FACT CHECK: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් රසායන විද්‍යාව සඳහා නිකුත් කළ පෙළ පොතක්ද?

Misleading Social

Last updated on February 18th, 2022 at 09:47 am

උපහාසාත්මක කෝණයෙන් හෝ හාස්‍ය ඉපැදවීම සඳහා හෝ පාසල් සිසුන් සඳහා ලබා දෙන ඉගැන්වීම්, පූර්වාදර්ශ, අවවාද නොමග යවන සුළු කෝණයකින් හුවමාරු කිරීම හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳ උදාහරණයක් අපට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නෙත ගැටුණා. ජාත්‍යන්තරයේද අවධානය හිමි වූ ඡායාරූපයක් හේතුවෙන් සිදුවූ බලපෑම සුළු පටු නොවන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ද නොමඟ යවන සුළු චිත්‍රයක් හුවා දක්වන බැවින්. ඒ සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

‘API horu ban අපි හොරු බං’  ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙවන් සටහනක්.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ??? 

සුප්‍රසිද්ධ ඇමරිකානු රූපවාහිණි කතාමාලාවක් වන Breaking Bad හී මත්ද්‍රව්‍ය නිශ්පාදනය කරන්නෙකු ලෙස රඟපාන ජනප්‍රිය නළු Aaron Paul ගේ Jesse Pinkman චරිතය තාක්ශණවේදය, රසායනික කර්මාන්ත පොතෙහි පිට කවරයක් ලෙස යොදා ගැනීම ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂරතාවය මැනවින් පෙන්නුම් කරනවා.

එම සටහනින් පෙන්වා දුන් ඡායාරූපයේ දැක්වුණේ රසායනික කර්මාන්ත සම්බන්ධයෙන් පළ වූ නිබන්ධන ආකාරයේ දැක්වෙන පොතක පිට කවරයයි. එම පිටකවරය සඳහා යොදා තිබූ ඡායාරූපයක් හේතුවෙන් මෙරට සහ ජාත්‍යන්තරයේද දැඩි කතාබහට ලක් වුණා. 

Facebook | Archived Link

මෙම පිටකවරය සඳහා යොදා තිබූ අමෙරිකාවේ විකාශය වූ Breaking Bad නම් කතාමාලාවේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නෙකු වන Jesse Pinkman නම් චරිතයේ ඡායාරූපයක් එම සටහන් මඟින් පෙන්වා දී තිබුණා.

එමෙන්ම මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන්ම මේ ආකාරයේ පෙළ පොතක් උසස් පෙළ සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිර්දේශය කරන ලද්දේ දැයි අප පරීක්ෂා කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Breaking Bad නම් කතා මාලාවේ Jesse Pinkman ලෙස පණ පොවන Aaron Paul නම් අමෙරිකානු රංගන ශිල්පියා, Breaking Bad කතා මාලාවේදී රසායනාගරයක් තුළ ලබා ගත් ඡායාරූපයක් මෙම රසායන විද්‍යා පොතේ පිටකවරය සඳහා යොදා තිබුණා.

Breaking Bad කතා මාලාව අපරාධ (Crime) ගණයට වැටෙන අමෙරිකානු රූපවාහිනී කතා මාලාවකි. මෙම කතා මාලාව මුල් වරට 2008 ජනවාරි 20 සිට 2013 සැප්තැම්බර් 29 දක්වා AMC හි විකාශය වී තිබූ අතර එය කථාංග 62 කින් සමන්විත වී තිබෙනවා. මෙය 3 වන අදියරේ පෙනහළු පිළිකා රෝගයෙන් පොරබදමින් සිටින අඩු වැටුපක් ලබන, අධ්‍යාපන සුදුසුකම් ඕනවටත් වඩා සපුරා ඇති උසස් පාසැල් රසායන විද්‍යා ගුරුවරයෙකු වන Walter White (Bryan Cranston) වටා ගෙතුණු කතා මාලාවකි. ජීවිතය ගැන අවධානම් තත්ත්වයක සිටින මෙම ගුරුවරයා තමන් මිය යෑමට පෙර සිය පවුලේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මුදල් ඉපැයීමට Jesse Pinkman තම ගෝලයෙකු සමගින් හවුල් වී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරයි.

මෙලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ ඔහුගේ ගෝලයා වන Jesse Pinkmanගේ රසායනාගාරයේදී ලබා ගත් ඡායාරූපයක් මෙම නිබන්ධන සඳහා යොදා ගෙන තිබුණා. එම අවස්ථාවේ සම්පූර්ණ ඡායාරූපය පහතින්.

consequence.net | Archived Link

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙවැනි ඡායාරූපයක්, ශ්‍රී ලංකාවේ රසායන විද්‍යාව පොතක පිටකවරයට යොදා ගැනීම සම්බන්ධයෙන් සිසුන් වෙත වැරදි පරමාදරශයක් දී ඇති බවට චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ සුප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවියක් වන The Indian EXPRESS වාර්තා කර තිබුණේ මෙලෙසින්.

The Indian EXPRESS | Archived Link

වෙබ් අන්තර්ගත ශ්‍රේණිගත කිරීම් සහ සංවාදාත්මක සමාජ ප්‍රවෘත්ති එකතුවක් වන Reddit වෙබ් අඩවියේද, මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ මෙලෙසිනි.

reddit.com | Archived Link

නමුත් මෙරට සමාජ මාධ්‍ය ජාලා වල පළ වූයේ මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් දරුවන් සඳහා රජයෙන් නිකුත් කරන පෙළ පොතක් ලෙසයි. අපගේ නිරීක්ෂණයේදී පැහැදිලි වූයේ රජය විසින් පාසල් සිසුන් සඳහා නිකුත් කරන පෙළ පොත්වල අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයන බවට සියලු රජයේ පොත් වල සඳහන් වී තිබීමයි. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ එවැන්නක් හෝ රාජ්‍ය ලංඡනයක් හෝ රජයේ නිල ප්‍රකාශයක් බව පෙන්වීමට කිසිඳු සාධකයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට සඳහා විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන් සඳහා නොමිලේ නිකුත් කරනු ලබන පෙළපොත් සඳහා රාජ්‍ය ලාංඡනය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව බවට සඳහන් කර ඇති අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සමාන්‍ය පෙළ තෙක් පමණක් නොමිලේ ලබා දෙන අතර උසස් පෙළ සඳහා නිකුත් කරනු ලබන අතිරේක පොත් මුදල් වලට ලබා දෙන අතර එම පොත් වලද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ලෙස සඳහන් කර තිබේ. පාසල් පෙළපොත් සහ උසස් පෙළ අතිරේක පොත් සම්පාදනය කරනු ලබන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් වන අතර තාක්ෂණවේදය සඳහා විද්‍යාව රසායන විද්‍යාව විෂයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කළ පොතෙහි මෙවැනි පිට කවරයක් නොමැති බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් නොකළ බවද කොමසාරිස්වරයා තහවුරු කළා.

තාක්ෂණවේදය සඳහා විද්‍යාව රසායන විද්‍යාව විෂයට අදාළව උසස්පෙළ සඳහා බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ග්‍රන්ථය පහතින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළ පොතේ සංසන්දනය පහතින්.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

එමෙන්ම ගුරුවරුන් සඳහා නිකුත් කරන ගුරු මාර්ගෝපදේශය පොතේද මෙවන් පිට කවරයක් දක්නට නොලැබේ. අප මේ සම්බන්ධයෙන් රජයේ පාසලක රසායන විද්‍යා විෂය ධාරාව උගන්වන ගුරුවරයෙක්ගෙන් ද, විමසා තහවුරු කර ගන්නා ලදී.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව යනුවෙන් සඳහන් කළද අධ්‍යාපනය සම්බන්ධයෙන් එලෙස සඳහන් ආයතනයක් නොමැති බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවේ ඉහත සටහනින් පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නොව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පාසල් ළමුන් සඳහා සාමාන්‍ය පෙළ තෙක් පෙළපොත් නොමිලයේ ලබා දෙන බවටත් උසස් පෙළ සඳහා අතිරේක පොත් මුදල් ගෙවා ලබා ගත හැකි අතර රසායන විද්‍යාව නමින් තනි විශයකට අදාළ පෙළ පොතක් නිකුත් කර නොතිබීමත් එය තාක්ෂණවේදය සඳහා විද්‍යාව රසායන විද්‍යාව යන විෂයට අයත් බවත් එම පෙළපොතේ පිට කවරයද ඉහත සටහන් වල සංසරණය වූ ග්‍රන්ථයේ පිට කවරයට සමාන නොවන බවත් එහි සඳහන්.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ එම ග්‍රන්ථයේ ඡායාරුපය නිරීක්ෂණයේදීද එය බොහෝ දුරට උපකාර පංතිවල ලබා දෙන නිබන්ධන වලට සමාන කමක් දක්වන බව පෙනී යනවා. බොහෝ උපාකරක පංති පවත්වන ගුරුවරුන් නිකුත් කරන මෙවැනි නිබන්ධන සඳහා ආකර්ෂණීය රූප පිටකවර සඳහා යොදා ගන්නා නමුත් ජාත්‍යන්තර මාධ්‍යන් පෙන්වා දෙන පරිදි රසායනාගාරයක මත්ද්‍රව්‍ය සෑදීම වැනි වැරදි පූර්වාදර්ශ ලබා දෙන ඡායාරූප මෙවැනි රසායනික කර්මාන්ත සඳහා උදාහරණ ලබා දීමද සුදුසු නොවේ.

අප මෙම නිබන්ධන නිකුත් කරන ලද්දේ කිනම් උපකාරක පංති ගුරුවරකුගෙන් ද යන්න පිළිබඳව සිසුන් කිහිපදෙනෙකුගෙන් සහ රසායනික විද්‍යා ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටිය ද මේ සම්බන්ධව වැඩිදුර තොරතුරක් ලබාගැනීමට හැකිවූයේ නැහැ. මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණහොත් අප මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උසස් පෙළ රසායනික පෙළ පොතක ඡායාරුපයක් ලෙස හුවමාරු වන සටහන් වල දක්වා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළ පොතක් නොවන බවයි.

Avatar

Title:අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් රසායන විද්‍යාව සඳහා නිකුත් කළ පෙළ පොතක්ද?

Fact Check By: Sara Gunaratne 

Result: Misleading


Leave a Reply