නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here

ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නොවැම්බර් 14 සිය අයවැය කතාවේ දී පවසා සිටියා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පෙර සිටම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ දිගින් දිගටම පැවසුවේ ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීතිගත කලයුතු බවයි.

මෙවන් පසුබිමක මෙම අදහසට පක්ෂව සහ විපක්ෂව මත රැසක් ඉදිරිපත් වී තිබු අතර ගංජා වගාව නීතිගත කල යුතු බවට අදහස් ඉදිරිපත් කිරීමත් සමගම ගංජා ශාඛයේ පරිසරයට සහ මිනිසාට හිතකර ලක්ෂණ බව සදහන් කරමින් විවිධ සමාජ ජාලා සටහන් පැතිරුණා. FactCrescendo කණ්ඩායම ඒ පිලිබදව කල කරුණු විමසීමේදී තහවුරු වුවේ එම සමාජ ජාලා සටහන්වල යම් සත්‍යතාවක් තිබුණ ද ඇතැම් කරුණු අතිශයෝකතියකින් පළවූ නොමගයවන සුලු ඒවා බවයි.

ගංජා හෙක්ටයාරයකින් වනාන්තර හෙක්ටයාර 25ක් තරම් ඔක්සිජන් නිකුත් කරන බව ඉන් එක් කරුණක් වූ අතර මෙම මතය තහවුරු කිරීම ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැත. අප කවුරුත් දන්නා පරිදි ශාකවලින් ඔක්සිජන් වායුව පිටවන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ (photosynthesis) අතුරු ඵලයක් ලෙසයි.

පෘථිවියේ ඇති ශාක විශේෂ බොහොමයක් C3 ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය යොදාගනී. කෙසේවතත් බඩ ඉරිඟු, උක් වර්ග ඇතුළු තෘණ වර්ග රැසක් මෙන්ම කංසා ද C4 ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය යොදා ගැනීම මඟින් සාපේක්ෂව වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවක් තිබෙනවා.

එසේම වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කිරීමේ හැකියාව, කෙටි කාලයක දී කංසා අස්වැන්න ලබාගැනීම වැනි කාරණා ඔස්සේ ද වැඩි ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් Cannabis sativa යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගංජා ශාකයේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පිලිබදව විශ්ලේෂණය කරන පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කල අපට පැහැදිලි වුවේ වනාන්තර හෙක්ටයාර 25 කින් පිටකරන ඔක්සිජන් ප්‍රමාණයට සමාන ඔක්සිජන් ප්‍රමාණයක් පිටකිරීමට කංසා හෙක්ටයාර එකකට හැකි බව අතිශයෝක්තියක් වන බවයි.

එසේම ගංජා හෙක්ටයාරයකින්, වනාන්තර හෙක්ටයාර 4කට සමාන කඩදාසි ප්‍රමාණයක් සාදාගත හැකි බවට සදහන් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ පිළිබඳව සොයා බැලූ අපට පැහැදිලිවූ කාරණය නම්, මෙම මතවාදය මීට සියවසකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන ලද පර්යේෂණයක් පාදක කරගනිමින් ගොඩනැගී ඇති බවයි. කෙසේ නමුත් නූතන තාක්ෂණික ක්‍රම ඔස්සේ කඩදාසි නිෂ්පාදනය සඳහා සිදුකරන වන වගා ව්‍යපෘති මගින් පැහැදිලිවම කංසා වගාවෙන් නිපදවිය හැකි කඩදාසි ප්‍රමාණය අභිබවන බව දැකගනන්ට පුළුවන්.

එසේම එම සටහන්හි දැක්වූ පරිදි වෛද්‍යමය අරමුණු සඳහා නිෂ්පාදනය කරන ගංජා ඔස්සේ නිපදවන කැනබිනොයිඩ යොදාගනිමින් සිදුකරන ලද පර්යේෂණ රැසක දී සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති අතර ඒ පිලිබඳ වැඩිදුර අධ්‍යයන සිදුවෙනවා. කෙසේ නමුත් ගංජා භාවිතය නිසා හටගන්නා සෞඛ්‍යයට අහිතකර ලක්ෂණද බොහොමයක් පවතින අතර වෛද්‍ය උපදෙස් නොමැතිව පරිභෝජනය කිරීම මඟින් ඒ සඳහා ඇබ්බැහි වූ අවස්ථා ද වාර්තා වෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද? Full Story here

කොරියානු ජාතිකයෙකු කොටුව දුම්රිය ස්ථානයේදී, ගාල්ලට දුම්රිය ටිකට් පතක් මිලට ගත් අවස්ථාවේදී, ටිකට් කවුන්ටරයෙන් ඔහුට වැඩි මිලකට ටිකට්පතක් අලෙවි කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ FactCrescendo අප කළ කරුණු විමසීමක් සිදුකළා. එහිදී අපට අනාවරණය වුයේ එම සමාජ ජාලා සටහන් නොමඟ යවන සුළු බවයි.

අප ප්‍රථමයෙන්ම කොළඹ කොටුව සිට ගාල්ල දුම්රිය ස්ථානය සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල විමසා බැලීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියේ සඳහන් මිල ගණන් පරීක්ෂා කළා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, දුම්රිය මැදිරියේ 3වන පංතියේ (3rd Class) මිල රු. 240ක් බවත්, 2වන පංතියේ (2nd Class) මිල රු.500 ක් බවත්ය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් එම කොරියානු ජාතිකයා සිය යූ ටියුබ් නාලිකාවේද ඔහු ලංකාවට පැමිණ සංචාරයේ නිරත වූ සම්පූර්ණ වීඩියෝව ම පළ කර තිබූ අතර එහිදී ද, ඔහු විසින් ලබා ගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයේ පැහැදිලිව දක්නට ලැබෙන්නේ එය දෙවන පන්තියට අයත් ටිකට් පතක් බවයි. එහි ගාස්තුව රු.240ක් ලෙස මුද්‍රණය වී තිබෙනුද ද, දක්නට ලැබෙන අතර එම අගය පෑනකින් කපා දමා රු. 500 ලෙස එහි වටිනාකම අතින් ලියා තිබෙනු දැකගනන්ට ලැබෙනවා.

එම දුම්රිය ප්‍රවේශ පත්‍රයේ මිල තහවුරු කර ගැනීම සඳහා අප දුම්රිය ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන දුම්රිය පාලක කේ.කේ.එන්.කේ නයනකාන්තගෙන් විමසීමක් කළා. ඔහු තහවුරු කළේ, කොළඹ කොටුව සිට ගාල්ල දක්වා නව සංශෝධිත මිල වන්නේ, 3වන පංතිය(3rd Class) සඳහා මිල රු. 240ක් වන අතර, 2වන පංතිය සඳහා (2nd Class) මිල රු.500 ක් බවත්ය.

කොළඹ කොටුව, දුම්රිය ස්ථානාධිකාරී බී.ආර්. විජේතිලකගෙන් මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගිය ජූලි 23 වන දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ බවත්, ඒ අනුව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා නව සංශෝධිත මිල වන්නේ, 3වන පංතිය සඳහා මිල රු. 240ක් බවත්, 2වන පංතිය සඳහා මිල රු.500 ක් බවයි. කොරියානු ජාතිකයා 2වන මැදිරියේ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන තිබු බැවින් එහි නව සංශෝධිත මිල රු.500 නිවැරදි බවත් කොටුව, දුම්රිය ස්ථානාධිකාරී තහවුරු කළා.

නමුත් මෙහිදී විදේශිකයා මෙන්ම මෙම වීඩියෝව නැරඹු බොහෝ දෙනා ද ප්‍රශ්න කර තිබුනේ පැරණි ටිකට් පතක මිල පෑනකින් කපා නව මිල සඳහන් කිරීම පිළිබඳවයි. යාවත්කාලීන නොවූ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් ද, අප විමසීමක් සිදු කළ අතර කොටුව, දුම්රිය ස්ථානාධිකාරී සඳහන් කළේ, මෑතක සිදු වූ දුම්රිය ගාස්තු සංශෝධනයෙන් පසුව පැරණි මිල යටතේ මුද්‍රණය කර ඇති දුම්රි ප්‍රවේශ පත්‍ර තොග අවසන් වන තෙක් ඒවා භාවිත කරන බවත්, මුද්‍රණ සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති හෙයින් ද, මුද්‍රණය කර ඇති පැරණි ප්‍රවේශ පත්‍ර නව සංශෝධිත මිල යටතේ, ලබා දීමට කටයුතු කර තිබු බවත්, ඒ ඔස්සේ මෙම ප්‍රශ්නගත තත්වය නිර්මාණය වී තිබු බවයි.

එමෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් කළ කවුන්ටරයේ සිටි නිලධාරියා විසින් විදේශිකයා විමසා සිටියේ මීළඟ දුම්රිය තිබෙන වේලාව බව වරදවා වටහාගෙන ඒ සඳහා පිළිතුරු ලෙස දහවල් 02.40 ලෙස පවසා ඇති බවත්, ඒ ඔස්සේ මෙම නොමග යෑම සිදුවූ බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. ඇත්ත වශයෙන්ම කොළඹ කොටුවේ සිට ගාල්ලට ප.ව.2.40 ට දුම්රිය ක් ද ක්‍රියාත්මක වන බව අපට දැකගනන්ට ලැබුණු අතර දෙවන පන්තියේ බව මිල රු. 500 බව ගාල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය මඟින් ද අපට තහවුරු කළා.

හදිසියේ රෝගීවූ භික්ෂුවකට තවත් භික්ෂුවක් විසින් ප්‍රථමාධාර දෙන අවස්ථාවක් ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත කතාව! Full Story here

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහනක් ඔස්සේ විවිධ නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු වූ සටහන් පෙළක් පිළිබඳව Fact Crescendo අප කරුණු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

“දෙදෙනෙකු එක මඟ නොයන්න” ලෙස බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ප්‍රකාශයක් දක්වමින් ඡායාරූප දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම ඡායාරූප හේතුවෙන් පිණ්ඩපාතේ වැඩිය බෞද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර සිදුවූ යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් හෝ ආරවුලක් බවට මෙන්ම හදිසියේ රෝගීවූ භික්ෂුවකට තවත් භික්ෂුවක් විසින් ප්‍රථමාධාර දෙන අවස්ථාවක් ලෙසත් පළවූ සටහන් පිළිබඳව බොහෝ දෙනෙක් විමසා තිබුණා.

මියන්මාරයේ සිදු වුන සිදුවිමක් බවත් භික්ෂූන් දෙනමක් පිංඩපාතයේ වඩින අතර එක භික්ෂූවක් මීමැස්මොරය (ෆිට්) එක හැදී වැටුණු අවස්තාවක දී එය දැකපු අනිත් භික්ෂුව, රෝගී භික්ෂූවට ප්‍රථමාධාර දෙන්න ගත් බවත් එය යම්කිසි පුද්ගලයෙකු රූ ගත කොට සමාජ මාධ්‍යට හළ බවත් එම සටහනින් දැක්වෙනවා. තව ද එසේ රූ ගත කල පුද්ගලයට රජයෙන් විශේෂ සම්මානයක් වගේම රෝගී භික්ෂුවට උපකාර කළ භික්ෂූන් වහන්සේටත් වීර භික්ඛු ලෙස සම්මානයකට පාත්‍ර වූ බවත් තවදුරටත් දැක්වුණා.

මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූප ඔස්සේ මෙම සිදුවීමේ වැඩිදුර විස්තර ලබා ගැනීමට අපට හැකිවුණා. මෙය 2017 වර්ෂයේ මියන්මාරයේ, Mandalay ප්‍රදේශයේදී භික්ෂූන් දෙදෙනෙක් අතර සිදුවූ ගැටුමක් බවත්, එම අවස්ථාවේ ඡායාරූපය ගත් පුද්ගලයා වන Sein Chit Thu නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙම ඡායාරූපය පළ කරමින් එදින උදෑසන දක්නට ලැබුණු මෙම දර්ශනය පිළිබඳ ලැජ්ජාවට පත් වන බවටත් සඳහන් කර ඇති බවට මියන්මාරයේ ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් සඳහන් කර තිබෙන බව අපට දැකගන්නට ලැබුණා.

එමෙන්ම මෙම අවස්ථාව භික්ෂුවක් හදිසි අනතුරකට පත් වූ අවස්ථාවක් විය හැකි බවට බොහෝ දෙනා පැවසූවත්, එම ඡායාරූපය ගනු ලැබූ Sein Chit Thu පැහැදිලිවම පවසා ඇත්තේ මෙය අනතුරක් නොව ගැටුමක් ඇති වූ බවට තමන්ට තහවුරු කළ හැකි බවයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප Fact crescendo මියන්මාර කණ්ඩායමෙන් විමසීමක් කළ අතර ඔවුන් ද තහවුරු කළේ, භික්ෂුන් වහන්සේ නමකට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් උපකාර කර භික්ෂුන් වහන්සේ නමට වීර භික්ඛු ලෙස සම්මානයට පාත්‍ර කළ බවට හෝ ඒ රූ ගත කල පුද්ගලයාට රජයෙන් විශේෂ සම්මානයක් ලබා දුන් බවට පුවතක් වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබඳව පිළිගත හැකි සත්‍ය මූලාශ්‍ර නොමැති බවයි. එසේම භික්ෂූන් දෙදෙනා ගැටුමක් ඇති කර ගත් අවස්ථාවක් බවට මියන්මාරයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවක් පෙන්වා දී ඇති බවට ඔවුන් තහවුරු කළා.

දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා මුළු ලෝකයම අඳුරේ බවට NASA ආයතනයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ! Full Story

ලෝකප්‍රකට NASA ආයනතනය සහ එහි සිටින ප්‍රධාන පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, “දවස් 6 ක් ලෝකයම අදුරේ .” ලෙස සදහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප Factcrescendo කළ කරුණු පරීක්ෂාවේදී තහවුරු වුයේ එම පොස්ට් කාලයක් පුරාවට හුවමාරු වන ව්‍යාජ සටහන් බවයි.

මීට වසර 10කටත් පෙර, එනම් 2012 වසරේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පණිවිඩය හුවමාරු ව්‍යාජ සහ අසත්‍ය බවට නාසා වෙබ් අඩවිය මගින් පැණ හා පිළිතුරු (Q & A) කොටසේ පැහැදිලි කරමින් පවසන්නේ, නාසා හෝ වෙනත් කිසිදු විද්‍යාත්මක සංවිධානයක් එවැනි අන්ධකාරයක් පිළිබඳ පුරෝකථනය කර නොමැති බවයි.

“WikiLeaks Alien Interview – Death Does Not Exist” (විකිලීක්ස් පිටසක්වල සම්මුඛ සාකච්ඡාව – මරණය නොපවතියි) වැනි අසත්‍ය කථා වලින් කරුණු උපුටා ගත් වෙබ් අඩවියක් වන Daily Buzz Live විසින් 2020 වසරේ නොවැම්බර් 30 වන දා යූටියුබ් වෙත එක් කළ අසත්‍ය වීඩියෝවක් හේතුවෙන් මෙවැනි අසත්‍ය සටහන් පසුගිය වසර කිහිපයේද අන්තර්ජාලය තුළ ඉස්මතුව තිබෙන බව අනුමාන කිරීමට පුළුවන්.

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ? Full Story

ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය යුතු බවත් යන මතවාදීමය අරගලයක් ගුරුවරියන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරමින්, ඒ ආකාරයට වෙනත් ඇඳුමින් සැරසී පාසලට පැමිණ, ඒ පිලිබඳ ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමයි.

පසුගිය සඳුදා (නොවැම්බර් 21) ක්‍රියාත්මක වූ මෙම මතවාදී අරගලයේ ප්‍රමුඛතාවක් ගත් ෂැල්වින් නමැති ගුරුවරියක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දියණිය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප FactCrescendo කණ්ඩායම මගින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ එම සටහන් උපහාසාත්මක කෝණයෙන් පළකරන ලද අසත්‍ය සටහන් පමණක් බවයි.

තිලිණි ෂැල්වින් නමින් දැක්වෙන කාන්තාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දියණියක් හෝ යම් පවුල් සම්බන්ධත්වයක් ඔහු සමග ඇතිද යන්න සොයා බැලුවා. එහිදී අපට එවැනි කිසිඳු සඳහනක් දක්නට ලැබුනේ නැහැ. අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබදව විමසා බැලු අතර ඔවුන් පැවසුවේ ද මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ලෙස නිර්මාණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක් බවයි.

මුහුණු පොත හරහා කවි පන්ති පළකිරීමට ඇලුම්කරන තිලිණි, මහනුවර මහාමායා විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියකින් සමත් වී, පසුව ගුරු වෘත්තියට ඇතුළුවෙනවා. දුෂ්කර පාසලක් වන උඩුදුම්බර, කහටලියද්ද චූලාභය ද්විතීයය පාසලේ ඉගැන්වීමේ කටයුතු කරන අතරේ ඇයගෙ ජිවිතයේ ඉතා වැදගත්ම සිදුවීමක් සිදුවෙනවා. ඒ සිය පාසලේ දරුවන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා අවශ්‍ය ජලනල පද්ධතියක් පාසල තුළ ස්ථාපිත කිරීම සහ එහි දරුවන්ට අවශ්‍ය අනෙකුත් බොහෝ උදවු උපකාර කිරීම නිසා, 2016 වසරේදී දෙරණ ටී. වී. ශ්‍රී ලන්කන් ඔෆ් ද ඉයර් 2016 සම්මානය, තිලිණි ෂැල්වින්ට හිමිවීමයි. මෙම ව්‍යාපෘති සිදුකිරීම සදහා ද ඇය බහුලව සමාජ මාධ්‍ය යොදාගෙන තිබුණා.

ලිබර්ටි වටරවුමේ විරෝධතාවයක යෙදෙන පොලිස් නිලධාරීන් ලෙස හුවමාරු වන, ඡායාරුප සංස්කරණයක්! Full Story

පොලිස් නිලධාරින් හා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලා හරහා පසුගිය කාලය පුරාවටම පැතිරුණා. එම සමහර සටහන් පොලිසිය හා සම්බන්ධව ධනාත්මක ඒවා වූ අතර සමහරක් සමාජ ජාලා සටහන් දැඩිලෙස විවේචනාත්මක ඒවායි. මේ අතර විරෝධතා පුවරු සහිතව ලිබර්ටි වටරවුමේ උද්ඝෝෂණයක යෙදෙන පොලිස් නිලධාරින් පිරිසකගේ ඡායාරූප සටහනක් ද හුවමාරු වුණා.

කෙසේ වෙතත් අපට තහවුරු වුයේ එම සේයාරුව සංස්කරණය කළ සේයාරුවක් බවයි.

මෙහි මුල් සේයාරුව පිලිබදව අවධානය යොමුකළ FactCrescendo අප කණ්ඩායමට දක්නට ලැබුණේ එම ඡායාරූපය ලබාගෙන තිබුනේ මීට දින කිහිපයකට පෙර (නොවැම්බර් 17) ලිබර්ටි වටරවුම ආශ්‍රිතව දිනපතා පැවැත්වෙන විරෝධතාවයන් අවහිර කිරීම සදහා පොලිස් නිලධාරින් කණ්ඩායමක් ලිබර්ටි වටරවුමට ගිය අවස්ථාවේදී බවයි. සත්‍ය ඡායාරූපයේ පොලිස් නිලධාරීන් අත විරෝධතා පුවරු දක්නට ලැබුනේ නැහැ.

මෙම සටහන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් මුලින් පළකර තිබුනේ උපහාසාත්මකව සිදුකළ සංස්කරණයක් බව සඳහන් කරමින්. නමුත් පසුව එම තොරතුරු සඳහන් නොකරමින්, පොලිස් නිලධාරීන් පිරිසක් සටන් පාඨ අතැතිව සිටින පුවරු සමඟ දැක්වෙන ඡායාරුපය පමණක් ඇතැම් පිරිස් මඟින් හුවමාරු කරගැනීමෙන්, බොහෝ දෙනෙක් නොමඟ ගොස් තිබුණා.


සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.