කල්පිටියේ උච්චිමුනි දූපත විදෙස් සමාගමකට විකිණුවා ද?

Explainer Social

Last updated on May 21st, 2022 at 02:15 am

කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ගොඩබිමෙන් ගමන්කළ හැකි උච්චිමුනි දූපත ස්විස්ටර්ලන්තයට විකුණා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මේ අතර එය විකිණීමක් නොව ඩොලර් මිලියන 417 ක මුදලක් සඳහා වසර 30 කට බදු දීමක් බවට ද සටහන් පළවී තිබුණා. මෙහි නිරවද්‍යතාවය විමසීමට අප කළ කරුණු පැහැදි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

හදිසි නීතිය අතරේ හොර රහසේ කල්පිටියේ සුන්දර උච්චිමුනේ දූපත ධීවර පවුල් 200කට වඩා අනාත කරමින් ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයට විකුණයි” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් සංසරණය වූ අයුරු පහතින්.

Update : 20/05/2022

එමෙන්ම වසර 30 ක කාලයක් සඳහා උච්චුමුනි දූපත ඩොලර් මිලියන 417 ක ට බදු දුන් බවත්, බදු දී ඇති භූමි ප්‍රමාණය අක්කර 1500 ක් බවත්, ඩොලර් එකක් රුපියල් 359.73 යි ලෙස ගැලපූ කළ පර්චස් එකක වාර්ශික බදු කුලිය රුපියල් 20,831.74 ක් බවත් යනාදී කරුණු ද සඳහන් කරමින් සටහන් පළවී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

කල්මුණේ දූපත් සමූහයට අයත් දූපතක් වන උච්චිමුනි දූපත සත්‍ය වශයෙන්ම ස්වස්ටර්ලන්තයට විකුණුවාද ? නැතහොත් බදු දුන්නා ද? බදු දුන්නේ වසර 30 සඳහා ම ඩොලර් මිලියන 417 වැනි කුඩා අගයකට ද? මේ ඒ පිළිබඳ අප කෙරෙන පැහැදිලි කිරීමක්.

සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය

රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ, ඇඳිරිනීතිය පනවා ඇති මොහොතක ‘උච්චිමුනි දූපත’ ස්විට්සර්ලන්තයේ සමාගමකට විකිණීමට සූදානමක් පවතින බවට එම සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පසුගිය 11 වන දා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

2000 වසරේ සිට මෙම ගිවිසුම සඳහා මූලාරම්භය ගත් බවත්, 2019 වසරේ මෙහි ඇස්තමේන්තුව ලබා දුන් බවත්, 2020 වසරේ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත් බවත් ‘උච්චිමුනි දූපත’ අමෙරිකානු ඩොලර් මිලියන 417කට ස්විට්සර්ලන්තයේ සමාගමකට වසර තිහක් සඳහා බදු දීමට කටයුතු කළ ඇති බවට ඔහු චෝදනා කරනු ලබනවා. එම මාධ්‍ය සාකච්ඡාව පහතින්.

පරිසරවේදී ජගත් ගුණවර්ධනගේ අදහස් දැක්වීම

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාල ප්‍රධානතම පනත වන්නේ සංචාරක පනතයි  (Tourism Act). මෙම පනතේ 26 වන වගන්තියේ 26(1) උප වගන්තිය අනුව සංචාරක විශය භාර අමාත්‍යවරයාට​, සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත කිසියම් භූමි ප්‍රදේශයක් සංචාරක සංවර්ධන ප්‍රදේශයක් (Tourist Development Area) ලෙසට ප්‍රකාශයට පත්කල හැකි වේ.

මෙසේ යම් ප්‍රදේශයක් ප්‍රකාශයට පත්කල පසුව පනතේ 29 වන වගන්තිය අනුව වසර දහයක් යනතුරු ජාතික පාරිසරික පනතේ සහ පුරාවස්තු ආඥ පනතේ ප්‍රකාරව පරිසරය ආරක්ශා කිරීමේ සහ පාරිසරික සැලසුම් සකස් කිරීමේ බලතල ශ්‍රී ලංකා සංචාරක  සංවර්ධන අධිකාරිය වෙත පැවරේ. එසේ නමුත්, එවන් බලතල ක්‍රියාත්මක කිරීමේදී අධිකාරිය විසින් පනතේ 29(2) උප වගන්තිය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන් මත සිදුකළ යුතු වේ.

මීට අමතරව පනතේ 29(3)(අ) උප වගන්තිය අනුව එවන් ප්‍රකාශිත ප්‍රදේශයක පාරිසරික සැලසුම්කරනය සිදුකල යුත්තේ පරිසර විශය භාර අමාත්‍යවරයා විමසා පාරිසරික සැලසුම්කරනයේදී පිළිපැදිය යුතු උපමානයන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටියද නියෝග මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

එමෙන්ම පනතේ 29(3)(ඈ) උප වගන්තිය අනුව එම ප්‍රදේශයේ පාරිසරික සැලසුම්කරනයේදී අනුගමනය කලයුතු උපමානයන් පරිසර විශය භාර අමාත්‍යවරයා විසින් නියමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේද යන්නත් වේ. 

කල්පිටියේ උච්චිමුනි ප්‍රදේශය පිළිබඳව විමසා බලන කළ මෙම ඉඩම් ලබාදීමට ප්‍රථමයෙන් සංචාරක පනතේ 29 වන වගනිය ප්‍රකාරව මධ්‍යම පරිසර අධිකාරියෙන් අදාළ නිදේශ සහ අදාළ නියෝගයන් කලින් පනවනු ලැබ තිබේද යන පැනයන් ඉස්මතු වේ.

එසේම මෙම ප්‍රදේශය වයඹ පළාත තුළ පිහිටන නිසා මේ සඳහා අවශ්‍ය නිර්දේශ කිසිවක් වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ලබාගෙන තිබේද යන පැනයත් ඉස්මතු වේ.

මෙසේ නිසි පාරිසරික ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් යම් භූමියක් බදු දීමට බලධාරීන් කටයුතු කරන විටකදී කිසිඳු අකාරයකින් එවන් ආයෝජන සඳහා සද්භාවයෙන් හෙවත් නීත්‍යානුකූල ලෙස ආයෝජනයන්ට ඉදිරිපත් වන සහ කීර්තිනාමයක් සහිත විදේශීය සමාගමක් ගිවිසුම් ගත නොවනු ඇත.​

කල්පිටියේ උච්චිමුනි ප්‍රදේශය බදු දීමට ඉදිරිපත් කිරීමට (අර්පනයට) පෙර මෙම නීත්‍යානුකූල අවශ්‍යතාවයන් නිසි පරිදි සපුරාලීමට​  ක්‍රියාකර තිබේද යන්න විමසා බලන්නෙකුට ආයෝජකයන්ට විශ්වාසනීය ආයෝජනයකට බාධාවන් වන්නේ කිනම් පාර්ශ්වයන් විසින් ගනු ලබන (හෝ නොගෙන තිබෙන​) ක්‍රියා කලාපයන් වන්නේද යන්න දැනගත හැකිවේ.

තවද නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත්කරන ලද 2019-2030 දක්වා වන කල්පිටිය නගර සංවර්ධන සැලැස්මට (Kalpitiya Town Development Plan 2019-2030) අනුව සහ 2018 වසරේ පාරිසරික සංවේදීතා විශ්ලේශනය මගින්  ලබාගත් තොරතුරු මත උච්චිමුනි ප්‍රදේශය ඉතා විශාල ලෙස පාරිසරිකව සංවේදී (Very Highly Sensitive) ප්‍රදේශයක් ලෙස ප්‍රකාශිතය.  මෙවන් අධික ලෙස පාරිසරිකව සංවේදී ප්‍රදේශවල ආයෝජනයන් මුහුණ පාය පාරසරික අවධානමත් ඉතා ඉහළ නිසාම ආයෝජකයන් මෙවන් ස්ථානවල පාරිසරික අධ්‍යයනයන් නිසියාකාරයෙන් සිදුකර තිබේද යන්නත් ඉතා සුපරීක්ෂණයෙන් සොයා බැලීම සිදු කරයි.

එවන් සොයා බැලීමකින් තොරව ආයෝජනයකට ඉදිරිපත් වන ආයෝජකයෙක් (දේශීය මෙන්ම විදේශීය​) පිළිබඳව ප්‍රශ්න පැන නැගෙන්නේ එම ආයෝජකයා ඉතා අඩු ආයෝජනයක් තුලින් විශාල ප්‍රතිලාභ බලාපොරොත්තු වන්නෙක් වේද නොඑසේ නම් කිසියම් අනීතික ආකාර වලින් කටයුතු කරන්නෙකු වේ​, නොඑසේ නම් මෙම දෙයාකාරයෙන්ම කටයුතු කරන්නෙක් වේද යන්නයි.

Facebook | Archived Link

පරසරවේදී සෙත් මුහන්දිරම්

උච්චිමුනි වැනි දූපත් බදු දෙන්න බලපාන්නෙ 1996  ජනවාරි 24 දිනැති DE1/A/4/34 කියන චක්‍රලේඛය බවත් චක්‍රලේඛය අනුව අවුරුදු 5 කින් 50% බදු කුලිය වැඩි වීමක් සිදුවිය යුතු බව ඔහු සඳහන් කළා. 

ඒත් මේ දූපත බදු දෙද්දි අමත්‍යාංශ ලේකම් මේ දූපත සම්බන්ධයෙන් අංක 2017/1 කියන චක්‍රලේඛනය භාවිතා කළ බවත්. ඒ අනුව 20% ක පමණ ප්‍රමාණයක් වැඩි වන අතර රජයට 30% පාඩුවක් වන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මේ දූපත ඇතුලට අභ්‍යන්තර ගුවන් තොටුපළක්, කේබල් කාර්, අධිවේගී බෝට්ටු සෆාරි වගේම ගෝල්ෆ් පිටියකුත් ඇතුළත් වන අතර KITRP නොහොත් Kalpitya Integrated Tourism Resort Program යටතේ මෙම ව්‍යාපෘතිය සිදු වන බවත්, බදු දීමට ප්‍රථම කිසිදු විද්‍යානුකූල කියවීමක් සිදු නොකර ඇති බවත් පරිසර අධ්‍යනය වාර්තාවක් EIA (Environmental Impact Assessment) හෝ ලබා නොමැති බවයි ඔහු පවසා සිටියේ.

Facebook | Archived Link

සංචාරක සංවර්ධන අධිකාරිය

කල්පිටියේ උච්චිමුනි දූපත බදු දීම සම්බන්ධයෙන් විවිධ මාද්‍ය ඔස්සේ පැවසෙන කරුණු හේතුවෙන් මහජනතාව නොමග යෑම සිදුවන බැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා තිබු කරුණු පහතින්.

2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, සැලසුම් සහගතව සහ තිරසාර ලෙස සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අනාගත ආයෝජකයින්ට බදු දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත නියම කර ඇත. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතීතයේ දී මෙන් විදේශීය හා දේශීය ආයෝජන ආකර්ශනය කර ගනිමින් අඛණ්ඩව එය සිදු කර ඇති අතර, දැනටමත් අනුමත කර ඇති ව්‍යාපෘති සඳහා බදු ගිවිසුම් අත්සන් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වෙත වගකිව යුතු වේ. 

කල්පිටියේ උච්චමුනෙයි දුපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඉඩම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තියට අනුව වසර 30කට එම දේපළ විදේශීය ආයෝජකයෙකුට බදු දීමට අවශ්‍ය සියලුම අනුමැතිය ලබාගෙන ඇත. ඩොලර් මිලියන 417.5 ක ව්‍යාපෘතියක් සඳහා 2020 අගභාගයේදී අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ අතර ආයෝජකයාගේ ඉල්ලීම හේතුවෙන් බදු ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද විය. කල්බදු ගිවිසුම අත්සන් කිරීම සඳහා ආයෝජකයාගේ නියෝජිතයා 2022 මැයි 8 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, ආයෝජකයා එදිනම රාත්‍රියේදී දිවයිනෙන් පිටවීමට නියමිතව තිබූ බැවින්, SLTDA විසින් 2022 මැයි 11 වැනි දින කල්බදු ගිවිසුමට අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරක පාර්ශවකරුවන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ  අසත්‍ය හා වැරදි තොරතුරුවලට නොරැවටෙන ලෙසත්ය.

එම නිවේදනය පහතින්.

Uchchamunai-Island-in-Kalpitiya12-May-20221552992741

සංචාරක අමාත්‍යාංශයේ ලේකම්:

සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරි හෙට්ටිආරච්චි මහතාගෙන් ද අප කළ විමසී‍මේදී ඔහු පැහැදිලි කර සිටියේ, ඩොලර් මිලියන 417ක් යනු කල්යෝපිටිය උච්ච්මුනි දුපතේ යෝජිත ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අදාළ සමාගම විසින් සිදුකෙරෙන ආයෝජනය (Investment) කරනු ලබන මුදල බවයි. බොහෝ මාධ්‍ය විසින් මෙය ලංකා රජයට ලැබෙන බදු මුදල ලෙස වරදවා වටහාගෙන ඇති බව ද පවසා සිටියා.

එසේම අවුරුදු 30ක කාලයට බදු දුන්නද, ඊට අමතරව කාලයක් ඉල්ලුම් කළ හැකියාවක් පවතින බවට ගිවිසුමේ පවතින බවත්, වාර්ෂිකව බදු මුදලක් රජයට ගෙවිය යුතු බවත්, මෙවැනි තවත් ව්‍යාපෘති රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල එක් එක් අදියරේ ක්‍රියාත්මක වන බවත් මෙමගින් එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු වී මෙරට පුරවැසියන්ට රැකියා අවස්ථා රැසක් ද හිමිවන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති

කෙසේ වෙතත් අප මේ පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මියගෙන් විමසීමක් කළේ, පරිසරවේදීන් චෝදනා කර ඇති පරිසර අධ්‍යනය වාර්තාවක් සිදු කර නැත්ද යන්නයි.

ඇය සඳහන් කළේ, මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ හිස්  ඉඩමේ බදු අයිතිය පමණක් අදාළ සමාගමට ලැබී ඇති බවයි.

ඕනෑම ආයතනයක් විසින් ඉඩමක් බද්දට ලබා ගැනීමේදී සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ ඇති අයදුම් කිරීම සිදු කළ විට ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශ ඇතුළු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන 40 කට පමණ එම අයදුම්පත යොමු වෙන බවත්, ඒ අනුව එම ආයතන මගින් අදාළ සැලසුම් වල දෝශ පිළිබඳ සියලුම පාර්ශ්වයන් දැනුවත් කරන බවත් සහ ව්‍යාපෘතිය පිළිබඳ විස්තර සාකච්ඡා කරන පූර්ණ දින සැසියක් (Scoping Meeting) පැවැත්වෙන බවත්, එහිදී ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් විසින් එහි දෝෂ ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනුවත් කර සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය මත ඉදි කිරීම් සඳහා අවසර ලැබෙන බවත්, මෙතෙක් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ සමාගමට ඇති අයිතිය වන්නේ බද්දට ලබාදෙන හිස් ඉඩමක අනුමැතිය පමණක් බවයි ඇය වැඩි දුරටත් පැහැදිලි කළේ.

ඉදිරියේදී මෙම භුමියේ සිදුකිරීමට අදහස් කරන හෝටල් ව්‍යාපෘතියේ සැලසුම් යොමු කිරීමෙන් පසු ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම් සඳහා අදාළ පරීක්ෂාවන් සිදු කෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිය වැඩි දුරටත් පවසා සිටියා.

ඒ පිළිබඳව කරුණු දක්වමින් ඇය තබා තිබු ෆේස්බුක් සටහනක් පහතින්

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය මේ පිළිබඳව ඉහත වීඩියෝවේ දක්වා තිබු පරිදි පවසා සිටියේ,  උච්චිමුනි දූපත විකුණා නොමැති බවත්, සංචාරක පනත අනුව, සංචාරක කර්මාන්තය සඳහා සුදුසු ඉඩම් අත්පත් කර ගෙන ඒවා සුදුසු අයෝජකයන් වෙත බදු දීම එම අධිකාරියට පැවරෙන වගකීමක් බවත්, එමෙන්ම එම ඉඩම් පවරා දෙනු ලබන්නේ, ඒවා සංචාරක ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට බවත්ය.

මීට පෙර බදු දීම සිදු කළ යුතු කාල පරාසය අවුරුදු 99කට දෙන බද්දක් ලෙස බවත්, 2019 සිට එය අවුරුදු 30 කට සීමා කර ඇති බවයි ඇය සඳහන් කළේ. ස්විට්සර්ලන්ත සමාගමක් විසින් උච්චිමුනි සම්පූර්ණ දූපත බදු දී තිබෙන බවත් , ඒ ඩොලර් මිලියන 417ක පාරසරික හිතකාමී හෝටල් ව්‍යාපෘතියක් සඳහා බවයි ඇය එහි තවදුරටත් පවසා සිටින්නේ.

එසේම උච්චිමුනි දූපතේ ධීවර කටයුතු වල යෙදෙන ධීවර ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර එම ධීවරයින්ද ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතියේ කොටසක් කර ගැනීමට ඔවුන්ගේ සැලසුමේ පවතින බවත්, අධ්‍යන කමිටු විසින් 2020 ජනවාරි මාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගත් බවත් පනතට අනුව එවකට හිටපු අමාත්‍යවරයාගෙන් ද එය අනුමත කර ගත් බවත්, කොවිඩ් තත්ත්වය පැවති හෙයින් එම සමාගම මෙම ව්‍යාපෘතිය අත්සන් කිරීමේ ප්‍රමාදය පැවති බවත්, තව දුරටත් ප්‍රමාද වුවහොත් එම ව්‍යාපෘතියට අත්සත් තැබීම අත්හිටවන බවට ඔවුන්ට අවසන් නිවේදනය දැනුම් දුන් බවද එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පවසා තිබුණා.

අමාත්‍යවරයෙකු නොමැති අවස්ථාවකදී ජනාධිපතිවරයාට සියලුම අමාත්‍යංශවල බලතල පැවරෙන බැවින් මෙම අත්සන් කිරීම සම්බන්දයෙන් ජනාධිපති කාර්යාලයෙන්ද විමසීමක් කර ඊට අනුමැතිය ලබා ගැනීමෙන් පසු, පසුගිය 08 වන දා ස්විට්සර්ලන්තයේ එම සමාගම ලංකාවට පැමිණ ව්‍යාපෘතිය සඳහා අත්සන් කළ බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් අප සමඟ පවසා සිටියේ, උච්චිමුනි දූපතේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 443.7921ක් බවත්, එය ආසන්න වශයෙන් අක්කර 1096ක් බවයි.

එම භූමිය සඳහා 2020.10.26 වන දින රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් වාර්ෂික කල්බදු කුලිය වන්නේ රු. 137,000,000 ක් බවත් ඇය සඳහන් කරනු ලැබුවා. එනම් මාසික බදු කුලිය වන්නේ රු. 11,416,666.66 කි. (රුපියල් මිලියන 11.4 කි)

සංචාරක සංවර්ධන අධිකාරියේ සහ Blue Ocean Holdings-Colombo (Pvt) Ltd අතර , උච්චිමුනි දූපතේ භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 443.7921ක භූමිය වසර 30කට බදු දීම සඳහා බදු ගිවිසුම අත්සන් කර තිබෙන බවත් ඇය පැහැදිලි කර සිටියා. එහි ඉදිකිරීමට නියමිත Blue Ocean Island Resort සඳහා විදේශික ආයෝජිකයින් ආයෝජනය කර ඇති මුදල වන්නේ රු. ඩොලර් මිලියන 417කි. එය වසර 30 ක් සඳහා මෙරට රජයට ගෙවිය යුතු බදු කුලිය නොවේ.

මේ අනුව ඩොලර් මිලියන 417ක මුදලට අවුරුදු 30 ක කාලයක් උච්චමුනි දුපත බදු දී ඇති බවත් ඒ ඔස්සේ රජයට මාසිකව ලැබෙන්නේ රුපියල් විසිදහසක වැනි සුළු මුදලක් බවට හුවමාරු වන්නේ ද නොමඟ යවන සුළු සටහන් පෙළකි.රජයේ වත්මන් තක්සේරු අනුව මාසික බදු කුලිය වන්නේ රුපියල් මිලියන 11.4 ක අගයකි.

‘උච්චිමුනි දූපත’ බදු දීම පිළිබඳ කරුණු ඇතුළත් මාධ්‍ය වර්තාව මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:කල්පිටියේ උච්චිමුනි දූපත විදෙස් සමාගමකට විකිණුවා ද?

By: Pavithra Sandamali 

Result: Explainer


Leave a Reply