
2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වූ අතර එහිදී කිසිවෙකුටත් පදක්කමක් ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. ජිම්නාස්ටික් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ මිල්කා ගිම්හානිගේ දක්ෂතාවය පිළිබඳ පළවී තිබූ සටහන් සම්බන්ධයෙන් අපගේ කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන්:
ටෝකියෝ ඔලිම්පික් උලළේ ජිම්නාස්ටික් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ මිල්කා ගෙහානි නම් ක්‍රීඩිකාව එහිදී ප්‍රසාද ලකුණු 45.798ක් ලබා ගනිමින් 28 වෙනි ස්ථානය ලබා ගත් බව ඉන්ස්ටග්‍රම් සටහනක් හරහා දක්වා තිබුනේ පහත පරිදියි.

මේ ආකාරයටම “ප්‍රසාද ලකුණු 45.798 ක් සමග 28 වෙනි ස්ථානය ලබාගත් ඇය ඔලිම්පික් ජිම්නාස්ටික් තරග සදහා ශ්‍රී ලංකාව නියෝජනය කල පළමු හා එකම ක්‍රීඩිකාවයි” යන තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ ද සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබුණා.

මෙම සටහන් වලින් දක්වා තිබු පරිදි ඔලිම්පික් ජිම්නාස්ටික් තරඟ සඳහා ප්‍රථම වරට ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, මිල්කා විසින් 28 වෙනි ස්ථානය ලබා ගත්තේ නම් එය ද යම්කිසි ජයග්‍රහණයක් බැවින් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මිල්කාගේ දස්කම් පිළිබඳව තොරතුරු බලා ගැනීම සඳහා මෙරට ප්‍රධාන මාධ්‍ය මෙන්ම ඔලිම්පික් තරඟ තොරතුරු වාර්තා කළ Thepapare.com විසින් මේ සම්බන්ධයෙන් කරණු වාර්තා කර තිබූ අයුරු පරීක්ෂා කර බැලුවා.
රිද්මයානුකූල ජිම්නාස්ටික් තරඟයේ අනු කොටස් කිහිපයක් ඇති බවත් ඒවායේ ලබාගන්නා ලකුණු මත අවසන් වට සඳහා ක්‍රීඩිකාවන් 24 දෙනෙක් සුදුසුකම් ලබාගන්නා බවත් 18 හැවිරිදි මිල්කා ගෙහානි ශ්‍රී ලංකික ක්‍රීඩිකාව මෙහිදී සුදුසුමක් ලබාගන්නා වටයේ දී 78 වන ස්ථානයට පත් වූ බවත් එහි වාර්තා කර තිබුනේ මෙලෙසින්.

කෙසේ නමුත් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මූලික වටයේ තරගයෙන් ලකුණු 45.798 ක් ලබා ගනිමින් මිල්කා මුලික වටයේ දී 28 ස්ථානය දිනා ගත් බව newsfirst.lk වෙබ් අඩවිය දක්වා තිබුණා.

මේ හේතුවෙන් මේ පිළිබඳ නිල තොරතුරු පරීක්ෂා කිරීමට අප Olympic නිල වෙබ් අඩවිය වෙත පිවිසියා. එහිදී ද අපට දැක ගන්නට ලැබුනේ ද සුදුසුකම් ලැබීමේ වටයේ දී මිල්කා ට හිමිවී තිබුනේ සියලුම තරඟකාරියන් අතරින් 78 වන ස්ථානය බවයි.

එසේම මෙහි අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් ගේ නම් ඉදිරියෙන් Q ලකුණ දක්වා ඇති අතර ඉහළම ලකුණු ලබාගත් ඇතැම් ක්‍රීඩිකාවන් ට ද අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වී තිබෙන්නේ එක් රටකින් අවසන් වටය සඳහා නියෝජනය කළ හැක්කේ ක්‍රීඩිකාවන් දෙපළකට පමණක් බැවිනි.
මෙසේ අවසන් වටයට තේරුනු තරඟකාරියන් 24 දෙනාගේ ප්‍රතිඵල ඔලිම්පික් වෙබ් අඩවියේ දක්වා තිබුනේ මෙලෙසින්.
එසේම සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබූ පරිදි මිල්කා ලංකාවෙන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම කාන්තාව ද යන්න අප ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කර සිටියේ ද පිරිමි හෝ කාන්තා කිනම් හෝ ජිම්නාස්ටික් තරඟයක් සඳහා ලංකාවෙන් සුදුසුකම් ලැබූ ක්‍රීඩක හෝ ක්‍රීඩිකාවක් මීට පෙර නොවූ බවයි.
මිල්කා ලංකාවෙන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ක්‍රීඩිකාව බව දක්වමින් ඇය තරඟ වැදුණු අවස්ථාවේ දර්ශන ද සහිත වීඩියෝවක් පහතින්.
ඒ අනුව මිල්කා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලැබූ ප්‍රථම ක්‍රීඩිකාව බව සත්‍යක් නමුත් එහිදී ඇය පෙන්වූ දක්ෂතාව මත ඇයට ලබා ගැනීමට හැකි වූයේ 78 වන ස්ථානයයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ලකුණු 45.798ක් සමග මිල්කා ගෙහානි ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඇයගේ ඉසව්වෙන් 28 වෙනි ස්ථානයට පත්ව ඇති බවට පැවසෙන්නේ අසත්‍ය පුවතක් බවයි. ඇය පෙන්වා තිබෙන දක්ෂතාව මත හිමිවී තිබෙන්නේ 78 වන ස්ථානයයි. කෙසේ නමුත් යෞවන ක්‍රීඩිකා මිල්කා ගෙහානි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිම්නාස්ටික් ඉසව්වක් සඳහා ඔලිම්පික් වරම් ලැබූ ප්‍රථම ක්‍රීඩිකාවයි.
FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

Title:මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?
Fact Check By: Sara GunaratneResult: Misleading
