දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෑත කාලීනව මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලයන 2.5 ක මුදලක් හැකවරයෙකුගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වී තිබූ සහකාර අධ්‍යක්ෂකවරයකුගේ මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණා. එසේම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතා 2025 වර්ෂයේදී ඝාතනයට ලක් වූ අතර මෙම සිදුවීම් දෙක අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කන්ටේනර් 323 පැමිණිලිකරු සහ ඩොලර් මිලියන 2.5 පැමිණිලිකරු අභිරහස් ලෙස මියගොස් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෑත කාලීනව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මිය යාම සහ 2025 වර්ෂයේ ඩෑන් ප්‍රියසාද්ගේ මියයාම සම්බන්ධයෙන් මෙම සමාජ මාධ්‍ය සටහන් පදනම් කර ගනිමින් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවයට නොලැබී හැකර්වරයෙකු සතු ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමකට බැරවී තිබුණු අතර, සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයේ ඊමේල් පද්ධතියට රිංගා, ගෙවීම් උපදෙස් වෙනස් කිරීම මගින් මෙම වංචාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ යටතේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර විදේශ ගමන් තහනමක් ද පනවන ලදී. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
මේ අතර, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂ මහතා ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී 2026 අප්‍රේල් 30 වන දින කුලියාපිටිය, වීරඹුගෙදර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල වැටී සිටියදී ඔහුගේ දියණිය විසින් සිරුර සොයාගෙන තිබුණා. ඔහු මෙම ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් අතරින් අයෙකි. ඔහුගෙන් CIDය තුන් වතාවක් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවා තිබුණි. 2026 අප්‍රේල් 30 වන දින උදෑසන රංග නිශාන්ත මහතාගේ බිරිඳ සේවයට ගොස් ඇති අතර, නිවසේ රැඳී සිට ඇත්තේ ඔහු සහ ඔහුගේ දියණියයි. මියගිය නිලධාරියා තමා ගෙවත්තට යන බව දියණියට පවසා ඇත. ඇය පවසා ඇති පරිදි, ඔහු නිවසින් පිටුපසට යන විට පිහියක් අතැතිව සිටිනු ඇය දැක තිබේ. ඔහු ගෙවත්තට ගොස් පැය කිහිපයක් ගත වුවද ආපසු නොපැමිණීම නිසා සැක සිතූ දියණිය පස්වරු 2:00ට පමණ ඔහු සොයා ගෙවත්තට ගොස් ඇත. එහිදී නිවස පිටුපස කෙසෙල් පඳුරක් අසල ලේ විලක් මැද ඔහු වැටී සිටිනු ඇය දැක තිබේ. දියණිය වහාම ඒ පිළිබඳව සිය මවට දැනුම් දී ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය දැනුවත් කර ඇත.
මරණය දිවි හානිකර ගැනීමක් බවට අධිකරණ වෛද්‍ය නිගමනය සහ පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කර ඇත
මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, සිරුරේ තිබූ කැපුම් තුවාල (පාදයේ සහ අතේ වූ තුවාල) ඔහු විසින්ම සිදු කරගත් ඒවා බවත්, අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවත් වෛද්‍යවරු නිගමනය කළහ. ඒ අනුව මෙම මරණය අභිරහස් ලෙස ඝාතනය කිරීමක් නොව සියදිවි හානිකර ගැනීමක් බවට අධිකරණ වෛද්‍ය නිගමනය සහ පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
ඩෑන් ප්‍රියසාද් සහ කන්ටේනර් සම්බන්ධ සිදුවීම
2025 ජනවාරි මස කොළඹ වරායෙන් පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් නිදහස් කර ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය. මෙම සිද්ධිය මුලින්ම ප්‍රසිද්ධියට පත් කළේ ඩෑන් ප්‍රියසාද් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ප්‍රකාශ කර ඇත. ඩෑන් ප්‍රියසාද් විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් කළ බවට තහවුරු කළ හැකි මූලාශ්‍ර නොමැති වුවද, නලින් සම්පත් කුමාර නැමති නීතිඥවරයෙකු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත. ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය විසින්ද CID වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එය සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් පරීක්ෂණ පවත්වන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, බහාලුම් නිදහස් කිරීමට නියෝග දුන් බවට සැකකෙරෙන රේගු උසස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මෙම ක්‍රියාවලියට අදාළ ලිපිලේඛන පරීක්ෂා කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙහෙයවනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යටතේ විමර්ශන දැනට ක්‍රියාත්මක වන අතර, එහි අවසන් වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැත. එය සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්
ඩෑන් ප්‍රියසාද් ඝාතනය
2025 අප්‍රේල් 22 වන දින රාත්‍රී 9:10ට පමණ කොළොන්නාව, සාලමුල්ලේ පිහිටි ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේදී මෙම වෙඩි තැබීම සිදු ව තිබූ අතර, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇත.
පපුවට සහ උරහිසට වෙඩි වැදී බරපතල තුවාල ලැබූ ඔහු, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2025 අප්‍රේල් 23 උදෑසන මියගියේය. විමර්ෂණ වලින් අනතුරුව ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘කුඩු ධනුෂ්ක’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කළ ත්‍රිරෝද රථයකට ඩෑන් ප්‍රියසාද් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, එහි පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි විය. මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්න් සහ මෙතනින්.
ඒ අනුව මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය ඔහුගේ දියණියගේ ප්‍රකාශය සහ මරණ පරීක්ෂණ වාර්තාව අනුව සියදිවි නසා ගැනීමක් බවට තහවුරු වන අතර, 2025 වසරේ ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවත් පැහැදිලි වනවා.
කෙසේ නමුත් ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සහ කන්ටේනර් 323 සම්බන්ධ හෙළිදරව් කිරීම අතර සම්බන්ධතාවයක් පවතී ද නැතිද යන්න සම්බන්ධයෙන් අපහට ස්වාධීනව කරුණු සත්‍යාපනය කළ නොහැකියි.
Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් භාණ්ඩාගාරයේ දූෂිත නිලධාරීන්ට සියදිවි නසා ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවත් වැඩ තහනමට ලක් වූ ඉතිරි නිලධාරීන් තිදෙනාත් දිවි නසා ගත්තාට පුදුම වන්නට එපා යනුවෙනුත් සඳහන් කර ඇති බවට දක්වමින් සටහනක් සමාජ ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිවී ඇති පසුබිමක ටිල්වින් සිල්වා මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවයට නොලැබී හැකර්වරයෙකු සතුවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂ මහතා ගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන්, ටිල්වින් සිල්වා මහතා මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණේද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා.
මෙවැනි ප්‍රකාශයක් ඔහු සිදු කර තිබුණේ නම්, ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ප්‍රමුඛ අවධානයකින් වාර්තාකර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් එවැනි වාර්තා කිරීම් ඇත්ද යන්න ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ පරීක්ෂා කළත් එවැන්නක් හමුවුණේ නැහැ.
ජාතික ජන බලවේගය
අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශයක් ටිල්වින් සිල්වා මහතා විසින් සිදුකර ඇත්ද යන්න විමසා සිටි අතර, එහිදී ඔවුන්ට සඳහන් කළේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ටිල්වින් සිල්වා මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ මෑතකදී සිදු වූ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මියයාම සහ 2025 වසරේ සිදු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ මිය යෑම අභිරහස් මරණ ලෙස දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. මෑතකදී මියගොස් සිටියදී සොයා ගත් මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ඔහුගේ දියණියගේ හෙළිදරව් කිරීමෙන් සහ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් හෙළිදරව් වන අතර, 2025 සිදුවූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ මිය යාම වෙඩි තැබීමකින් සිදු වූ ඝාතනයක් වන අතර, විමර්ශන වලින් ඔහුගේ ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හඳුනාගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය දියත් කර ඇති බවද තහවුරු වී ඇත. එසේම මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ජවිපේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහන්ද අසත්‍යයි.


