති ක්‍රියාකිරීමට හැකියාව ඇතත් ප්‍රායෝගිකව එවැනි අවස්ථාවල ක්‍රියාකාරි විය හැක්කේ කෙසේද යන්න හා මෙම නීතිවලින් සඳහන් වන කරුණු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප හරීන්ද්‍ර බානගල නීතිඥවරා සම්බන්ධ කර ගත්තා.

හරීන්ද්‍ර බානගල නීතිඥවරාගේ පැහැදිලි කිරීම:

93 වගන්තියට අනුව සමාන්‍ය සිවිල් පුරවැසියෙකුට තමන්ට මරණය සම්බන්ධයෙන් බියක් දැනුණු අවස්ථාවක මරණය දක්වා තමන්ට ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිතා කිරීමට හැකියි. මරණය නොවන යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් මරණයක් දක්වා නොයන ලෙස  ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිතා කළ හැකියි.

උදා : X නම් පුද්ගලයෙකු Y නම් පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් රැගෙන පැමිණෙන්නේ නම්, Y නම් පුද්ගලයාටද එම අවස්ථාවේ පිස්තෝලයක් ඇත්නම් සිය ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් Y පුද්ගලයා X පුද්ගලයාට වෙඩි තැබීම ආත්ම ආරක්ෂා අයිතිය හා එය මරණය දක්වා දිවෙන අවස්ථාවක් වනවා.

නමුත් Y නම් පුද්ගලයා සතුව පිස්තෝලයක් ඇති විටෙක X නම් පුද්ගලයා සතුව පිස්තෝලයක් නැති අතර ඔහු මුගුරක් ආධාරයෙන් Y නම් පුද්ගලයාට පහර දීමට තැත් කිරීමට පෙර  X පුද්ගලයා සිය පිස්තෝලය ගෙන Y නම් පුද්ගලයාට වෙඩි තැබීම X නම් පුද්ගලයාගේ ආත්ම ආරක්ෂා අයිතිය ඉක්මවා යෑමක් වේ. නමුත් වෙඩි තබනවා වෙනුවට එම පිස්තෝල බඳින් X නම් පුද්ගලයාට පහරදීම ආත්ම ආරක්ෂා අයිතිය ඉක්මවා යෑමක් නොවෙයි.

සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු නොවන අවස්ථාවලදී එම තත්ත්වය වෙනස් වනවා. එනම්,

උදා : අපරාධයක නිරත වීමට ගිය පිස්තෝලයක් ඇතැතිව සිටින අපරාධකරුවෙකු වැටලන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කරන වෙඩි තැබීමකට පෙරළා අපරාධකරු තබන වෙඩි තැබීමේදී පොලිස් නිලධාරියා මිය ගියහොත් එය අපරාධකරු විසින් සිය ආත්ම ආරක්ෂාව උදෙසා තබන ලද වෙඩි තැබීමක් ලෙස සැලකිය නොහැක.

පොලිස් නිලධාරියෙකුට හෝ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට වරදක නියලෙන යම්කිසි පුද්ගලයෙකු අවනත කර ගැනීමට අවම බලය භාවිතා කළ හැකි මුත් එය අදාළ පුද්ගලයා දමනය කිරීමෙන් නැවතිය යුතු වනවා.

ඒ අනුව පන්නිපිටිය ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය මෙම වගන්තිවලට අනුව පැහැදිලි කරනවානම්,

ලොරි රථ රියැදුරා ගෙල ප්‍රදේශයෙන් අල්වා බිමට තල්ලු කිරීම මගින් දමනය කර ඇති බවත්, ඒ අවස්ථාවේදී ඊට එරෙහිව ලොරි රථ රියැදුරා ක්‍රියා නොකිරීමෙන් එම දමනය කිරීම ප්‍රමාණවත් බවත් ඊට එහාගොස් බලය භාවිතා කොට ලොරි රථ රියැදුරාගේ ඇඟට පැනීම පොලිස් නිලධාරීයා අවම බලය භාවිතා කිරීමක් ලෙස සැලකිය නොහැක.

බිම වැටුණු ලොරි රථ රියැදුරා සිය ඇඟ මතට පනින පොලිස් නිලධාරියාව වැළැක්වීමට එම අවස්ථාවේ අතට අහුවුණු මාර්ගයේ තිබූ ගල් මුගරකින් පෙරළා පහර දුන්නා නම් (උපකල්පනයක් පමණි) සිවිල් වැසියාගේ එසේත් නැත්නම් ලොරි රථ රියැදුරාගේ සිය ආත්ම ආරක්ෂාව අයිතිය භාවිතා කළ ලෙස සඳහන් කළ හැක. 

නමුත් පොලීසිය සම්බන්ධ කාරණාවලදී තමන් අත වරදක් නැත්නම් එවන් පහරකෑම් වලට පසුව නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයන් ඇති හෙයින් එවැනි අවස්ථාවකට යෑම වඩා සුදුසු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොලිස් පහරදීම් සහ නීතිය – නීති කතා – Law Talks ෆේස්බුක් පිටුව

නීතිඥයෝ හෝ නීති ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විසින් පවත්වා ගෙන යන “නීති කතා – Law Talks” නම් ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් “පොලිස් පහරදීම් සහ නීතිය” මැයෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් සඳහන් කළ සටහන පහතින් දක්වා තිබෙනවා.

ඔබ වධහිංසාවකට ලක් උවහොත්..? වහාම ඔබ කල යුත්තේ කුමක්ද..? ඔබ සාමාන්‍ය පුද්ගලයකුගෙන් වධහිංසාවට ලක්වුවහොත් පොලීසීය ඔබගේ සහයට එයි. ඔවුන් ඔබගේ සියලු අයීතීන් වෙනුවෙන් පෙනීසිටියි ඔබට කරදර වීමට කිසීම හේතුවක් නැත. ඒත් පොලීසීය ඔබට පහර දුන්නොත් ඔබ වික්ෂිප්තයට පත්වේ. බයට පත්වේ. කල යුත්තේ කුමක්දැයි ඔබට නොතේරේ.

මේවගේ අවස්ථාවක වහාම නීතීඥයකු හමුවන්න. සල්ලී නැත්නම් අඩුම ගානේ නීතී අධාර කොමිසමටවත් යන්න. නැත්නම් මේ විෂයටම සහය වෙන ආයතන තීබේ.

ඔබට රජයේ කිසියම්ම හෝ නිලධාරීයෙක් පහර දුන්නොත් ඔබට මූලීක අයීතීවාසීකම් නඩුවක් පැවරීය හැක. එම නඩුව ශක්තීමත් වීමට නම් කාරණා කීපයක් කර තීබීම වැදගත්ය.

1. වහාම රෝහල් ගත වන්න, සමහර විට තුවාල නැ කියලා නොගිහින් ඉන්න එපා අභ්‍යන්තර තුවාල තීබෙන්න පුලුවන්.

2. අධීකරණ වෛද්‍යය නිලධාරීට සියලු පහරදුන් තැන් පෙන්වා සිද්ධවූ සියල්ල වෛද්‍යයවරයාගේ රෝග ඉතිහාස සටහනේ සටහන් වීමට වග බලා ගන්න. පහර කැ අයට මෙය කරන්න බැරී නම් ඒ අයගේ පවුලෙ අය හෝ මිතුරන් මෙය කරන්න. මේක තමයි වැදගත්ම ලියවිල්ල. ඒ වගෙම පවුලේ අය පොලිස් පැමිණිල්ලක් කරන්න බාර ගත්තේ නැත්නම් පොලීස් අධීකාරීට පැමිණිලී කරන්න.

3. රෝහලේ සිටීන විට රෝහල් පොලීසීය ඔබගෙන කට උත්තර ගැනීමට ආ වීට නීතීඥ මහතකු නැතීව ප්‍රකාශ කිරීමට බැරී බව කියන්න. මන්ද පොලීසීය, පොලීසීයට පක්ෂපාත විය හැක කියන සාධාරණ සැකය ඔබට ඇතීවීය හැකි නිසා. කෙසේ වෙතත් රෝහල් නිලධාරීන්ට සියල්ල ඉහත ආකාරයට කියන්න.

4. මේ සිද්ධීය දන්න සියලු දෙනාගෙන දැක්ක සියලු දෙනාගෙන දිවුරුම් ප්‍රකාශ ලබාගෙන අත්සන් ගන්න.

5. ඒවා චායාරුප හෝ විඩියෝ ගත වී ඇත්නම් ඒවා ලබ ගන්න දැන් CCTV ඇතී නිසා වඩාත් පහසුය.

6. ඇඳ ඉහපත වර්තාව රෝග නිශ්චය වාර්තාව හා Medico legal report ගත්තාද ? එක හරීයටම සිද්ධ උනාදැයී හොයා බලන්න. MLF රීපොර්ට් එක මහෙස්ත්‍රාත් අධීකරණයට එවන්න කියන්න. මේ ගැන මහෙස්ත්‍රාත් නඩුවක් යන එකත් වැදගත්.

7. ඔබගේ මුලු අත්දැකීමම ලිඛිතව වර්තා ගත කරන්න.

8. සමහර විට පොලීසීයෙන්ම ඔබව රෝහල් ගත කරත් මම ඉහතකී ලෙසම කරන්න. රෝහලේදී ඔබට වඩා සුරක්ෂීත තත්ත්වයක් ඇතීවේ.

9. යම් විටක ඔබව බන්ධනාගාරගත කරාම ඔබ බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර එම බන්ධනාගාර නිලධාරීන්ට කියන්න ඔබට රජයේ නිලධාරීයෙක් පහර දුන්න කියා සියලු විස්තර කියන්න වහාම රෝහල් ගත වන්න උවමනා බව කියන්න, එතකොට එම නිලධාරීන් ඔවුන්ගේ ආරක්ශාවට ඔබව වෛද්‍වරයකුට ඉදීරීපත් කරනවා. අධීකරණ වෛද්‍යය නිලධාරී වෙත ඔබව යොමු කරන්න කියන්න.

10. ඔබ වෛද්‍යවරුන්ට ඉදීරීපත් කලාම හා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කලාම ගැහුව කියල කියන්න වෛද්‍යය පරීක්ෂණයක් උවමනා බව කියන්න. සමහර විට පහර දීලා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කරන්නේ නෑ හා තර්ජනය කරනවා කිව්වොත් මරනව කියල. එහෙම වෙලාවට කැගහල කියන්න මට ගැහුවා කියල. මේවා අපිට නඩු වලදී හමු වුන කතා.

11. මානව හිමිකම් කොමිසමට කල හැකී ඉතා වැදගත් දෙයක් තමයි පොලීසී වලට ගිහින් කරුනු සොයා බැලීම. ඒක මානව හිමිකම් කොමිසමෙනන් හොඳට කෙරෙනවා. ඒ හින්ද ඔබට පොලීසීයේ තීයාගෙන ගහනවා නම් වහම මානව හිමිකම් කොමිසමේ අංකවලට දීගටම කතා කරලා කොහොම හරී නිලධාරීයෙක්ට කියල පොලීසීයට ඇමතුමක් දීගන්න. මොකද මානව හිමිකම් කොමිසමට පැමිණිලී කලාම පොලීසීය පහර දෙනවා නම් ඒක ඔවුන් නවත්වනවා. අපිට වැදගත් අපේ කෙනාගේ ජීවිතය බේරා ගන්න එකයි.

12. මූලීක අයීතීවාසීකම් නඩුවක් දැම්මම මානව හිමිකම් කොමිසම තමන්ගේ පරීක්ණි අත්හිටවනවා. ඒවගෙම මානව හිමිකම් කොමිසමේ දෙන ලදුපතත් ඔබට හොඳම සාක්ෂියක් උසාවීයට යනකොට.

13. මුලීක අයිතීවසීකම් නඩුව දාන කොට මාසයක් ඇතුලත දාන්න ඔනා. ඔබ රෝහලේ නම් රෝහලෙන් අවාට පස්සෙ ඉඳන් තමයි දින ගනන් ගන්නේ, ඔබ හිරේ හිටිය නම් හිරේ සිට අවාට පසුව තමයි දීන30 ගනන් ගන්නේ ඒවගෙම මානව හිමිකම් කොමිසමට පැමිණිලී කලා නම් මාසයක් ඇතුලත එතකොට දින30 ප්‍රශනයක් නැ. ඒත් සක්‍රීය පැමිනිල්ලක් වශයෙන් එය තියෙන්න ඔනා.

14. පහරදීම නඩුවලට ලක්ශ15ට වඩා වන්දී දීපු අවස්ථා තියනවා.

15. සුවීශේෂ අවස්ථා හැර අධීකරණය වධහිංසා නඩු ඉල්ල අස් කර ගන්න දෙන්නේ නෑ.

16. ඔබ හොරකමක් කරන කොට පොලීසීයෙන් ඔබ අල්ලගෙන ගිහින් ඉන්න කොට කරන්න පහරදීමකදී ඔබට අධීකරණයෙන් එතරම් අනුකම්පාවක් නොලැබුනත් ඔබ අහිංසක නම් පොලීසීය කියන්නේ බොරු නම් එහෙම සොරකම් චෝදනා කල පමනින් අධීකරණය නඩුව ඉවත දාන්නේ නෑ. ඒ වගෙම සොරකමක් හෝ මිනීමැරුමක් කලා උනත් ඔබට පහර දෙන්න පොලීසීයටවත් කිසීම රජයේ නිලධාරීයෙක්ටවත් බැ.

17. පිරිසිදු දැතීන් අධිකරණයට යන්න ඔනා කියන කතාව තමයි මෙතැනදී භාවීතා වෙන්නේ.

18. නඩුව මුලීන්ම ගත්තම අධීකරණය විශේෂයෙන්ම බලන්නේ අධීකරණ වෛද්‍යය වාර්තාව. එය ඉතා පැහැදීලී නම් එහෙනම් බොහෝ විට ඔබට ශක්තීමත් නඩුවක් තියනව එහෙම අවස්තාවවල නඩුව පවත්වාගෙන යන්න අවසර දුන්නොත් අධීකරණ, එතකොට නීතීපතී දෙපාර්තමෙන්තුවත් පහරදීපු රජයේ නිලධාරීන්ට කියනවා තමන්ගේ වියදමින් නීතීඥයන් සොයා ගන්න කියලා. නීතීපතී දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නීතීපතී වෙනුවෙන් පමනයි කියලා. මොකද වධහිංසා නඩුවක නීතීපතී වග උත්තරකරුවකු කිරීම අනිවාර්‍යයි.

19. ඊටපසු සතී 6 කින් විරෝධතා, අනතුරුව සතී 2 කින් ප්‍රතීවිරෝදතා හා එකඟතාවය ඇතීකරගත් දිනයක විභාගය, විභාගයට පෙර ලිඛිත දේශන දූන්නේ නැත්නම් ඔබට නඩුවට පෙනීසීටීමට නොහැකී වීම හෝ ලොකු ගාස්තුවකට යටත් වෙන්න වෙනවා ඒ ගැන ඔබේ නීතීඥ මහතාගෙන් අහන්න. ඊටපසු නඩු තීන්දුව. ඔබ වන්දි ඉල්ලුවොත් වන්දි ලැබීම තීරනය කරන්නේ අධීකරණය. ඔබට ඔනැම ගාණක් ඉල්ලන්න පුලුවන්. ඒත් දෙන්නේ අධීකරණය.

20 ඔබගේ නඩුව ගැන නීතීපතී දෙපාර්තමේන්තුවටත් දනවල වධ හිංසා පනත යටතේ නඩු දාන්න කියලත් ඉලීමක් කරන්න නඩු දාන එක ඔබගේ අයීතීවාසිකමක්. ඒක හොඳ ප්‍රායෝගීක පියවරක්. පහරදීලා මැරීලා නම් පවුලේ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්.

21. www.police.lk වෙබ් එකේ tell IGP තීරයට නිකමට පැමිණිල්ලක් දාන්න. ඒ වගෙම පොලිස් අධීකාරීටත් කියන්න ඒවගෙම එම පොලීස් පරීක්ශණවලට යනකොට නීතීඥවරයකුත් එක්ක යන්න. ඒවගෙම කිසීම හේතුවකට එහීදී සමාදාන වෙන්න එපා.

22. ඔබේ නිවසට ඇවිල්ල ඔබව අත් අඩංගුවට ගත්තා නම් එම පොලිස් නිලධාරීන්ව හඳුනා ගන්න උත්සාහ කරන්න ඔවුන්ගේ අංක, හැඩරුව තරු ගනන සේරම මතක තියා ගන්න. ආව වහනයේ අංකය මතක තීයා ගන්න. අත් අඩංගුවට ගන්නවා නම් හේතුව හා ලදු පතක් ඉල්ලන්න. ගෙදර අයට මානව හිමිකම් Hotline එක 1996 හෝ 011 2505575 කෝල් කරන්න කියන්න.

වඩා වැදගත් දේ තමයි ඔබ මේතැනදී මොකද කරන්නේ කියන එක. බොහෝ විට අපීමයි මේවගේ දේවල් වලට උල්පන්ඳම් දෙන්නේ පාරේ පික් පොකට් කාරයකුටවත් ගහන්න බෑ. ගෙදර නෝනට ගහන්නත් බැ ඒත් අපී සිතින් හරී මේවට උල්පන්දම් දෙනවා සමාජය මේව වෙනස් කරොත් අපීට කාටවත් ඇඟීලී දික් කරකර ඉන්න ඔනා නෑ. අපී මේවට සාමුහීකව හා පුද්ගලිකව පියවර ගත්තොත් හා එරෙහී වුනොත් ලංකාව වඩා ලස්සන තැනක් වෙයි. පහර කැමට ලක්වුනු වින්දීතයෝ එලියට එනවා බය නැතුව මේව නවත්වන්න ලේසීයි.

Linked | Archived Link

පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ පැහැදිලි කිරීම:

තම විසින් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධව සිදුකළ ප්‍රකාශය වරදවා වටහා ගනිමින් නොයෙකුත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන බව දක්වමින් පැහැදිලි කිරීමක් අප්‍රේල් මස 03 වැනිදා අජිත් රෝහණ මහතා ඉදිරිපත් කර තිබුණා. 

අද පුවත් පතේ ෆේස්බුක් පිටුවේ එම පැහැදිලි කිරීමේ කරුණු මෙසේ දක්වා තිබුණා.

පොලිස් නිලධාරීන්ට පහර දෙන්න පුළුවන්ද?

“පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමේ නිර්ණායක දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා තිබෙනවා. විශේෂයෙන්ම 92 හා 93 වගන්තිවල ඇති නිර්ණායක අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ යුතු වෙයි.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත නිර්නායක දණ්ඩ නිති සංග්‍රහයේ 92/93/96 වගන්ති වල ඇතුළත් වෙනවා.

කිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ නොහැක්කේය’ යනුවෙන් එහි සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැරදි අර්ථකතයක් ලබාදෙමින් පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි බවට සඳහන් යම් ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුළ විකාශය වෙනවා. එය වැරදි ලෙස අර්ථකතනය කිරීමක්.

රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව සිය බලය භාවත කිරීමේදී යම් පුද්ගලයෙකුට ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරිමේ අවස්ථාවක් නෑ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයෙකුට හේතුවක් නොමැතිය පහරදීමක්, බලය භාවිත කිරීමක් සිදුකළ හොත් ඒ අයට විශේෂයෙන්ම පොලීසියට, පොලිස් මූලස්ථානයට, ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙ හැකියාවක් තිබෙනවා.

මානව හිමිකම් කොමිසමට පැමිණිලි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි. වන්දි නඩුවක් ගොනු කළ හැකියි.

එසේ නොමැතිව නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිම අවස්ථාවක බලය භාවිත කිරීමේ හැකියාවක් නෑ.

– නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ”

Ada FB

අජිත් රෝහණ මහතා ලබා දී තිබු පැහැදිලි කිරීම ඇතුළත් හඬ පටය පහතින්.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Fact Check By: Sara Gunaratne 

Result: Explainer


Leave a Reply