දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජූනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස මෙහි මුල් වටවලදීම තරඟාවලියෙන් ඉවත් වී ගොස් තිබුණත්, ශ්‍රී ලාංකිකයින් තවමත් මේ තරඟාවලිය පිළිබඳව උනන්දුවෙන් පසුවෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂක ආකර්ෂණයත් සමඟ, මෙම තරඟාවලිය සහ එහි තරඟකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධව ඇතැම් නොමඟ යවන සුළු සටහන් සුලබව සමාජ මාධ්‍යවල සංසරණය වනවා. එවැනි තවත් ප්‍රකාශයක් පිළිබඳව අප විමසා බැලුවා.

සමාජ මාධ්‍ය සටහන් :

2024 ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ Super 8 වටයේ තරඟාවලි අතරින් බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ජූනි 25වන දින සෙන්ට් වින්සෙන්ට්, කින්ග්ස්ටවුන්හි ආර්නෝස් වේල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය පරදා ලකුණු 8ක ජයග්‍රහනයක් ලබාගෙන, අර්ධ අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබුවා.

කෙසේවෙතත්, මෙම තරඟය අවසානයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක රශිඩ් ඛාන් සඳහන් කල ප්‍රකාශයක් ලෙස පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයක් සංසරණය වුණා. එම සටහන පහතින්.

Facebook | Archived

මේ පිළිබඳව සත්‍ය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියක අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබුවේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවටයි.

බංගලාදේශය සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව එම කණ්ඩායමේ නායක රශිඩ් ඛාන් විසින් දසුන් ශානක හෝ රෝහිත් ශර්මා සම්බන්ධයෙන් ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් සිදු කළ බව ට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ඇතුළු මෙරට මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. නමුත් අපට රශිඩ් ඛාන් විසින් එලෙසින් ප්‍රකාශයක් සිදු කළ බවට මාධ්‍ය වාර්තාවක් හෝ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු මූලාශ්‍රයක් හෝ හමු නොවුණි.

කෙසේ වෙතත් බංගලාදේශය සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව එම කණ්ඩායමේ නායක රශිඩ් ඛාන් අදහස් පළ කර තිබුණා.

මෙහිදී ඔහු සඳහන් කළේ, අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීම ඔවුන්ගේ සිහිනයක් බවයි. නවසීලන්තය පරාජය කිරීමත් සමඟ ඔවුන්ට විශ්වාසයක් ඇතිවූ බවත් ඔහු සඳහන් කළා. තම රටේ ජනතාවත් විශාල සතුටක් මෙම ජයග්‍රහනය ලබනු ඇති බවටත් ඔහු මෙහිදී පවසා සිටියා.

එමෙන්ම ඔහු මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළේ, ඔවුන්ගේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරඟය සඳහා ගෙන ආ එකම පුද්ගලයා වන්නේ බ්‍රයන් ලාරා බවයි. ඔහු පැවසූ දෙයේ සත්‍යතාව ඔවුන් ඔප්පු කළ බවත් රශිඩ් ඛාන් පැවසුවා. තරඟාවලියේ පිළිගැනීමේ උත්සවයේදීත්, තමා, බ්‍රයන් ලාරාට, ඔහු පැවසූ දේ නිවැරදි බව තම කණ්ඩායම ඔප්පු කරන බව සඳහන් කළ බවත්, ඒ පිළිබඳව තම කණ්ඩායම ඉතා ආඩම්බර බවත් රශිඩ් ඛාන් පැවසුවා. මේ පිළිබඳව සටහනක් මෙතනින්.

දකුණු ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රයන් ලාරා තරඟාවලියේ ආරම්භයට පෙරම, ඇෆ්ගනිස්ථානය මෙවර අර්ධ අවසන් පූර්ව වට සඳහා සුදුසුකම් ලබනු ඇති බවට සිය අදහස පල කර තිබුණා. එම සටහන මෙතනින්.

මීට අමතරව මෙහිදී ඔහුගේ කණ්ඩායමේ කැපවීම, සැලසුම්සහගත බව වැනි සාධක පිළිබඳව රශිඩ් ඛාන් මෙහිදී අදහස් දක්වා තිබුණා.

ඒ හැරුණු විට ඔහු මෙම අවස්ථාවේදී දසුන් ශානක හෝ රෝහිත් ශර්මා හෝ වෙනත් කිසිඳු රටක ක්‍රීඩකයින් පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කර නැහැ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

එමෙන්ම මෙම පළ කිරීමේ අඩංගු ඡායාරූපය පිළිබඳව විමසා බැලීමේදී පෙනී ගියේ, එයද අද දින තරඟය අවසානයේ රශිඩ් ඛාන් අදහස් පළ කිරීමේ අවස්ථාවේ ඡායාරූපයක් නොවන බවයි. එය මීට වසරකට පෙර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන් පසු සම්මුඛ සාකච්ඡාවෙන් ලබා ගත් ඡායාරූපයක්. එම වීඩියෝව මෙතනින්.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ද රශිඩ් ඛාන්, දසුන් ශානක හෝ රෝහිත් ශර්මාගෙන් නායකයෙකු ලෙස පීඩනය හමුවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව අත්දැකීම් ලබාගත් බවට ප්‍රකාශයක් හෝ මීට සමාන ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ.

එමෙන්ම, මේ හා සමාන වන ප්‍රකාශයක් මීට පෙර අවස්ථාවක හෝ දසුන් ශානක සම්බන්ධයෙන්, රශිඩ් ඛාන් සිදුකර නැහැ.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය අතර 2024 විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් පසු ජයග්‍රාහී ඇෆ්ගන් පිලේ නායක රශිඩ් ඛාන් 2023 ලෝක කුසලානය අතරතුර රෝහිත් ශර්මා සහ දසුන් ශානකගෙන් කණ්ඩායම් නායකයකු පීඩනයක් හමුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අත්දැකීම් ලබාගත් බවට අදහස් දක්වා නැහැ. ඔහු ඔවුන් දෙපලට ස්තූතිවන්ත වෙන බවටත් පවසා නැහැ. ඔහු පවසා ඇත්තේ බ්‍රයන් ලාරාගේ අදහස් දැක්වීම ඔවුන්ට තිබූ විශාලම සහයෝගය වූ බවයි.

Avatar

Title:T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?

Fact Check By: Fact Crescendo Team

Result: False