නේපාල අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරාද ?

Animation False Internatioanl Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ අධික වේගයෙන් පැතිර යන ජාතික හා අන්තර්ජාතික තොරතුරු  ජනතාව අතර නිරන්තර කතාබහට හේතු වේ. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනතාවගේ කතාබහට ලක්වන සෑම ප්‍රවෘතියක් ම සත්‍ය ඒවා නොවෙයි. නේපාලයේ රාජ්‍ය නායකයා ලෙස රැප් ගායකයෙකු පත් කර ඇති බවට සඳහන් වන ප්‍රවෘතියක් සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල සංසරණය වේ. එහි සත්‍යතාව පිළිබඳව අප මෙලෙස  විශ්ලේශනය කළෙමු.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නේපාල රැප් ගායකයා රටේ මුල් පුටුවට පත් කරයි. නේපාලයට අඹ සරණයි” සහ “නේපාල අගමැති රටින් පලායයි. අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරතියනුවෙන් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.

 

Facebook

 

Facebook 

තවද මෙම පුවතේ සඳහන් කර තිබුනේ නේපාලයේ හිටපු අගමැතිවරයෙක් වන ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රවි ලක්ෂ්මි චිත්‍රකර්  මහත්මිය, ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් සිදුවූ බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. විරෝධතාකරුවන් පිරිසක් විසින් චිත්‍රකාර් මහත්මිය බලහත්කාරයෙන් නිවස තුළට ඇතුළු කර, පසුව ගිනි තබා ඇති බව කියනු ලැබේ.යනුවෙනි. 

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වූ බැවින් එහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම)

නේපාල රජය පසුගිය අගෝස්තු 28 වන දා සියලු සමාජ මාධ්‍ය ජාලාවලට නිල වශයෙන් ලියාපදිංචි වීම සඳහා සහතික කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන, මාර්ගගත වංචා මැඩ පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බව නේපාල රජය පවසා ඇත. ලබා දුන් කාලසීමාව අවසන් වූ පසුවත් ඊට අනුගත නොවූ Facebook සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් අවහිර කරන්න යැයි නේපාල රජය අන්තර්ජාල සේවා සපයන්නන්ට දැනුම් දීමෙන් පසුව නේපාලය පුරා විරෝධතා ඇති විය. මෙතැනින්

 Gen – Z හෙවත් අනූව දශකයේ අග භාගයේ උපත ලැබූවන් මෙම විරෝධතාවලට නායකත්වය ලබාදීම විශේෂත්වයක්. විරෝධතා නිසා ඇති වූ අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් සහ එරට අගමැති  කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්විය.

නේපාලයේ විරෝධතාවය උත්සන්න වීමත් සමඟ එරට අගමැති කේ.පී ෂර්මා ඔලි ඉල්ලා අස්වී නේපාලයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වේ.නේපාලයේ ඊළඟ අගමැති ලෙස යෝජනා වෙමින් පවතින නමක් වන්නේ බාලේන්ද්‍ර ෂා හෙවත් බැලන් ය. මෙතැනින්

බාලේන්ද්‍ර ෂා නේපාලයේ කත්මණ්ඩු අගනගරයේ නගරාධිපතිවරයා වේ. ‘බැලන්‘ නමින් හදුන්වන  ඔහු මේ වන විට 35 වන වියෙහි පසු වේ. ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගවදිමින් නගරාධිපති ධුරය ජයග්‍රහණය කළ අතර පක්ෂ සහාය නොමැතිව කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා ලෙස බලයට පත් වූ පළමු පුද්ගලයා ද වේ. 

1990 දී කත්මණ්ඩු නුවර උපත ලැබූ ඔහු නේපාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අතර පසුව ඉන්දියාවේ තාක්ෂණික විශ්ව විද්‍යාලයකින් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර ඇත. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු  රැප් ගායකයෙකු සහ ගීත රචකයෙකු ලෙස නේපාලයේ  ජනප්‍රිය විය. බොහෝ විට ඔහුගේ ගීත ඔස්සේ දූෂණය සහ අසමානතාවය වැනි ගැටළු මතු කර ඇත. 2022 වසරේදී ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස කත්මණ්ඩු නගරාධිපති මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කළේය. මෙතැනින්

මොහු රැප් ගායකයෙක් ලෙස නේපාල තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයකි. නේපාලයේ මීළඟ නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා, පත් කරගැනීමට එරට ජනතාව කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. Reuters NDTV  Hindustan Times The Times of India 

එහෙත් මේ කිසිදු තැනක බාලේන්ද්‍ර ෂා නේපාලයේ රාජ්‍ය නායකයා බවට පත් කර ඇතැයි දක්වා නැත. එසේම දෙස් විදෙස් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක බාලේන්ද්‍ර ෂා නැමැත්තාට නේපාලයේ රාජ්‍ය නායක ධුරය හිමි වූ බවට සඳහන් කර නොමැත. ඒ අනුව නේපාල වැසියන් බාලේන්ද්‍ර ෂා ඔවුන්ගේ රාජ්‍ය නායකයා බවට පත් වෙනු දැකීමට කැමැත්තෙන් සිටිය ද තවමත් ඔහුට එම ධූරය ලැබී නැති බව පැහැදිලි වේ.   

එසේම, නේපාලයේ හිටපු අගමැතිවරයෙක් වන ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රවි ලක්ෂ්මි චිත්‍රකර් මහත්මිය විරෝධතාකරුවන් පිරිසක් විසින්   බලහත්කාරයෙන් නිවස තුළට ඇතුළු කර, පසුව ගිනි තබා  මරණයට පත් කර ඇති බව දැක්වෙන පුවතක් ද සාමාජ මාධ්‍යන්හි සංසරණය  විය. එහෙත් චිත්‍රකාර් මහත්මිය ජීවතුන් අතර සිටින නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් කීර්තිපූර් හි Nepal Cleft and Burn Center හි අධ්‍යක්ෂ වෛද්‍ය කිරන් නකර්මි  තහවුරු කළ බව කරුණු පරීක්ෂාකවරුන් පිරිසක් දක්වා ඇත. මෙතැනින් මෙතැනින් 

තවද සැප්තැම්බර් 11 වන දින බීබීසී ප්‍රවෘත්ති නේපාල සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අගමැති ජාලානාත් ඛනාල් තම බිරිඳට එල්ල වූ ප්‍රහාරය ගැන කතා කළේය. ඇයගේ තත්ත්වය බරපතල බවත් ඇය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු පවසා ඇති බවත් කරුණු පරීක්ෂකවරුන් දක්වා ඇත. මෙතැනින් 

ඒ අනුව ඉන්දියානු සහ නේපාල මාධ්‍ය ආයතනවල මුල් වාර්තාවල සඳහන් වූයේ අගමැතිගේ බිරිඳ චිත්‍රකාර් ගිනි තැබීමේ ප්‍රහාරයෙන් මිය ගිය බවයි. පසුව පැහැදිලි කළේ ඇය ජීවතුන් අතර සිටින නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. 

අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට සිදු වූ පසු, හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි, නේපාලයේ නායකත්වයට පත්වන පළමු කාන්තාව බවට පත් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය පැවසූ බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

කරුණු අනුව තහවුරු වන්නේ නේපාලයේ හිටපු අගමැතිවරයෙක් වන ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රවි ලක්ෂ්මි චිත්‍රකර් මහත්මිය මිය නොගිය බවත් ඇය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටින බවත්  හා බාලේන්ද්‍ර ෂා නැමැති රැප් ගායකයා නේපාලයේ රාජ්‍ය නායක ධුරයට පත් නොකර ඇති බවත්ය. හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි, නේපාලයේ නායකත්වයට පත්වි තිබේ.

 

 

 

Avatar

Title:නේපාල අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරාද ?

Fact Check By: Achini 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *