Update :

සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මත්පැන් සහ බීර මිල පහත දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සති කිහිපයක් තිස්සේ වරින් වර පළ වූවා. මේ අතර ලබන ජූනි සම සිට මත්පැන් මිල පහත දැමීම සම්බන්ධයෙන් රජයෙන් තීරණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයන් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෙම මාසයේදී(මැයි මස මුල සිටම) සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වූයේ ලබන ජූනි මස සිට මත්පැන් මිල පහළ බසිනු ඇති බවටයි.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව සටහන් බහුල ව සංසරණය වීම හේතුවෙන් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

මෙරට ආර්ථික අර්බුදය හා උද්ධමනය හේතුවෙන් මත්පැන් සහ බීර මිල ගණන් ද පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයක දී ඉහළ දැමීමට කටයුතු කර තිබුණි.

ඉහළ ගිය මිල ගණන් යටතේ මත්පැන් හා බීර අලෙවිය විශාල ලෙස පහළ ගොස් තිබූ අතර මත්පැන් පරිභෝජනය අඩු වී තිබෙන හෙයින් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇති බබවත් වාර්තා වුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ මුදල් අමාත්‍යාංශයට නිරීක්ෂණ ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇති බවත්, නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දී ඇති බවත්, ඉදිරි මාස දෙකක කාලය තුළ මත්පැන් සහ බීර අඩුකිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ බවත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

ලබන මාසයේ (ජුනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවට, "මත්පැන් මිල බසී" යනුවෙන් නොමඟ යවන සුළු සිරස්තලයක් ද සහිතව ද ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත් වා තිබූ බවත්, එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවට එම වාර්තාවේ සඳහන් කර තිබුණා. සුරා බද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවත් එහි සඳහන්.

මත්පැන් මිල අධික වීම නිසා ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති බවද මෙහිදී සාකච්ඡා කර ඇත. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද වාර්තාවක් නිකුත් කර ඇති අතර නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව රෝගී වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය බරද වැඩි විය හැකි බව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.

මත්පැන් හා බියර් නිෂ්පාදනය ද පහත වැටී ඇති අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එතනෝල් ද ලීටර් ලක්ෂ පහළොවක් ගබඩාවල ඇති බව ලංකා සීනි සමාගමේ සභාපති සාරද සමරකෝන් ප්‍රකාශ කළේය. මත්පැන් හා බියර් අලෙවිය වැඩිකර සුරාබදු ආදායම් ගැනීම සුරාබද්ද අඩුකරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවද මුදල් අමාත්‍යාංශයට යෝජනා කර තිබේ. එසේ නොමැති නම් මත්පැන් සැර 20% අඩු මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවද සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළ බව සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසූවා.”

මේ ඔස්සේ මත්පැන් මිල ලබන ජූනි මස පහළ දමන බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම දක්නට ලැබුණා.

මුදල් රාජ්‍ය අමාත්‍යංශය

අප මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර තහවුරු කළේ, මීට සුරාබද්ද අඩු කිරීමේ හැකියාව ඇතුළු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවද එවැනි තීන්දුවක් සම්බන්ධයෙන් කිසිදු හෝ තීරණයක් ද මෙතෙක් ගෙන නොමැති බවයි. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් තුළින් මත්පැන් මිල පහළ දමන බවට උපකල්පනය කරමින් අසත්‍ය තොරතුරු පළ වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ(23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පළ වූ සටහන් අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතු බවත්, අනිත් භාණ්ඩ ඉහළ මිලක තිබියදී සුරාව අඩුකිරීමේ ක්‍රමවේදයක් රජයකට නොමැති බවයි ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ. එමෙන්ම නීත්‍යානුකූල නොවන මත්පැන් සඳහා මිනිසුන් යොමුවීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මේ දිනවල සිදු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙලෙසින්.

Parliament of Sri Lanka

මේ පිළිබඳව අප සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා ද, තහවුරු කළේ, මත්පැන් හෝ බීරවල මිල පහළ දැමීමේ තීරණයක් රජය විසින් ගෙන නොමැති බවයි.

එසේම සුරාබදු පනත උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, ඒ හේතු කොටගෙන රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බවත්, ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සම මාධ්‍ය ප්‍රකාශක කේ.ජී.පී ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණා.

ඒ අනුව ලබන ජූනි මස සිට රජය විසින් මත්පැන් සහ බීර මිල පහත දමන බවට පළ වන සටහන් අසත්‍ය වේ.

Also Read : ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

Avatar

Title:ලබන ජූනි මස සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි !!

By: Pavithra Sandamali

Result: Explainer