මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමකුයි.

සමාජ මාධ්‍ය සටහන් :

කාන්තාවක් කුඩා දරුවන් සමූහයක් සමගින් සිටින ආකාරය ෆේස්බුක් පිටුවක පළව තිබුනේ මෙලෙසින්. එහි මෙවැනි විස්තරයක් ද දක්වා තිබුණා.

අවුරුදු 23 ක් වන දැනට දරුවන් 11 ක් සිටින මෙම අම්මා දරුවන් 100 කගේ මවක් වීමට බලාපොරොත්තුවේ. අම්මා කෙනෙක්ට දරුවන් ගැන සෙනෙහස නිමක් නැත. ඇගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා කරමු.”

Facebook| Archived

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පළව තිබූ අදහස් පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ බොහෝ දෙනෙකු මෙම සටහනේ තිබූ දේ ගැන වැරදි අවබෝධයකින් සිටි බවයි.

මේ සම්බන්ධයෙන්වූ සමාජ ජාලා සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මේ පිළිබදව ගවේශණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මුලින්ම අප මෙම ඡායාරූපය පිළිබදව Google Reverse Image සෙවුමක් සඳහා යොමු කළා.

එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම කාන්තාව Georgia වේ ජීවත්වන Christina Ozturk නම් 24 හැවිරිදි කාන්තාවක් බවයි. Christina මීට වසර 7 කට පමණ පෙර, වයස අවුරුදු 17දී තමාගේ කුසින් පළමු දරුවා ස්වභාවික ලෙස මෙලොවට බිහි කර ඇති තිබෙනවා. Daily Mail

ඉන් අනතුරුව මිලියනපති ව්‍යාපාරිකයෙක් වන සිය සැමියා සමඟ ක්‍රිස්ටිනා දරුවන් බිහිකර තිබුණේ Surrogate Mother යන සංකල්පය අනුවයි. එහිදී සිදු වන්නේ ක්‍රිස්ටිනාගේ ඩිම්බ සහ ඇගේ සැමියාගේ ශුක්‍රාණු එක්කිරීමෙන් බාහිර නලයක් තුල (In Vitro Fertilization - IVF) සෑදෙන යුක්තාණුව ඔස්සේ වැඩෙන කළලය වෙනත් කාන්තාවන්ගේ ගැබ තුළ තැන්පත් කර වැඩීමට සලස්වා ,වෙනත් කාන්තාවන් හරහා දරුවන් මෙලොවට බිහි කර ගැනීමයි. මේ පිළිලිබදව වන විද්‍යාත්මක විග්‍රහයක් මෙතනින්.Archived.

මේ ආකාරයට Surrogate Mother සංකල්පය යටතේ ක්‍රිස්ටිනා සහ ඇයගේ සැමියා එක්ව මේ වසරේ පෙබරවාරි වන විට දරුවන් දස දෙනෙකු වෙනත් කාන්තාවන් මඟින් බිහිකර තිබෙනවා. එහිදී දරුවන්ගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් ලෙස ක්‍රිස්ටිනා සහ ඇයගේ සැමියා හැඳින්වූවත්, Birth Mother, එනම් උපත ලබාදුන් මව ලෙස හැඳින්වෙන්නේ කළලය කුස තුළ වැඩීමට සලස්වා ළදරුවා මෙලොවට බිහිකරන ලද කාන්තාවයි.

Georgia රාජ්‍ය තුළ මේ ආකාරයට දරුවන් බිහිකිරීම නීත්‍යානුකූල වනවා. එලෙස උපත ලබා දුන් කාන්තාවන් අතර සහ ක්‍රිස්ටිනාගේ පවුල අතර දරුවන් බිහිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නීතිමය ගිවිසුම් අත්සන් කර තිබෙන අතර එහිදී එම කාන්තාවන්ට යම් මුදලක් ඔවුන් කරන සේවය වෙනුවෙන් ලබාදෙන අතර දරුවා උපත ලැබීමෙන් පසු දරුවන් අයිති වන්නේ ක්‍රිස්ටිනාගේ සහ ඇගේ සැමියාටයි.

මේ අනුව 2021 මුල් වකවානුව වන විට ක්‍රිස්ටිනා විසින්ම බිහි කළ එක් දරුවෙක්ද , අනෙත් කාන්තාවන්(Surrogate Mothers) මගින් බිහිකළ දරුවන් 10 දෙනෙකුද ඇතුලු දරුවන් 11 දෙනෙකු මෙම යුවලට සතුව සිටිනවා. ක්‍රිස්ටිනා පවසන ආකාරයට ඒ වන විට මේ දරුවන් 11 දෙනා රැක බලා ගැනීමට සැලකිය යුතු සේවක පිරිසක්ද ඔවුන් සතුව පවතිනවා. ක්‍රිස්ටිනා සංවාදයකදී මේ ආකාරයෙන් දරුවන් 100 ක් බිහිකරන බව පැවසුවද, පසුව ඇය පවසා ඇත්තේ එය තමන් කළ විහිලුවක් පමණක් බවත් කෙසේ වෙතත් මේ ආකාරයට තවත් දරුවන් බිහි කිරීමට තමන් සහ සැමියා කටයුතු කරන බවයි. මේ පිළිබදව බ්‍රිතාන්‍යයේ Mirror පුවත්පතේ නිල වෙබ් අඩවියේ පළව තිබූ වාර්තාවක් කියවීම මෙතනින්.Archived.

එසේම මේ වනවිට ක්‍රිස්ටිනාට Surrogate Mother සංකල්පය යටතේ බිහිකල දරුවන් 21 ඇතුලු මුලු දරුවන් 22 ක් සිටින බව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබෙනවා.ඒ වෙත පිවිසුම මෙතනින්. එමෙන්ම වෙබ් අඩවි වාර්තා කිහිපයක ද ඒ බව සනාථ කර තිබුණා. එම වෙබ් වාර්තාවලට පිවිසුම මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ ගවේශණයෙන් තහවුරු වූයේ මෙහි දැක්වෙන මව වන ක්‍රිස්ටිනා සතුව මේ වනවිට දරුවන් 22 දෙදෙනෙක් සිටියද ඉන් දරුවන් 21 දෙනෙකුගේම උපත ලබා දී තිබුනේ වෙනත් කාන්තාවන් (Surrogate Mothers) හරහා IVF ක්‍රමයටයි. ක්‍රිස්ටිනා සිය කෝටිපති සැමියා සමඟ මෙම දරුවන් 22 දෙනාගේම ජීව විද්‍යාත්මක දෙමාපියන් වුවත්,  ක්‍රිස්ටිනාගේ කුසින් ස්වාභාවිකව උපත ලබා ඇත්තේ එක් දරුවෙකු පමණි. ඉදිරියේ දී ද වෙනත් කාන්තාවන් හරහා දරුවන් බිහි කිරීමට මෙම යුවල බලාපොරොත්තු වෙන බව ද වාර්තා වෙනවා.

Avatar

Title:අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?

Fact Check By: Kalana Krishantha

Result: Misleading