විදුලි පරිභෝජනය ගැන මතභේදාත්මක ප්‍රකාශය මෑතකදී සිදුකරන ලද්දක් නොවේ! 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පැරණි වීඩියෝ කොටස්, මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් සමාජය  නොමඟ යවන අයුරින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන අවස්ථා බහුලව දැක ගත හැකියි. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරියකු විසින් මීට වසර කිහිපයකට ඉහතදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, මෑතකාලීනව කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :

“පාඩම් කරන්න විදුලිය ඕනේ නෑ. කුප්පි ලාම්පුවක් ගන්න.මොකටද ඇඳුම් අයන් කරන්නේ ? ලිනන් අඳින්න..” යනුවෙන් අදාළ නිලධාරියා විසින් ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී සිදු කරන ලද ප්‍රකාශයක්, කෙටි වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook  

එම වීඩියෝව හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්.

අදාල ප්‍රකාශය මෑත කාලීනව සිදු කරන ලද්දක් ලෙස දක්වමින් මේ සම්බන්ධයෙන් සටහන්ද හුවමාරු වී තිබුණා.

Facebook  Facebook  Facebook  Facebook    

අදාළ ප්‍රකාශය මෑත කාලීනව සිදුකරන ලද්දක් ද ? එහි පසුබිම කුමක්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාල වීඩියෝව දෙරණ නාලිකාවේ විකාශය වූ සාකච්ඡාමය වැඩසටහනක් බව නිරීක්ෂණය කළ හැකි අතර, එහිදී වැඩසටහනේ ආරාධිතයා විසින් සමාජය තුළ ආන්දෝලනයක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන ආකාරය දැකගත හැකියි. ඔහුගේ ප්‍රකාශය තුළ ලංකා විදුලිබල මණ්ඩලය පාඩුව පියවා ගැනීම සඳහා විදුලි බිල වරින් වර වැඩි කළ යුතු ව තිබූ බවත්, එකවර වැඩි කිරීම නිසා ජනතාව කලබල වී ඇති බවත් ඔහු පවසනවා. 

වැඩි වූ විදුලි බිල ගෙවාගත නොහැකි නම්, ළමයින්ට පාඩම් කිරීමට, විදුලියම අවශ්‍ය නොවන බවත්, පැරණි කාලයේ මෙන් කුප්පි ලාම්පු දල්වාගෙන පාඩම් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා. විදුලි බිල දරා ගැනීමට නොහැකි වීම පවුලේ පියාගේ හෝ මුදල් උපයන පුද්ගලයාගේ දුර්වලතාවක් බවත්, ඔවුන් මහන්සි වී වැඩිපුර මුදල් සෙවිය යුතු බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටිනවා. 

අදාල සාකච්ඡාමය වැඩසටහන කුමන දිනයක සිදුකරන ලද්දක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.

2024 පෙබරවාරි 20 සිදු කළ සාකච්ඡාවක්

අප විසින් සිදුකළ පරීක්ෂාවේදී, හඳුනා ගැනීමට ලැබුණේ අදාළ වැඩසටහන 2024 පෙබරවාරි 20 දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විදුලි ගාස්තු සංශෝධනය සහ මෙරට බලශක්ති උත්පාදනය සම්බන්ධ වැඩසටහනක් බවයි. 

අදාළ වැඩසටහනේ එහි ආරාධිතයා වන්නේ, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වන අතර, ඔහු සාකච්ඡාව පවත්වන අවස්ථාව වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද තනතුරු දරා ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය මෑතකදී සිදු කරන ලද්දක් හෝ වත්මන් රජයේ පාලන සමය තුළ ප්‍රකාශ කරන ලද්දක් නොවන බවත් පැහැදිලි වේ.

අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින්

2022 වසරේ මෙරට ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි සහ ලංවිම පාඩු පියවා ගැනීම අරමුණු කරගෙන වරින් වර විදුලි බිල විශාල ලෙස ඉහළ දමා තිබුණා. විශේෂයෙන්ම 2023 ඔක්තෝබර් මාසයේදී ද විදුලි බිල 18% කින් ඉහළ නංවා තිබූ අතර එමඟින් සාමාන්‍ය ජනතාව, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් දැඩි පීඩනයකට ලක්ව සිටියා. ඉංජිනේරු ප්‍රියන්ත මහතා විසින් අදාළ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ එවැනි පසුබිමකදී ය.

එසේම නොයෙල් ප්‍රියන්ත මහතා 2024 පෙබරවාරි 22 වන දින සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබුණා. ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ ද මෙම රූපවාහිනී වැඩසටහනේ දී විදුලි පාරිභෝගිකයින් සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයයි. එම ප්‍රකාශය සමාජයේ දැඩි විවේචනයට ලක්වීමෙන් පසුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබුණා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑතකාලීන ප්‍රකාශයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන, විදුලි ගාස්තු සංශෝධනයන් සම්බන්ධයෙන් ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා විසින් අදහස් දක්වන වීඩියෝව, මෑතකදී සිදුකරන ලද ප්‍රකාශයක් නොවන බවයි. එය 2024 වසරේදී රූපවාහිනී වැඩසටහනකදී සිදු කරන ලද ප්‍රකාශයකි. එම ප්‍රකාශයත් සමග ඇති ඇතිවූ විරෝධය හේතුවෙන් 2024 වසරේදී ඒ මහතා විසින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබුණා.

Result Stamp

Title: විදුලි පරිභෝජනය ගැන මතභේදාත්මක ප්‍රකාශය මෑතකදී සිදුකරන ලද්දක් නොවේ!

Written By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *