ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

හිටපු නායකයෙකු ද වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනකින් අදහස් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර ආර්ථික ගැටළු නිසා සහ ශ්‍රී ලංකාවේ අනාගතයේ පවත්වන ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීම සදහා ආධාරයක් ලෙස බංගාලාදේශ ක්‍රීකකයන්ට ලැබෙන තරඟ ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රධානයක් ලෙස ලබාදීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇති බවයි.

“යෝධ හැගීම් දියවෙලා යනවා වගේ…මුශ්පිකර්…තෑන්ක් යූ මචං..වෙන මොනවා කියන්නද …” තේමාවෙන් හුවමාරු වී තිබු එවැනි එක් සටහනක් දහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මෙය සත්‍ය සටහනක් ලෙස උපකල්පනය කරමින් මෙවන් තත්වයකට පත්වීමට ලංකාවට සිදුවීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයින් දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මේ අයුරින්.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම සොයා බැලුවේ මුෂ්ෆිකර් රහීම් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් හෝ ඔහුගේ නිල සමාජ ජාලා ගිණුම් හරහා සදහනක් කර තිබේද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට එවැනි සදහනක් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ඉන් අනතුරුව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද විමසා බැලුවේ මේ ආකාරයේ ආධාර මුදලක් ලංකාවට ලබාදීමට යෝජනා වී තිබුණේ දැයි යන්න පිළිබඳවයි. එහි මාධ්‍ය කළමනාකාර ප්‍රසන්න රොද්‍රිගෝ මහතා අප සමඟ පැවසුවේ එවැනි යමක් සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයන් කිසිඳු ආකාරයක නිල දැනුම්දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු කර නොමැති බවයි. එමෙන්ම සමාජ ජාලාවල පළවන මූලාශ්‍රයක් නොමැති සටහන් හැරුණු කොට බංගලාදේශ ක්‍රීඩකයින් කිසිවකු හෝ එහි පාලනාධිකාරිය තම නිළ සමාජ ජාලා ගිණුම් වල හෝ එවැනි යමක් ප්‍රකාශ කර නොමැති බවත් ඔහු පැවසුවා.

බංගලාදේශ මාධ්‍යවේදීන්

අප මේ සම්බන්ධයෙන් චැනල් 24 නම් බංගලාදේශ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන Morshed Hassib ගෙන් සහ ජමුනා නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන බංගලාදේශ මාධ්‍යවේදියෙක් වන Mahfuz Mishu හරහා ද බංගලාදේශ ක්‍රිකට් ආයතනය/ක්‍රීඩකයින් මේ ආකාරයේ සිය තරඟ මුදලින් කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආධාර ලෙස ලබාදීමට සූදානම් වන්නේද යන කරුණ පිළිබදවද විමසා බැලුවා.

බංගලාදේශ ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් හරහා මේ පිළිබදව කරුණු විමසා බැලූ ඔවුන් තහවුරු කර සිටියේ ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම පුවත් අසත්‍ය බවත්, මුෂ්ෆිකර් රහීම් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

අප බංගලාදේශ ක්‍රිකට් ආයතනයයෙන් ද මේ පිලිබඳ විමසීමක් සිදුකළ අතර ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ මුෂ්ෆිකර් රහීම් නම් බංගලාදේශ ක්‍රීඩකයා විසින් බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට  ලැබෙන තරග මුදල්වලින් 20%ක්, ආර්ථික අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාව උදෙසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන බවට පවසා නොමැති අතර සැබැවින්ම එවැනි තීරණයක් පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මඟින් ද දැනුම්දීමක් සිදු කර නොමැති බවයි. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම බංගලාදේශ ජනමාධ්‍යවේදින් ද තහවුරු කර සිටිනවා.

Also Read:

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

Avatar

Title:උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

Fact Check By: Kalana Krishantha

Result: False