“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර දැක්වූවා – ජාත්‍යන්තර මාධ්‍ය කියයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා.

Facebook

මේ තේමාවෙන්ම හුවමාරු වූ තවත් සටහනක් මෙලෙසින්.

කෙසේවෙතත් දිට්වා සුළි කුණාටුව සෘජු වශයෙන්ම බලපෑමක් ඇතිකළේ ලංකාවට බැවින් ඉහත සටහන් ඔස්සේ පරික්ෂාවේ දී ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු රජයන්, එම රටවලට බලපෑ සුළි කුණාටු මධ්‍යයේ සිදුවූ හානිවලට දැක්වූ ප්‍රතිචාර පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අදහස් දැක්වූ අයුරු යනුවෙන් දීර්ඝ විස්තරයක් දක්වා තිබු අතර එහිදී ඉන්දුනීසියාව හදිසි ආපදා තත්වයක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමත්, ලංකාව එලෙස සිදු කිරීමත් ගැන කරුණු දක්වා තිබු අතර ප්‍රධාන වශයෙන්ම ජර්මානු මාධ්‍ය ආයතනයක් වන DW සිදුකර තිබූ වාර්තාකරණය යනුවෙන් ද කරුණු පෙන්වා දී තිබුණා. 

මෙවැනි සටහන් සඳහා විශේෂයන්ම මුල් වී තිබුනේ ITN පුවත් සේවය ඔස්සේ ඒ පිළිබඳව සිදුකර තිබු මෙම වාර්තාකරණය බව ද පෙනී යනවා.

මේ ගැන අප විසින් කරුණු පරික්ෂා කිරීමක් සිදුකලේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ලංකාවට දැඩි හානි පැමිණවීමට මුල් වූයේ දිට්වා සුළි කුණාටුවයි. මේ ආකාරයෙන්ම ඉන්දුනීසියාවේ විශේෂයෙන්ම සුමාත්‍රා ප්‍රදේශයේ දැඩි හානි පැමිණවූයේ වෙනත් සුළි කුණාටුවක් මගිනි. ඒ සෙන්යාර් සුළි කුනාටුවයි. ඉන්දුනීසියාවට අමතරව, තායිලන්ත, මැලේසියාව වැනි රටවලට ද ‘සෙන්යාර්’ මගින් දැඩි බලපෑමක් වුවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

මේ සුළි කුණාටු දෙකම එක ළඟ කාලසීමාවක ඇතිවූ අතර ඒ හේතුවෙන් ජිවිත සහ දේපළ හානි රැසක් ඇතිවු අතර ඇතැමුන් එකම සුළි කුණාටුවක් හේතුවෙන් මෙම ආපාදා සිදුවූ බවට ද නොමඟ ගොස් තිබුණා.

දිට්වා සුළි කුණාටුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලද අතර පසුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට බලපෑම් කරමින් බෙංගාල බොක්ක වෙත ගමන් කළා. ඒ අනුව දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව කඩිනම් ප්‍රතිචාර දැක්වූ බවට සන්සන්දනය කිරීමේ හැකියාව අවම බව ද පෙනී යනවා.

දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතුරින්, වෙනත් රටවල් වලට සාපේක්ෂව ලංකා රජය ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇති ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් මෙරටට බලපෑ දිට්වා සුළි කුනාටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා, විශේෂයෙන්ම ඉහත සටහන් සඳහා මුල් වී තිබු DW වර්තාකරණයන් පරීක්ෂා කලා.

DW විසින් සුළි කුණාටු හමුවේ මෑතදී ඇතිවූ ව්‍යසනය පිළිබඳව වාර්තා කළේ කෙසේ ද?

DW නැතහොත් Deutsche Welle යනු ජර්මනියේ නිල විකාශකයා වන අතර එය රූපවාහිනී, ගුවන්විදුලි සහ මාර්ගගත වේදිකා ඔස්සේ භාෂා රැසකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ඉදිරිපත් කරන අතර ගෝලීය මාධ්‍ය ජාලයකි.

DW විසින් ලංකාවේ සහ ඉන්දුනීසියාවේ ව්‍යසනයන් දෙකම ගැන වාර්තා කර තිබු අතර ඉන්දුනීසියානු මෙන්ම ලංකා රජයන් ක්‍රීයාත්මක වීමේ ඇති වූ අඩුපාඩු, ආපදා සැලසුම්කරණයේ සහ පූර්ව සූදානමේ අඩුපාඩු පිලිබදව වාර්තා කර තිබුණා. 

ලංකාව සම්බන්ධයෙන් DW වාර්තාකරණය 

ශ්‍රී ලංකාව සෙවුම් සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා හමුදා නිලධාරීන්, පොලිසිය ඇතුළු පාර්ශව ඉක්මණින් යෙදවූ බවත්, සහන මධ්‍යස්ථාන සිය ගණනක් විවෘත කළ බවත්, දිට්වා සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදී දින කිහිපයක් ඇතුළත හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, DW වාර්තා කර සිටිනවා.

එසේම පූර්ව අනතුරු ඇඟවීම්, අවදානම් සන්නිවේදනය (විශේෂයෙන් දෙමළ භාෂාවෙන්) සහ සමස්ත ආපදා සූදානම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බවට ද ඔවුන් වාර්තා අකර තිබුණා. DW

ඉන්දුනීසියාව සම්බන්ධයෙන් DW වාර්තා

ඉන්දුනීසියාවේ, ජාතික සහ පළාත් පාලන ආයතන විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් සංවිධානය කරමින්, වැඩිම හානියක් වූ සුමාත්‍රා දුපතේ, නගරවලට ළඟා වීමට කටයුතු සිදුකර තිබුණ ද, වහාම ජාතික ව්‍යසනයක් ප්‍රකාශයට පත් කිරීමට අකමැති වීම මත එරට පැනනැගී තිබු මහජන විරෝධය ගැන DW ඉස්මතු කරයි. ආහාර, ඉන්ධන සහ පිරිසිදු ජල හිඟතාවයන් යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම ගැන ද විවේචන පළ කර තිබුණා

මේ අනුව රටවල් දෙකෙහිම අඩුපාඩු DW වාර්තා ඔස්සේ පෙන්වා දී තිබු බව පැහැදිලිය.

රොයිටර් පුවත් සේවය, අල් ජසීරා මාධ්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් මෙරටට බලපෑ දරුණු ගංවතුර, නායයෑම් තත්වයන් පිළිබඳව වාර්තා කරමින්  ජාත්‍යන්තර මානුෂීය සහයෝගයේ අවශ්‍යතාවය වාර්තා කර තිබුණා. මිනිස් ජීවිත වලට සිදු වූ හානිය කෙරෙහි අවධානය යොමු කරමින් බලධාරීන්, ගලවා ගැනීමේ සහ සහන සේවා කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය එම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. Aljazeera | Reuters

‘දිට්වා’ හමුවේ රජයේ අසාර්ථකත්වය පිළිඹිමු වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ විදේශීය මාධ්‍ය ශ්‍රී ලංකා රජයේ පූර්ව අනතුරු ඇඟවීම් සහ ක්ෂණික ප්‍රතිචාර පිළිබඳව විවේචනද ඉස්මතු කර ඇත. 

ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකයේ රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවට The Times of India වාර්තා කර තිබුණා. එහිදී ලංකාවේ සූදානම සහ හදිසි ප්‍රතිචාර පද්ධතිවල සීමාවන්, හිඩැස් පෙන්වා දෙමින්, කුණාටුවේ බරපතලකම අනුව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආයතනික ආපදා සූදානම ප්‍රමාණවත් නොවන බව වාර්තා කර තිබුණා.

‘ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරයි’ යන තේමාවෙන් inquirer.net හි පළවූ වාර්තාව මෙතනින්.

පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, සම්බන්ධීකරණය සහ සන්නිවේදනයේ ගැටලු සම්බන්ධයෙන් ද , විශේෂයෙන් දමිළ භාෂාවෙන් රජයේ නිවේදන නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද ඇතැම් වාර්තා ඉස්මතු කර තිබුණා. Tamilguardian

ජාත්‍යන්තර ආධාර හා සහයෝගීතාවය ලබා ගනිමින් ආපදා කළමණාකරණය කිරීමට ගත් වැඩපිළිවෙල ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණා

ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ආධාර සහයෝගීතාවය ලබා ගනිමින් ආපදා අවස්ථාව කළමණාකරණය කරන ලද ආකාරය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි කලාපීය අසල්වැසි රටවලින් ලැබෙන ආධාර සහ අනෙකුත් සහය සම්බන්ධයෙ ජාත්‍යන්තර මාධ්‍ය මගින් තවදුරටත් වාර්තා කර තිබුණා.

“සාගර් බන්ධු මෙහෙයුම” යටතේ ඉන්දියාව විසින් මෙරටට ලබා දුන් පුළුල් සහයෝගය ඉස්මතු කරමින් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ සහන ලබා දීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන ඉංජිනේරු, වෛද්‍ය සහ මානුෂීය ආධාර ඇතුළු කණ්ඩායම් සම්බන්ධයෙන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. Times of India

කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් විශිෂ්ට නායකත්වයත්, සහයෝගයත් ශ්‍රී ලංකාවේ ආපදාවන්ට ලක්ව සිටි ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වු බව ජපානයෙන් මෙරටට පැමිණ සිටි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් අසල්වැසි රටවල් මෙන් ම දිට්වාහි වක්‍ර බලපෑමට ලක් වූ කලාප

දිට්වා කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව තරම් විනාශයක් ඉන්දියා රාජ්‍යයට අත්විඳීමට නොහැකි වූ නමුත් කුණාටුව උතුරු දෙසට ගමන් කරන විට තමිල්නාඩු, පුදුචෙරි සහ ආන්ද්‍රහි ඇතැම් ප්‍රදේශ වෙත ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.

රාජ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කරමින්, නිවාඩු ප්‍රකාශයට පත් කරමින්, ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දෙමින්, ඇතැම් දුම්රිය සේවා අත්හිටුවමින් සහ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් බල ගන්වා තිබුණා. ඒ අනුව දිට්වා සම්බන්ධයෙන් ඉන්දියාවේ බලධාරීන් එරට අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සහ ප්‍රතිචාර කණ්ඩායම් යෙදවීමෙන් පූර්වාරක්ෂාව සහිතව සූදානම් වී තිබුණු බවට දැක ගන්නට ලැබේ. මේ සම්බන්ධ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි කලාපයේ අනෙකුත් රටවලට එම කාලපරිච්ඡේදය තුළම අදාළ කාලගුණ පද්ධතිවලට සම්බන්ධ දරුණු ගංවතුර සහ නායයෑම් ඇති වූ නමුත් එය වෙනත් සුළි කුණාටුවක බලපෑමකි. එම නිසා, එම රටවල වාර්තා වූ විශාල ගංවතුර හා කුණාටු බලපෑම් දිට්වා කුණාටුව සෘජුවම බලපෑමේ ප්‍රතිඵලක් ලෙස නොව, කලාපය පුරා පැවති පුළුල් කාලගුණික අවපීඩන තත්ත්වයක් තුළ ඇති වූ සිදුවීම් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල දරුණු ගංවතුර හා බලපෑම් පිළිබඳ වාර්තා එකම කාලයකදී පුළුල් කලාපීය කාලගුණ පද්ධති සමඟ සම්බන්ධ කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති නමුත්, නමුත් දිට්වා සඳහා රජයේ නිශ්චිත ප්‍රතිචාරය පිළිබඳ විස්තර ස්වාධීනව වාර්තා නොවේ. ඒ සම්බන්ධ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok

Avatar

Title:“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

Fact Check By: Pavithra Hansani  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *