
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වීම පිලිබඳ පුවතක් මෙරට ක්‍රිකට් ලෝලීන් අතරේ හුවමාරු වී තිබුණා. මෙම පුවත සත්‍යක්ද යන්න සොයා බලන ලෙස අප Factcrescendo කණ්ඩායමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
FB Gossip නම් ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ, “ජනප්‍රිය ක්‍රිකට් තරුවක් පැවිදි දිවියට! කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතිදක්ෂ ආරම්භක පිතිකරුවකු පැවිදි දිවියට ඇතුළත්ව ඇත. ඒ, අතුල සමරසේකරය. මේ වනවිට පැවිදි දිවියට ඇතුළත්ව ඔස්ට්‍රේලියාවේ පන්සලක වැඩවසන බවද දැනගන්නට ඇත.” යනුවෙනි. එම සටහන පහතින්.

මෙම පුවත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට විශ්මය දනවන පුවතක් වූ අතර ඉතාමත් සීඝ්‍රයෙන් මේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලැබුවේ, මෙලෙසින්.

ඇතැම් වෙබ් අඩවිද මෙම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.

siyaratanews.com| Archived Link www.onlycricket24.com|Archived Link
මෙම පුවත සත්‍යයද යන්න අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වන ‘බිග් සෑම්’ හෙවත් අතුල රෝහිත සමරසේකර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 39ක් සහ ටෙස්ට් තරග 04ක් ක්‍රීඩා කර තිබෙනවා. සීමිත පන්දු වාර තරග වල පන්දු රකින්නන් රැදවීමේ නීතියෙන් ප්‍රයෝජනය ගෙන කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් ක්‍රීඩකයෙක් ලෙසත් මද වේග පන්දු යවන්නෙකු ලෙසද ඔහු දක්ෂතා පෙන්නුම් කර තිබුණා.
මෙසේ පැවිදි දිවියට පා තැබූ පුවත සැල වීමත් සමග අප ඒ මහතාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර ඒ මහතා පැවිදි වූ බවට දක්වා තිබූ පුවත සම්බන්ධයෙන් ඔහු සටහනක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ එම පුවත අසත්‍ය බවයි.
එම ඡායාරූපය ඔස්ට්‍රේලියාවේදී මීට පෙර ඔහු විසින් හිමිනමක් ලෙස රංගනයෙන් දායක වු කෙටි නාට්‍යක දර්ශන තලයේදී ලබා ගත් ඡායාරූපයක් බව ද අපට පැහැදිලි වුණා. 2016 වර්ෂයේදී එම ඡායාරූපයේ කළු සුදු වර්ණයෙන් යුත් ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතුල සමරසේකර මහතා පැවදි වූ බවට දැක්වූ දර්ශන ඇතුළත් එම නාට්‍ය පහතින්.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන අතුල සමරසේකර මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද මෙතෙක් ඊට අවස්ථාවක් නොලැබුණි. ඔහුගේ පිළිතුරත් සමග මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට අප බලපොරොත්තු වෙමු.
ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ ඔහු මේ වන විට Casey Cricket Coaching යන නාමය යටතේ තමන් විසින් ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසින් විවිධ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කරනු ලබන බවයි. ඒ බවට ඔහුට අයත් Casey Cricket Coaching වෙබ් අඩවියේද දැක්වුණේ මෙලෙසින්.

අතුල අමරසේකර මහතා සම්බන්ධයෙන් ද කරුණු ඇතුළත් පසුගිය මාර්තු මාසයේ දී පළ වූ දිනමිණ වාර්තාවක් මෙතනින්. එම ලිපිය පළකර තිබු බුද්ධදාස ගලප්පත්ති මහතා ද අප සම්බන්ධ කර ගත් අතර එතුමා ද ඉහත සමාජ ඔස්සේ හුවමාරු වී තිබු අතුල සමරසේකර මහතා පැවිදි දිවියට එළඹී බවට හුවමාරු වූ සටහන් අසත්‍ය බව තහවුරු කර සිටියා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතුල සමරසේකර මහතාගේ දායකත්වය:
1989 ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර Perth හීදී පැවැත්වූ තරඟයේදී පන්දු වාර 47කට සීමා වන තරගයේ පළමුව පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම ලකුණු 222 ක් ලබා ගත් අතර පන්දු වාර 45කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට මුල් වුයේ ද ඔහුයි. එම අවස්ථාවේ දර්ශන මෙතනින්.
1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා තරගය පිළිබඳ ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන දිනයක් කරමින් ජයග්‍රහණය කරා ගෙන යාමට අඩිතාලම සැකසීමට ද ආරම්භක පිතිකරු යුගලය වශයෙන් අතුල සමරසේකර සහ රොෂාන් මහානාම මුල්වුණා. එම අවස්ථාවේ දර්ශන මෙතනින්.
අතුල සමරසේකර මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් සීමිත ඕවර තරග 39ක් හා ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කරනු ලැබූ අතර ඇතැමුන් පවසා තිබුනේ ඔහුගෙන් මීට වඩා ප්‍රයෝජනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට හැකිව තිබූ බවයි. කෙසේවෙතත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස අතුල සමරසේකර මහතා කටයුතු කරනු ලබනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සංසරණය වූ පුවත් සටහන්, අසත්‍ය හා නොමග යවන සුළු සටහන් පෙළක් බවයි.
ඒ මහතා මීට වසර කිහිපයකට පෙර හිමිනමක් ලෙස ඔස්ට්‍ර්ලේයාවෙදී කෙටි නාට්‍යකට රංගන දායකත්වය ලබා දුන් අතර එම නාට්‍ය රූගත කිරීම් අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් යොදාගනිමින් මෙලෙස වැරදි අර්ථකථනයක් සමඟින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුණා. අතුල සමරසේකර මහතා මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණු කරුවෙකු ලෙස සිය වෘත්තීයේ නියලෙයි.

Title:හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර පැවිදි දිවියට ?
Fact Check By: Pavithra SandamaliResult: False
