දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කිසිවෙකුට හානියක් හෝ අගතියක් සිදු නොවුණත් ඇතැමුන් ජනතාව ඉතා ඉක්මනින් නොමගයැවිය හැකි සංවේදී කරුණු මුල් කර ගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කර එ්වා සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා දැකගත හැකියි. බොහෝ අවස්ථාවල එවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරමින් තවදුටත් හුවමාරු කර ගැනීම තුළ ශීඝ්‍රයෙන් අසත්‍ය තොරතුරු සමාජගත වීමක්ද සිදුවේ. මේ එලෙස සමාජ මාධ්‍ය ජාලා තුළ ඉතා ඉක්මනින් පැතිර ගිය එවැනි සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මහනුවර මහ රෝහලේදී මවක් දරුවන් 8 දෙනෙකු බිහි කර ඇති බවත් ඉන් එක් දරුවෙකු හැර අනෙක් දරුවන් 07 දෙනාම සුවෙන් පසුවන බවටත් සඳහන් කරමින් මවක සහ දරුවන් 7 දෙනෙකු පෙනී සිටින ඡායාරූපයක් ද සහිතව මෙම සටහන පළ කර ඇත. කෙසේ වෙතත් දින වකවානු හෝ මව හෝ දරුවන් පිළිබඳ වැඩි විස්තර කිසිවක් එම සටහනේ අන්තර්ගතව නොමැත.

අදාළ ෆේස්බුක් සටහන සත්‍ය බව විශ්වාස කරමින් බොහෝ පිරිසක් එය හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සැලකිය යුතු පිරිසක් මව සහ දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරමින් නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කර තිබුණේ මෙලෙසයි.

තවදුරටත් ෆේස්බුක් ඔස්සේ මෙම සටහන පළ කර තිබූ අතර එක් සටහනක් පළ කර තිබුණේ, මෙම පුවත පිළිබඳ විස්තරයක් ද සහිතවයි. එහෙත් එම විස්තරය තුළ දරු ප්‍රසූතිය සිදුවූ දිනය ඇතුළු කිසිදු වැදගත් තොරතුරක් ඇතුළත්ව නොමැත.
Facebook | Archived Link Facebook | Archived Link

ඉන්ස්ට්‍රග්‍රෑම් ඔස්සේ ද අට නිවුන් දරු උපතක් පිළිබඳ වූ එම සටහන් මෙලෙස පළ කර තිබෙනු දැකගතහැකි විය.

මහනුවර ජාතික රෝහලේ අට නිවුන් දරු උපතක් සිදු වූ බවට වන සටහන්වල එම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් නොවීම සහ ලද පාඨක ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මවක් විසින් එකවර දරුවන් 8 දෙනෙකුට උපත ලබාදීමේ සිදුවීමක් මහනුවර නොව රටේ වෙනත් ඕනෑම රෝහලකින් හෝ වාර්තා වූයේ නම්, එැවැනි විරල සිදුවීමක් ප්‍රධාන ධාරාවේ ඇතුළු සියලුම මෙරට මාධ්‍යවල ඉහළ ප්‍රමුඛත්වයකින් යුතුව මෙන්ම විදෙස් මාධ්‍යයෙහි පවා වාර්තා වී තිබිය යුතු ය. නමුත් එවැනි පුවතක් කිසිදු මාධ්‍යක් විසින් වාර්තා කර නොමැති බව අප සිදු කළ මූලික කරුණු පරීක්ෂාවේදී තහවුරු විය.
ඒ අනුව අප මේ පිළිබඳව ඝෘජුවම මහනුවර මහ රෝහලෙන් විමසීමක් සිදු කළා.
මහනුවර මහ රෝහල
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ආකාරයට මහනුවර ජාතික රෝහලේදී මවක් දරුවන් අට දෙනෙකු ප්‍රසූත කළේ දැයි අප මහනුවර ජාතික රෝහලෙන් විමසීමක් සිදු කළා. එහිදී රෝහල් ප්‍රකාශිකාවක පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බවත් මහනුවර ජාතික රෝහලේ එැවනි දරු උපතක් සිදු නොවූ බවත් ය. සමාජය නොමග යවන සුළු ආකාරයෙන් නිර්මාණය කර ඇති එම අසත්‍ය සටහන හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ද ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර මෑතකාලීනව සුවිශේෂී වැදගත්කමකින් යුතු දරු උපත් කිසිවක් රෝහලේදී සිදුවූවේදැයි අප වැඩිදුරටත් විමසා සිටි අතර එම ප්‍රකාශිකාව පැවුසවේ, මෑතකාලීනව සුවිශේෂි වැදගත්කරමක් සහිත දරු උපත් කිසිවක් සිදු නොවූ බවයි.
මහනුවර ජාතික රෝහලෙන් දැනුම්දීමක්
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද ජනතාවට දැනුම් දී සිටින්නේ, එම රෝහලේ අටනිවුන් දරු උපතක් සිදුව ඇති බවට පැතිර යන පුවත අසත්‍යයක් බවයි. සමාජය නොමග යවන සුළු මෙවැනි අසත්‍ය ප්‍රචාර බෙදාහැරීමෙන් වළකින ලෙසත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති වැඩිම බහු දරු උපත
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවී ඇති වැඩිම දරුවන් සංඛ්‍යාවකින් යුත් බහු දරු උපත ලෙස සැලකෙන්නේ, 2021 වසරේදී කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වූ සය නිවුන් දරු උපතයි. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
මේ අතර 2023 ජූනි මාසයේදී මහනුවර ජාතික රෝහලෙන් පස් නිවුන් දරු උපතක් වාර්තා වූ අතර 2023 වසරේදි පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරු උපතක් වාර්තා වුණා. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
ලෝකයේ අට නිවුන් දරු උපත්
ලෝකයේ අට නිවුන් දරු උපත් වාර්තා වීම ඉතා දුර්ලභ වන අතර ඉතිහාසයේම වාර්තා වී ඇත්තේ, එවැනි අවස්ථා කිහිපයක් පමණි. 1998 වසරේදී අමෙරිකාවේ ටෙක්සාස්හි මවක් අට නිවුන් දරු උපතක් සිදු කර තිබූ අතර සතියකට පසු ඉන් එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඉන් පසුව 2009 වසරේදී නැවතත් අමෙරිකාවෙන් අට නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණා. එම දරු උපතේ දරුවන් 8 දෙනාම ජීවත්වීමට වාසනාව හිමි කර ගත්තා. විස්තර මෙතැනින් සහ මෙතැනින්
විශේෂඥයින්ට අනුව මෙවැනි බහු දරු උපත් බොහෝවිට සිදුවන්නේ, IVF වැනි ප්‍රජනන තාක්ෂණික ක්‍රම භාවිත කිරීමේදී වන අතර කෙසේවතෙත් අට නිවුන් දරු උපත් ලෝකයේ විරල වන අතර ශ්‍රී ලංකාව තුළ එවැනි දරු උපතක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.
කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහනුවර ජාතික රෝහලේ මවක විසින් අටනිවුන් දරුුවන් බිහිකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. ඉකුත් දින කිහිපයේ එවැනි දරු උපතක් හෝ සුවිශේෂි දරු උපතක් සිදු නොවූ බව ද මහනුවර ජාතික රෝහල තහවුරු කළේ ය. ඒ අනුව මෙම සටහන් සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර පළ කරන ලද සටහන් බව පෙන්වා දිය හැකියි.


