අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් සනත් ජයසූරිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළා ද?

False Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති විස්සයි 20 තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දුගේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත පළ කළ අදහසක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

‘මෙතරම් අසාර්ථක අවිශ්ක ප්‍රනාන්දු ඇයි විස්සයි විස්ස තරඟවල ක්‍රීඩා කරන්නේ ?’ යනුවෙන් මාධ්‍යවේදී ලුවිස් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සනත් ජයසූරිය විසින් “අපට අවශ්‍ය වුණේ, අවිශ්ක ප්‍රනාන්දු හට එක්දින තරඟාවලිය සඳහා පෙර පුහුණුවක් ලබාදීමටයි. මම හිතනවා ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බව සමාජ මාධ්‍ය සටහනක දැක්වුණේ මේ අයුරින්.

Fb|Archive

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරිය විසින් එවැනි අදහසක් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවේද යන්න අප සොයා බැලීමක් සිදුකළා.

කරුණු විමර්ශණය (Fact Check)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය   නවසීලන්තයේදී පැවැත්වුණු අතර ඉන් තරඟ දෙකක් නවසීලන්තය ජයග්‍රහණය කරනු ලැබුවා. අවසන් තරඟය ශ්‍රී ලංකා පිළ ඕවර 20 කදී කඩුලු 5ට ලකුණු 218ක් ලබාගනිමින් ලකුණු 7ක තියුණු ජයක් ලබාගැනීමට සමත් වුණා.

මෙම තරඟාවලියේ නවසීලන්ත සංචාරය සඳහා අවිශ්ක ප්‍රනාන්දු එක්වී සිටි නමුත් පළමු තරඟයේ ක්‍රීඩාකරන තරඟකරුවන් 11 දෙනා අතරට අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත්ව තිබුණේ නෑ. 

ඒ අනුව පළමු තරඟයේ ශ්‍රී ලංකා පිළේ මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා භානුක රාජපක්ෂ වෙනුවට අංක 6 පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු දෙවන තරඟය සඳහා කැඳවා තිබුණා. 

එම තරඟයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක් අවශ්‍යව තිබූ මොහොතක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 7ක් තුළ ලකුණු 5ක් පමණක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අටවන කඩුල්ල ලෙස දැවී ගියා. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ 141ක් ලෙසයි. එමෙන් ම ඉතිරි කඩුලු දෙකත් ලකුණු 141 දී ම දැවී ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉණිම අවසන් වුණා. ඒ දෙවන T 20 තරඟයේ ලකුණු 45ක ජයක් නවසීන්තයට හිමි කරමින්. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත අවසන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසීමත්, පන්දු 7ක් තුළ ලකුණු 5ක් පමණක් ලබා ගැනීමත්, පිතිකරණ අසාර්ථක භාවයත්, තනතිල්ලට උචිත ආකාරයට හැඩ ගැසීමට නොහැකිවීමත් යන කාරණා මත සමාජ මාධ්‍ය තුළ මෙන් ම විවිධ ක්‍රීඩා විචාරකයින්ගේ අවදානයට අවිශ්ක ප්‍රානාන්දු ලක්වුණා.

නමුත් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කළ තෙවන T20 තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා සිව්වන පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 12ක් තුළ ලකුණු 17ක් ලබාගත්තේ  එක් හතරේ පහරක් සහ 6 පහරක් එල්ල කරමින්.

කෙසේ වෙතත් දෙවන තරඟයේ අවිශ්ක ප්‍රනාදු දැක්වූ පිතිකරණයේ දුර්වලතාව නිසා එය කතා බහට ලක්විය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කිරීම සම්බන්ධව සනත් ජයසූරිය මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකළා ද?

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අවිශ්ක ප්‍රනාන්දු විස්සයි විස්ස තරඟ සඳහා ඇතුළත් කරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරියගෙන් ලුවිස් නම් මාධ්‍යවේදියෙක් විමසීමක් සිදුකරන ලද්දේ ද යන්න අප සොයා බැලීමක් සිදුකළා.

ඒ අනුව මෙම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡා අප පරීක්ෂා කළ අතර එවැනි විමසීමක් හෝ ඊට සනත් ජයසූරිය විසින් පිළිතුරු ලබාදීමක් අපට දැකගත නොහැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය

අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර ඔහු පවසා සිටියේ එවැනි අදහස් දැක්වීමක් ඔහු කිසිඳු මාධ්‍යයක් වෙත සිදු නොකළ බවයි.

ක්‍රීඩා මාධ්‍යවේදී අසාම් අමීන්

ක්‍රීඩා මාධ්‍යවේදී අසාම් අමීන්ගෙන් අප කළ විමසීමේදී ඔහු අපවෙත පවැසුවේ සනත් ජයසූරිය විසින් එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවයි. ඒ අනුව එම සමාජ මාධ්‍යයේ පළවන සටහන අසත්‍ය එකක් බව ඔහු අප වෙත පැවසුවා.  

ශ්‍රී ලංකා සහ නවසීලන්ත එක්දින ජාත්‍යන්තර තරඟාවලිය

ශ්‍රී ලංකා සහ නවසීලන්ත එක්දින තරඟාවලිය පසුගිය 5 වනදින නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැත්වුණා. එහිදී ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණූ 178ක් රැස් කළ අතර එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 56ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 26යි පන්දු 2ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 180ක් ලබාගනිමින් පළමු එක්දින තරඟාවලිය පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරඟය හෙට (8) පැවැත්වීමට නියමිත අතර එම තරඟය සඳහා ද අවිශ්ක ප්‍රනාන්දු බොහෝදුරට තරඟ කරනු ඇත.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

ඒ අනුව පැහැදිලි වන්නේ, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්ස තරඟාවලියෙන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Avatar

Title:අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් සනත් ජයසූරිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply