දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වෙනත් රටවල, කාලයකට පෙර වාර්තා වූ සිදුවීම් මෑතකාලීනව ශ්‍රී ලංකාවෙන් වාර්තා වු සිදුවීම් බවට හැඟී යන අයුරින් විවිධ පාඨයන් යොදා ගනිමින් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම තුළින් සමාජය නොමග යන අවස්ථා ඕනෑ තරම් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍යට මුදා හැර ඇති සටහනක් පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පිරිමි ළමුන් කිහිප දෙනෙකු දැරියකට කිසියම් බලහත්කාරකමක් සිදු කරන අයුරු දැක්වෙන විඩියෝවකින් උපුටා ගන්නා ලද අවස්ථා කිහිපයක් නිරූපණය වන ඡායාරූප කිහිපයක් ද සහිතව මෙම සටහන පළ කර ඇත්තේ, මහ දවාලේ හැමෝම ඉදිරියේ කරදරයට ලක්වුණ 14 හැවිරිදි දැරිය – අට දෙනෙකු එකතු වී මුහුදු වෙරළේදී දැරියකගේ ඇඳුම් ඉරා දමමින් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි යන සඳහන සහිතවයි. අප්‍රේල් 15 වැනිදා අදාළ දැරිය (14) උපකාරක පන්තියකට සහභාගී වී ඇති බවත් පසුව පෙම්වතා සමග මුහුදු වෙරළට ගොස් ඇති ඇය එහිදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් එහි සඳහන් වේ. එම අවස්ථාවේ ඇය බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බව සහ මුහුදු වෙරළේ සිටි අයෙකු සිදුවීම වීඩියෝගත කර ඇති බව ද සඳහන් කර තිබේ. මෙරට මුහුදු වෙරළක සිදුවූ සිදුවීමක් බවට හැඟී යන අයුරින් මෙය මෙම සටහන පළ කර ඇතත් මූලික සටහන තුළ මෙය සිදු වූයේ, කිනම් මුහුදු වෙරළකදී ද යන්න සඳහන් කර නොමැත. මෙම පුවත සඳහා මූලාශ්‍රය BBC News බවට සඳහන් කරමින් වැඩි විස්තර සඳහා වන සබැඳියක් ද සහිතව මෙය පළ කර ඇත. එමෙන් ම මෙම සටහන ඇසගැටෙන අයෙකුට හිරු Tv ලාංඡනය දැක ගන්නට ලැබෙන බැවින් සහ ඡායාරූපවල සිටින පිරිමි ළමයින්ගේ පෙනුම අනුව බැලූබැල්මට ශ්‍රී ලංකාවේ සිදුවීමක් බවට හැඟී යයි.

මෙය තවදුරත් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරිනි.

ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම සටහනෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම සටහනේ BBC News මූලාශ්‍ර ලෙස සඳහන් කර ඇති බැවින් හා හිරු ටීවි සඳහන් කර ඇති බැවින් අප ප්‍රථමයෙන් ම අවුරුදු මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇත්දැයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවේ, මෙරට එවැනි සිදුවීමක් වූවනාම් විශේෂයෙන් ම අවුරුදු සමයේ මෙවැනි සිදුවීමක් වූවානම් එය මෙරට සියලු මාධ්‍ය ධාරා වල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය යුතු බැවිනි. නමුත් එවැනි කිසිදු පුවතක් ඉහත සඳහන් කළ මාධ්‍ය ධාරා මෙන් ම වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරාවක හෝ මෑතක වාර්තා කර නොතිබුණි.
අප මේ පිළිබඳව තව දුරටක් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ද, විමසීමක් කරනු ලැබුවා. ඔවුන් තහවුරු කළේ, මෑතකාලීනව ශ්‍රී ලංකාවෙන් මෙවැනි සිදුවීමක් වාර්තා නොවූ බවයි.
කෙසේ වෙතත් මෙම සටහනේ දක්වා ඇති සබැඳිය පරීක්ෂා කිරීමේදී එය වෙනත් වෙබ් පිටුවකට යොමු වන අතර එහි මෙම සිදුවීම ඉන්දියාවේ බිහාර් හි වූ සිදුවීමක් ලෙස දක්වා ඇති අතර එය සිදුවූ වර්ෂය සහ වැඩිදුර විස්තර සඳහන් නොවුණි. එමෙන් ම එම වෙබ් පිටුව තතුබෑම් හෝ අනිෂ්ට මෘදුකාංග ආශ්රිත අඩවියක් බව දැක ගන්නට ලැබේ.
මෙහි සත්‍ය තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප මෙහි ඡායාරූප Revers image සෙවුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා.
2018 වසරේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ සිදුවීමක්
මෙම උත්සව සමයේ ශ්‍රී ලංකාවේ වූ සිදුවීමක් බවට හැඟී යන අයුරින් සමාජ මාධ්‍යයෙහි පළ කර ඇති මෙම සිදුවීම කුමක් ද යන්න සිදු කළ පරීක්ෂාවේදී 2018 වසරේ අප්‍රේල් මාසයේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ සිදුවීමක් බවට තහවුරු විය. බිහාර් ප්‍රාන්තයේ ජෙහානාබාද් හි තරුණයින් 8 දෙනෙකු විසින් 14 හැවිරිදි දැරියක බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ඇඳුම් ඉරා දමන සිදුවීමක් අසල සිටි අයෙකු විසින් වීඩියෝගත කර ඇති බව 2018 වසරේදී ඉන්දීය මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබුණා.
Dailymail වෙබ් අඩවිය මෙම සිදුවීමට අදාළ වීඩියෝව ද සමගින් මෙය වාර්තා කර තිබූණේ, තරුණයින් 8 දෙනෙකු විසින් දහවල් කාලයේදී ප්‍රසිද්ධියේ දැරියකගේ ඇඳුම් ඉරා දමා ඇය ලිංගික අතවරයට ලක් කර ඇතැයි සඳහන් කරමිනි. දැරිය අදාළ පිරිසේ ග්රහණයෙන් මිදී පලා යාමට උත්සාහ කළ බවත් ඇය බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවත් පසුව මෙම සිදුවීමට අදාළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙබ් අඩවි සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.

dailymail.co.uk| Archived Link
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ මෙම සිදුවීම ඉන්දීය ඇතුළු අනෙකුත් මාධ්‍ය 2018 වසරේදී වාර්තා කර තිබූ ආකාරය මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසානනිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහ දවාලේ හැමෝම ඉදිරියේ කරදරයට ලක්වුණ 14 හැවිරිදි දැරිය – අට දෙනෙකු එකතු වී මුහුදු වෙරළේදී දැරියකගේ ඇඳුම් ඉරා දමමින් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි යන තේමාවෙන් පළ කර ඇති සටහනට අදාළ සිදුවීම ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සිදුවීමක් නොවන බවයි. එය 2018 වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ සිදුවීමකට අදාළ වීඩියෝවකින් උපුටා ගන්නා ලද ඡායාරූප කිහිපයක් යොදා ගනිමින් එය මෑතකලීනව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සිදුවීමක් බවට හැඟී යන අයුරින් පළ කරන ලද සටහනකි.


