ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ගෝටාභයට ඇමරිකාවේ නඩු පවරන්න මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියනියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් රුපියල් ලක්ෂ 150 ක මුදලක් පිරිනමා ඇත.” යනුවෙන් 2020 ජනවාරි මස 22 වන බදාදා ලංකාදීප පුවත්පතේ 02 වන පිටුවේ පළ වූ බවට එම සටහනින් දක්වා තිබුණා.

Facebook | Archived Link

මීට වසර දෙකකට පෙර පළව තිබු සටහනක් වුවද මෙම සටහන නැවත වරක් මේ දිනවල හුවමාරු වී තිබීම හේතුවෙන් මේ පිලිබඳ කරුණු විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සත්‍ය වශයෙන්ම ලංකාදීප පුවත් පතේ 2020 වසරේ ජනවාරි 22වන දින එහි 2වන පිටුවේ මෙවැනි පුවතක් පළ වූවාද යන්න අප මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ ආකාරයේ පුවතක් එදින පුවත්පතේ දෙවන පිටුවේ මෙන්ම සම්පූර්ණ පුවත් පත තුළද පළ වී නොතිබුණු බවට අපට අනාවරණය වුණා.

ලංකාදීප පුවත් පතේ 2020 වසරේ ජනවාරි 22වන බදාදා දින පළ වූ 2වන පිටුව පහතින්.

ලංකාදීප අන්තර්ජාල කලාපයේ ද අප මේ ආකාරයේ කිසිඳු හෝ පුවතක් පළවී තිබුණි දැයි පරීක්ෂා කල අතර එබඳු කිසිඳු පුවතක් දැක ගැනීමට නොලැබුණි. ඒ අනුව පෙනී යන්නේ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් පරිදි පුවතක් ලංකාදීප පුවත්පතේ පළ නොවී ඇති බවයි.

එමෙන්ම ලංකාදීප වෙබ් අඩවිය ඔස්සේද, 2020 ජනවාරි 22 වන දින එවන් පුවතක් පළ වී ඇත්දැයි අප නිරීක්ෂණය කළ අතර එවන් පුවතක් එම වෙබ් අඩවියේද, පළ වී නොතිබුණි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ 2019 වර්ෂයේදී නඩුවක් ගොනු කරනු ලැබුවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. කෙසේ වෙතත් එම නඩුව අමෙරිකානු අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබ තිබේ. ඒ බවට පළ වූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, ඉහත සටහනේ දැක්වෙන තොරතුරු සාවද්‍ය බවයි.

සැ.යු : අනුරකුමාර විසින් අහිම්සා වික්‍රමතුංගට යම් කිසි මුදලක් ලබා දුන්නේද, නැද්ද යන වග අපට පෞද්ගලිකව සත්‍යාපන කළ නොහැකි කරුණක් බැවින් ඉහත කරුණු පරීක්ෂාවේ අප සිදු කළ ඇත්තේ ලංකාදීප පුවත් පතේ 2020 වසරේ ජනවාරි 22වන බදාදා දින 2වන පිටුවේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ආකාරයේ පුවතක් පළ වී නොමැති බව පමණයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවේ නඩු පවරන්න මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියනියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් රුපියල් ලක්ෂ 150 ක මුදලක් පිරිනමා ඇති බවට 2020 ජනවාරි මස 22 වන බදාදා ලංකාදීප පුවත්පතේ 02 වන පිටුවේ පළ වූ පුවතක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහනකි. එදින එම පුවත්පතේ එවන් ලිපියක් පළ වී නොතිබුණි.

Avatar

Title:ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading