COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර වී තිබෙනවා.
COVID19 තවත් සෘතුමය උණක් (seasonal flu) ලෙස සලකමින් ඇතැම් රටවල් සියළුම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
WhatsApp ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක දැක්වුණේ, මෙලෙසින්.
පහත සඳහන් රටවල් නිරෝධායන ක්‍රියා පටිපාටි, කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කරන බව නිවේදනය කරන ලද අතර කොරෝනා සෘතුමය උණක් පමණක් ලෙස සලකයි:
1) තුර්කිය
2) බ්‍රසීලය
3) බ්‍රිතාන්‍යය
4) ස්වීඩනය
5) ස්පාඤ්ඤය
6) චෙක් ජනරජය
7) මෙක්සිකෝව
8) එල් සැල්වදෝරය
9) ජපානය 🇯🇵
10) සිංගප්පූරුව 🇸🇬
මෙම ජර්මානු නිවාරණයත් සමඟ කොරෝනා වෛරසයේ අවසානය.
ජර්මානු විද්‍යාඥයින් විසින් අධ්‍යයන මාලාවකින් පසුව නිවේදනය කළේ, 2002 දී SARS වෛරසය මෙන් පෙනහළු තුළ කොරෝනා වෛරසය ප්‍රජනනය කරනවා පමණක් නොව, ආසාදනය වූ පළමු සතිය තුළ උගුරේ ද පුළුල් ලෙස පැතිර යන බවයි.
ජර්මානු චාන්සලර්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට විද්‍යාඥයින් යෝජනා කළේ දිනකට කිහිප වතාවක් සරල කාර්යයක් කරන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටින බවයි, එනම් අබ්මොනාක් අර්ධ උණුසුම් ද්‍රාවණයකින් උගුරේ ගා ගැනීම.
මෙය සිදු කිරීමේ අවශ්‍යතාවය ඔවුන් දිගු කලක් තිස්සේ අවධාරණය කර ඇති අතර, දැන්, ජර්මානු ජීව විද්‍යාඥයින් විසින් උගුරේ කොරොන වයිරසය ගුණ කිරීම පිළිබඳ සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලවලින් පසුව, ඔවුන් නැවත වරක් අවධාරණය කර ඇත්තේ ජලය සහ ලුණු ඇල්මැරුණු ද්‍රාවණයකින් උගුර කට ගා ගැනීමේ අවශ්‍යතාවයයි. ..
ජර්මානු විද්‍යාඥයින් ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශයට සහතික වෙති: ලුණු වතුරේ අර්ධ උණුසුම් ද්‍රාවණයකින් උගුරේ ගිලීමෙන් සියලුම මිනිසුන් දිනකට කිහිප වතාවක් උගුර පිරිසිදු කරන්නේ නම්, සතියක් ඇතුළත වෛරසය ජර්මනිය පුරා සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ. අත්හදා බැලීම්වලින් පෙන්නුම් කර ඇත්තේ ජලය සහ ලුණු ද්‍රාවණයකින් මුඛය සේදීමෙන්, අපි නිරන්තරයෙන් අපගේ උගුර සම්පූර්ණයෙන්ම ක්ෂාරීය පරිසරයක් බවට පත් කරන බවත්, මෙම පරිසරය කොරෝනා වයිරසයට නරකම පරිසරය වන බවත්, ලුණු ජලය සමඟ මුඛයේ pH අගය ක්ෂාරීය බවට වෙනස් වන බැවිනි. pH අගය, සහ අපි දිනකට කිහිප වතාවක් සේලයින් සමඟ උගුරේ ගා ගාර්ගල් කරන්නේ නම්, අපි කිරීටක වෛරසය ගුණ කිරීමට අවස්ථාවක් ලබා නොදේ.
එබැවින් කොරොන වයිරසය කිසිසේත් වර්ධනය වීමට ඉඩ නොතබන ලෙස සියලුම පුද්ගලයින් දිනකට කිහිප වතාවක් අර්ධ උණුසුම් සේලයින් ද්‍රාවණයකින් මුඛය සේදීම අවශ්‍ය වේ. එකම ආරම්භක කාල පරිච්ඡේදයේදී.
මෙම වැදගත් සහ සරල සෞඛ්‍ය උපදෙස් කැපවීමෙන් ක්‍රියාත්මක කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු
මෙම ලිපිය ප්‍රචලිත වන විට, ඔබත් කොරෝනා වෛරසය පැතිරීමට එරෙහිව සටන් කරන අයගේ කවයේ සිටිනු ඇත
ඔබගේ ආදරණීයයන් වෙත යවන්න

මෙම පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන්ද WhatsApp ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම පණිවිඩයේ ප්‍රධාන වශයෙන් කොව්ඩ් වෛරසය සෘතුමය උණ රෝගයක් ලෙස සලකමින් ලෝකයේ රටවල් 10 ක් සියලුම නිරෝධායන ක්‍රියා පටිපාටි, පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් අවලංගු කරන බව දක්වා ඇති බවට සඳහන් කරන අතර ජර්මානු අධ්‍යයනයන් මගින්
ලුණු වතුර මද රස්නේ වතුර සමගින් උගුර සේදීමේ COVID19 වෛරසය තුරන් කළ හැකි බවට ඔප්පු කර ඇති බව ද සඳහන් කරනු ලබනවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රථමයෙන්ම අප අපගේ අවධානය යොමු කළේ ඉහත සඳහන් කළ ඇති රටවල් දහය තුළ COVID19 සාමාන්‍ය ඝෘතු උණක් ලෙස පිළින්නවාද යන්නයි.
ඒ සඳහා අප එම රටවල් 10 හි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ ඔවුන්ගේ රජයේ නිල ප්‍රකාශ මත පදනම්ව මෙම රාජ්‍යයන්හි COVID19 සම්බන්ධ අනුගමනය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු කරනු ලැබුවා.
තුර්කිය: තුර්කියේ සංචාරකයින් රටට ඇතුළු වීමට පැය 72 කට පෙර කොවිඩ් වෛරසය ආසාදනය නොවී ඇති බවට තහවුරු කිරීම සඳහා, PCR හෝ ප්‍රතිදේහජනක පරීක්ෂණ (ඇන්ටිජන්) වාර්තා පෙන්විය යුතුය. ඔවුන් සංචාරකයින් ඉහළ අවදානම් සහ අඩු අවදානම් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඉහළ අවදානම් සහිත රටවලින් පැමිණෙන සංචාරකයින් දින 14 ක් නිරෝධායනය කළ යුතතු වේ. එන්නත් නොකළ සංචාරකයින් දින 10ක් දක්වා අනිවාර්ය නිරෝධායනය කළ යුතුයි. එන්නත් නොකළ සමීප සම්බන්ධතා දින 7ක් නිරෝධායනය කළ යුතුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුර මෙතනින්. Archived Link
තුර්කියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ මෑතකදී පළ කරන ලද සටහනක දැක්වුණේ, සමාජය බොහෝ දුරට එන්නත් කර ඇති නමුත් පූර්වාරක්ෂාව අත්‍යවශ්‍ය බවයි එම සටහන මෙතනින්.
එමෙන්ම මේ වන විට තුර්කි රාජ්‍යයේ ජනගහනයෙන් 62.88% ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

බ්‍රසීලය: බ්‍රසීලයට ඇතුළත් වන සියලුම සංචාරකයන් තමන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බවට ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ නම්, ගුවන් ගමනට පැය 24කට පෙර ලබා ගත් වාර්තා ද, PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ නම්, පැය 72කට පෙර ලබා ගන්නා වාර්තා ඉදිරිපත් කළ යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින්. Archived Link
එමෙන්ම Omicron ප්‍රභේදය බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් බ්‍රසීලයේ කොව්ඩ් ස්වයං පරීක්ෂණ කට්ටල ඖෂධ වෙළඳසැල් වල විකිණීමට ද අවසර ලාබ දී තිබේ. ඒ බවට පළ වූ පුවත් රොයිටර් වාර්තාවක් මෙතනින්.
මේ වන විට බ්‍රසීලයේ ජනගහනයෙන් 71.31% ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

බ්‍රිතාන්‍යය: පූර්ණ එන්නත් කරණය කරන ලද පුද්ගලයින් එක්සත් රාජධානියට ඇතුළු වීමට පෙර PCR හෝ ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ. නමුත් එන්නත් නොකළ පුද්ගලයින් එක්සත් රාජධානියට ඇතුළු වීමට පෙර තමන්ට කොවිඩ් ආසාදනය නොවුණු බවට PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived.
NHS-UK මෑතකදී නිවේදනය කළේ එංගලන්තයේ මුහුණු ආවරණ තවදුරටත් නීතියෙන් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත්, රජය යෝජනා කරන්නේ එදිනෙදා හමු නොවන වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධ විය හැකි ජනාකීර්ණ සහ සංවෘත අවකාශයන්හි මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවයි. වැඩි විස්තර මෙතනින් සහ මෙතනින්.
මේ වන විට බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 72.56% ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

ස්වීඩනය: ස්වීඩනයට ඇතුළු වීමට පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇති බවට සහතිකයක් අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම්, රට තුළට ඇතුළු වීමට කොවිඩ් වැළදී නැති බවට PCR / RAT වාර්තා පෙන්වීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතනින්. Archived.
Omicron ප්‍රභේදයේ පැතිරීමත් සමග තව තවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට ස්වීඩනයේ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙලෙසින් පවසා තිබේ.
එසේම ඇය එන්නත් කිරීමේ වැදගත්කම පිළිබඳව දිගින් දිගටම අවධාරණය කරමින් පවසන්නේ මුහුණු ආවරණ නිතර පැළඳිය යුතු බවයි. ඒ බවට ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහන මෙතනින්.
මේ වන විට ස්වීඩනයේ ජනගහනයෙන් 73.07% ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

ස්පාඤ්ඤය: සංචාරකයින් පැමිණීමට පෙර පැය 72ක් (PCR) හෝ පැය 48ක් (RAT) ඇතුළත සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුය හෝ කොවිඩ් ආසාදනය වී නොමැති බවට අදාළ පරීක්ෂණ වාර්තා පෙන්විය යුතුය. තවද ස්පාඤ්ඤය ලෝකයේ සමහර රටවල් Covid19 සඳහා ඉහළ අවදානම් කලාප ලෙස වර්ගීකරණය කරයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින්. Archived.
මේ වන විට ස්පාඤ්ඤයේ ජනගහනයෙන් 81.38%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

චෙක් ජනරජය: රටට ඇතුළු වන විට චෙක් ජනරජයට වඩාත් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි. කොවිඩ් එන්නත ලබා ගෙන තිබේද නැතහොත් එන්නත් නොකළද, චෙක් ජනරජයට ඇතුළු වීමට පෙර ඔවුන් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි විස්තර මෙතනින්. Archived Link
නව රජය විසින් කොවිඩ් 19 ආසාදිතයන් දිගින් දිගටම වැඩිවෙමින් පවතින බැවින් නිරෝධායන සහ නිරෝධානය කල යුතු කාලය කෙටි කිරීම සහ අනිවාර්ය එන්නත් කිරීම ආදි යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර අග්‍රාමාත්‍යවරයා එන්නත් ලබාදීමේ වැදගත්කම ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.
මේ වන විට චෙක් ජනරජය ජනගහනයෙන් 63.71%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

මෙක්සිකෝව: මෙක්සිකෝව COVID19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන තවත් රටක් වන අතර එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වන මධ්‍යස්ථාන (CDC) විසින් මෙක්සිකෝව “ඉතා ඉහළ” අවදානම් කලාපයේ ලැයිස්තුගත කර ඇත. කෙසේ වෙතත්, මෙක්සිකෝව සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා. බොහෝ නිවාඩු නිකේතන අමුත්තන්ගෙන් සෞඛ්‍ය ප්‍රශ්නාවලිය පුරවන ලෙස ඉල්ලා සිටියද, පැමිණීමේදී PCR පරීක්ෂණයක් හෝ නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවේ. නමුත් COVID-19 අසාදනය වන පුද්ගලයින් දින 7ක් නිරෝධායනය කිරීමට අවශ්‍ය වේ. ගුවන් තොටුපලවල සෞඛ්‍ය පරීක්‍ෂණ පවත්වනු ලබනවා. ඇතැම් මෙක්සිකානු ප්‍රාන්ත හෝ නගරවලට දැඩි සීමාවන් තිබෙනවා. ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින්. Archived Link
මේ වන විට මෙක්සිකෝවේ ජනගහනයෙන් 60.59%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

එල් සැල්වදෝරය: එල් සැල්වදෝරය මෑතකදී රටට ඇතුළු වීමට එන්නත් කාඩ්පත් හෝ PCR පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔවුන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ස්වේච්ඡාවෙන් සියලුම සෞඛ්‍ය පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙසයි. මේ පිළිබඳ විස්තර මෙතනින්. Archived Link
මේ වන විට එල් සැල්වදෝරයේ ජනගහනයෙන් 65.19%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

ජපානය: ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, රටට ඇතුළු වන සෑම පුද්ගලයෙකුම එන්නත් ලබා දී හෝ එන්නත් නොකළත් රට තුළට ඇතුළු වීමට පෙර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට Covid19පරීක්ෂණයක් ඉදිරිපත් කළ යුතු බවයි. මේ ගැන පිළිබඳ තොරතුරු මෙතනින්. Archived.
රට තුළ ඔමික්‍රොන් රෝගීන් වැඩිවීමත් සමඟ ජපානය ද COVID-19 සීමා කිරීම් දැඩි කර ඇත. බූස්ටර එන්නත්කරණය වේගවත් කිරීම සඳහා ජපානය COVID මෙගා එන්නත් මධ්‍යස්ථාන නැවත විවෘත කර ඇත ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.
මේ වන විට ජපානයේ ජනගහනයෙන් 79.08%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

සිංගප්පූරුව: සංචාරකයින් සිංගප්පූරුවට පැමිණීමට දින දෙකකට පෙර PCR වාර්තාවක් රැගෙන පැමිණිය යුතුවේ. PCR වාර්තා නොමැති පුද්ගලයින්ට රට තුළට ඇතුළුවීම තහනම් කෙරේ. ඝෘණාත්මක පරීක්ෂණයක් සමඟ වුවද, Omicron ප්‍රභේදය ප්‍රමුඛ වන රටවලින් පැමිණෙන සියලුම සංචාරකයින් දින 7ක් ස්වයං නිරෝධායනය කළ යුතුය. සමීප සම්බන්ධතා දින 7 ක් නිරෝධායනය කළ යුතුය,මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.Archived.
මේ වන විට සිංගප්පූරුවේ ජනගහනයෙන් 83.92%ක් පූර්ණ එන්නත් කරණයේ යෙදී තිබේ.

ඉහත තොරතුරු වලින් පැහැදිලි වන්නේ ඇතැම් රටවල යම් ආකාරයක සීමාවන් ඉවත් කර ඇති අතර, ඉහත සඳහන් කළ කිසිදු රටක් COVID19 සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, පූර්වාරක්ෂාවන් සම්පූර්ණයෙන්ම අත්හැර දමා නොමැති බවයි.
විශේෂයෙන්ම Omicron ප්‍රභේදයන් මතුවීමත් සමඟම, ප්‍රමාණවත් නිරෝධායනයක් සහිත සෞඛ්‍ය ප්‍රොටෝකෝල අනුගමනය කිරීමේ වැදගත්කම සහ එන්නත් කිරීම සහ බූස්ටර මාත්‍රා ලබා ගැනීමේ අවශ්‍යතාවය බොහෝ රටවල් අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් කොවිඩ් වෛරසය සෘතුමය උණක් ලෙස කිසිදු තැනක හඳුන්වා දී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වසංගතයක් ලෙස ද සලකයි, එය ආවේණික රෝගයක් ලෙස සැලකීමට ඉක්මන් වැඩි බවයි ඔවුන් පවසා ඇත්තේ. මේ බවට සඳහන් Aljazeera වාර්තාව මෙතනින්.
ලුණු වතුර මද රස්නේ වතුර සමගින් උගුර සේදීමේ COVID19 වෛරසය තුරන් කළ හැකි බවට ඔප්පු වී ඇති බවට පළ වූ කරුණ වෙත අපගේ අවධානය ඉන්පසුව යොමු කරනු ලැබුවා.
නමුත් මේ සම්බන්ධ පිළිගත හැකි ආයතනයකින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවක් අප කළ විමර්ශනයේදී හමු නොවුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් සඳහා එවන් ප්‍රතිකාර ක්‍රමයකින් කොවිඩ් ආසාදනය වීම වැළකෙන බවට හෝ එමගින් කොවිඩ් වෛරසය මැරෙන බවට හෝ අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් විදියට හෝ දක්වා නොතිබුණි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.
කෙසේ වෙතත්, ලුණු එකතු කළ මද රස්නේ වතුරෙන් උගුර සේදීම මගින් Covid19 ආසාදනය වීම වැළැක්විය නොහැකි බවට 2021 ඔක්තෝම්බර් මාසයේදී මැලේසියාව විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවට සුප්‍රසිද්ධ “නේචර්” සඟරාවේ පර්යේෂණ ලිපියක මෙලෙසින් සඳහන් වී තිබුණා.

තව දුරටත් මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා, අපි ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.
ඒ මහත්මිය සඳහන් කළේද, ලුණු එකතු කළ මද රස්නේ වතුර එක් කළ ද්‍රාවණය මගින් උගුර සේදීමෙන් Covid19 ආසාදනය වීම වැළැක්විය හැකි බවට ප්‍රමාණවත් සායනික සාක්ෂි නොමැති බවයි.
ජර්මානු විද්‍යාඥයන් මෙම ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් තම රජයට යෝජනා කළ බවත් එය වසංගතය තුරන් කිරීමට මග පෑදිය හැකි බවත් ඉහත පණිවිඩයේ දක්වා තිබීම හේතුවෙන් ඒ පිළිබඳවද අප මාධ්‍ය වාර්තා පරීක්ෂා කළ අතර ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි මාධ්‍ය වාර්තා කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. එබැවින්, මේ සම්බන්ධයෙන් අපි ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ ප්‍රතිචාර අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු ඉහත පණිවිඩයේ සඳහන් රටවල් 10 තුළ සියලුම නිරෝධායන ක්‍රියා පටිපාටි, COVID19 පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් අවලංගු කරන බව සඳහන් ප්‍රකාශය සහ කොරෝනා වෛරසය සෘතුමය උණක් ලෙස සැලකීම නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි.
ඇතැම් රටවල් කොවිඩ් වාතාවරණය සඳහා සීමාවන් ලිහිල් කර තිබුණද, මෙම රටවල් කිසිවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ, COVID19 සම්බන්ධ පූර්වාරක්ෂාවන් සහ විශේෂයෙන් Omicron ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ගේ වැඩිවීමත් සමඟ මෙම රටවල් කොවිඩ් වෛරසය සාමාන්‍ය උණක් ලෙස සළකා නොසලකා හැර දමා නොතිබූ අතර බූස්ටර් මාත්‍රා සමගින් එන්නත් කිරීමේ වැදගත්කම සහ කොවිඩ් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි.
ලුණු එකතු කළ මද රස්නේ වතුර එක් කළ ද්‍රාවණය මගින් උගුර සේදීම මගින් Covid19 තුරන් කිරීම සිදු කළ හැකි බවට විශ්වාසදායක විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මෙතෙක් ලැබී නොමැත.

Title:රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!
Fact Check By: Pavithra SandamaliResult: Misleading
