දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෑතකදී ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන සමාජ මාධ්‍ය සටහන් මඟින් ප්‍රකාශ වන්නේ වත්මන් රජය විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සඳහා මහජන බදු මුදල් කොල්ලකමින් අලුතින් වෙඩි නොවදින (Bulletproof) සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට සූදානම් වන බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති සහ අගමැතිනියට වෙඩි වදින වාහන ආනයනය කිරීමක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර, එවැනි පුවතක් පළ වී නොමැති බව දැක ගන්නට ලැබිණි.
කැබිනට් තීරණ සහ ටෙන්ඩර් විස්තර
රජය විසින් මෙවැනි මිලදී ගැනීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩල අනුමැතියක් සහ විවෘත ප්‍රසම්පාදන (Tender) ක්‍රියාවලියක් පැවතිය යුතුය. මෑතකදී නිකුත් වූ සියලුම නිල රාජ්‍ය ලේඛන පරීක්ෂා කිරීමේදී එවැනි කිසිදු වාහන මිලදී ගැනීමක ටෙන්ඩර් විස්තරයක් හෝ කැබිනට් පත්‍රිකාවක් හමු නොවේ. කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමෙන් වත්මන් කැබිනට් තීරණ අතර එවැනි අනුමැතියක් නොමැති බව තහවුරු විය.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයට තමන්ට අවශ්‍ය පරිදි මහජන මුදල් වැය කර වාහන ආනයනය කළ නොහැකි බැන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රතිපාදන හෝ මුදල් නිදහස් කිරීමක් සිදු කළ යුතු බැවින් අප එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරියගෙන් මේ පිළිබඳ විමසූ අතර, ඇය තහවුරු කළේ, මෙම පුවත සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර සහ පදනම් විරහිත බවයි.
ජනාධිපති සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ
ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් ද, අප ඉහත සටහන්වල සත්‍ය අසත්‍යතාවය විමසා සිටි අතර, ඔවුන් තහවුරු කළේ මෙය මෙය ව්‍යාජ තොරතුරක් බවයි. එවැනි තීරණයක් හෝ ගෙන නොමැති බවයි.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය
පසුගිය කාලසීමාවේ රජය විසින් සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා වෙන්දේසි කිරීම සහ රාජ්‍ය ආයතන සතු අධික නඩත්තු පිරිවැයක් සහිත V8 වැනි සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර රාජ්‍ය වියදම් සීමා කිරීමයි. එසේම මැදපෙරදිග පවත්නා තත්ත්වය හේතුවෙන් රජය විසින් වාහන ආනයන සඳහා 50% ක තාවකාලික රේගු බදු අධිභාරයක් (Surcharge) පනවා ඇති පසුබිමක, රජය විසින් නව වාහන ආනයනයක් සිදුකර නොමැත.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පොදු වාහන ආනයන සීමාවන් ලිහිල් කර සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට වාහන ගෙන්වීමට අවස්ථාව සලසා දුන්නද, රාජ්‍ය නායකයින් වෙනුවෙන් විශේෂිත සුඛෝපභෝගී හෝ වෙඩි නොවදින වාහන ඇණවුම් කිරීමක් හෝ එවැන්නක් කර පසුව අවලංගු කිරීමක් සිදුකර නොමැත.
පසුගිය 2026 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට මන්ත්‍රීවරුන් සඳහා ද, කිසිදු තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් නොකරන බවයි. මන්ත්‍රීවරුන්ට වාහනවල පෞද්ගලික අයිතිය පැවරීම වෙනුවට, ඔවුන්ගේ ධාවන අවශ්‍යතා සඳහා රජය සතු වාහන ඔවුන්ගේ මන්ත්‍රී ධුර කාලය පවතින තෙක් පමණක් පරිහරණයට ලබාදීමට තීරණය කර ඇත. මන්ත්‍රී ධුරය අවසන් වූ පසු එම වාහන නැවත රජයට භාරදිය යුතුව තිබේ.
මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට මින් ඉදිරියට V8, Montero වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බවත්, ඒ වෙනුවට ඉන්ධන පිරිමැසුම්දායක වාහන සහ රාජ්‍ය ආයතනවල ද ඉතිරි වන ඩබල් කැබ් රථ වෙන් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබුණා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින වාහන ආපසු භාරදීම
එසේම වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ පසුගිය කාලයේ සිදු වූයේ අලුතින් වාහන ගෙන්වීම වෙනුවට, හිටපු රාජ්‍ය නායකයින් පරිහරණය කළ වෙඩි නොවදින වාහන සහ ආරක්ෂක රථ නැවත රජයට පවරා ගැනීමයි. උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ වෙඩි නොවදින වාහනයද රජයේ වියදම් කපා හැරීමේ ප්‍රතිපත්තිය මත නැවත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලදී.
ජනාධිපතිවරයාගේ වාහන භාවිතය
අනුර කුමාර දිසානාය මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු රාජ්‍ය ආරක්ෂක අංශවල නිර්දේශය මත ඔහුට රජය සතු පැරණි ආරක්ෂිත වෙඩි නොවදින වාහනයක් වෙන් කර තිබුණා.
අග්‍රාමාත්‍යවරියගේ වාහන භාවිතය
අගමැතිනි හරිනි අමරසූරිය විසින් තමන්ට හිමි අධික නඩත්තු පිරිවැයක් සහිත වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන භාවිත කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇය සාමාන්‍ය ආරක්ෂිත වාහනයක් භාවිත කිරීම නිසා රජයට සහ මහජනතාවට රුපියල් ලක්ෂ 370 ක මුදලක් ඉතිරි වී ඇති බව මීට පෙර වාර්තා වී තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඉහත කරුණු අනුව, ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් වෙඩි නොවදින වාහන ආනයනය කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයන් වේ. මුදල් අමාත්‍යාංශය, ජනාධිපති සහ අගමැති මාධ්‍ය අංශ මෙම සටහන් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි ආනයනයක් සිදුවන බවට කිසිදු නිල කැබිනට් තීරණයක් හෝ ප්‍රසම්පාදන ලේඛනයක් ද, නොමැත.


