‘කලිසම් කට්ටා’ මිනිසුන්ට සෞඛ්‍ය හානි ඇති කරනවාද?

Environment Misleading

Last updated on December 26th, 2023 at 01:25 pm

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දූවිලි කොටසක් වැනි ඉහත ඡායාරූපයට සමාන දසුනක් ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙක් මීට පෙර පියවි ඇසින් දැක ඇති බවට සැකයක් නැහැ. සාමාන්‍යයෙන් දූවිලි සහිත වටපිටාවන් ආශ්‍රිතව මෙය සුලබ දසුනක්. නමුත් මෙහි දක්නට ලැබෙන්නේ සලබ විශේෂයක් බව බොහෝ දෙනා තවමත් දන්නේ නැහැ. 

මොවුන් සම්බන්ධ සමාජ මාධ්‍ය පලකිරීමක් පසුගිය දිනෙක විශාල ආන්දෝලනයක් ඇති කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

සමාජ මාධ්‍ය සටහන්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්හි සඳහන් වී තිබුණේ මෙහි දැක්වෙන කෘමියා කැසීම්, ඉදිමීම්, වේදනාව වැනි සමේ ආසාත්මිකතා ඇති කරන බවයි. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන අතර කුඩා දරුවන්ද මොවුන්ගෙන් ප්‍රවේශම් කරගත යුතු බව එහි පෙන්වා දී තිබුණා.

ෆේස්බුක් | Archived 

මෙය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වී තිබුණා.

කෙසේ නමුත් මීට විවිධ ආකාරයේ ප්‍රතිචාරත් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ලැබී තිබුණා.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප විසින් තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

අප පළමුවෙන්ම මෙම සත්ත්වයා පිළිබඳව සොයා බැලුවා. 

Plaster Bagworm හෙවත් කලිසම් කට්ටා:

මෙය හුදෙක් දූවිලි කොටසක් ලෙස මිනිසුන්ට පෙනී ගියත් මෙය එවැන්නක් නොවෙයි. බොහෝ දෙනා මේ දූවිලි අතරේ රැඳෙන කොටස සත්ත්වයෙක් බව විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ plaster bagworm නමින් හැඳින්වෙන සතුන් විශේෂයන්. අප මෙම සත්වයන් අතරින් එක විශේෂයක් වන  වන්නේ Phereoeca uterella පිලිබදව මුලින්ම  සලකා බලමු. සාමාන්‍ය සිංහල ජනවහරේදී මොවුන්ව ‘කලිසම් කට්ටා’ ලෙස හැඳින්වෙනවා.

මෙහිදී ඉහත ඡායාරූප සහ සමාජ මාධ්‍යවල සිදුවූ පලකිරීම්වල පෙන්වා ඇති රූපය ඇත්ත වශයෙන්ම Phereoeca uterella නම් සත්ත්වයා නොවේ. ඒ එම කෘමියාගේ දළඹුවා ආවරණය කරන ව්‍යුහයක්. මෙම දුහුවිලි කොටස වැනි ද්‍රව්‍ය ඇතුලත කුඩා දළඹුවෙක් සිටින බව නිරීක්ෂණය කළ හැකියි.

මෙම ව්‍යුහය අයත්වන්නේ සලබ විශේෂයකටයි. Phereoeca uterella නම් මෙම සලබ විශේෂය දමන බිත්තරවලින් බිහිවන දළඹුවන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් ආසන්නයේ ඇති මකුළුදැල්, දූවිලි වැනි ස්වභාවික ද්‍රව්‍ය එක් කරගෙන මල්ලකට සමාන පෙනුමක් ඇති කොටසක් සකස් කරගන්නවා.

මෙම දළඹුවා, සාමාන්‍ය දළඹුවන් මෙන් ශාක පත්‍ර ආහාරයට ගන්නේ නැහැ. ඒ වෙනුවට මොවුන් ආහාරයට ගන්නේ මකුළු දැල්, දූවිලි, මිනිස් හිසකෙස්, එම විශේෂයේම වෙනත් සතුන් නිර්මාණය කර ඉවත් කරන ආරක්ෂිත කවර ආදියයි. ඇතැම් අවස්ථාවලදී මොවුන් ලොම්, වූල් රෙදි ආදී ඇතැම් ද්‍රව්‍යද ආහාරයට ගන්නවා. ඔවුන්ගේ මල්ලක් වැනි ආරක්ෂිත කොටස නිපදවීමට සහ ආහාර සපයා ගැනීම සඳහා ඔවුන් දූවිලි බහුල ස්ථානවල සිටින බව මෙයින් පෙනී යනවා. 

ශ්‍රී ලංකාවේදී බහුලව නිරීක්ෂණය වෙන plaster bagworm විශේෂය Phereoeca uterellaට සෑම අතින්ම සමාන වන Tinea pachyspila නම් ජීවී විශේෂයයි.

මිනිසුන්ට මොවුන්ගෙන් ඇති බලපෑම:

කෙසේනමුත් යම් පුද්ගලයෙකු මෙම දළඹුවාව හෝ ඔහුගේ කවචය ඇල්ලීමෙන් ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය හානියක් සිදුවන බවට වාර්තාවන්නේ නැහැ. විශේෂිත ආසාත්මිකතාවක් හෝ කැසීම්, ඉදිමීම් ආදිය සම මත ඇති කිරීමට මීට නොහැකියි. එමෙන්ම මෙය නිර්මාණයේදී කිසිදු විෂක් මීට අන්තර්ගත කරන්නේද නැති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම සපාකෑම් සිදු කරන්නේ ද නැහැ.

මේ පිළිබඳව වැඩිදුර තහවුරු කරගැනීම සඳහා අප විසින් මහාචාර්‍ය රංජිත් වසන්ත පුංචිහේවා මහතාව සම්බන්ධ කරගත්තා. මෙහිදී එතුමා පැවසුවේ මෙම සලබ විශේෂය කිසිඳු විෂක් හෝ විශේෂිත දරුණු ආසාත්මිකතාවයක් ඇති කළ හැකි රසායනිකයක් අඩංගු නොවන සත්ත්ව විශේෂයක් බවයි. සාමාන්‍යයෙන්බොහෝ දළඹු විශේෂ ඔවුන්ගේ සිරුරේ ආරක්ෂාව සඳහා පවතින බූව සමඟ මිනිස් සිරුරේ ගෑවීමේදී කැසීම් තත්ත්ව, ආසාත්මිකතා ඇති කළත්, මෙම දළඹු විශේෂයේ එවැන්නක් පවතින්නේ නැහැ. ඒ අනුව අනෙකුත් දළඹු විශේෂයන්ට සාපේක්ෂවත්, මෙම විශේෂය ආරක්ෂිත බව පෙනී යනවා. එමෙන්ම මොවුන් කිසිඳු සපාකෑමක් මිනිසුන්ට සිදු කරන්නේද නැහැ.

ගවයින් හට මෙම ජිවීන්ගෙන් හානියක් සිදු කෙරෙන බවට සැකයක් එල්ල වී තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ  ගොවිපොළ ගවයින්ගේ ආහාර මතට මෙම ජීවියා නිර්මාණය කරගන්නා ආරක්ෂිත කවචය වැටී, ඒවාත් සමඟ ගවයින්ගේ කුස තුළට ගමන් කර ඇතිවීමට හැකි විවිධ ජීරණ සංකූලතායි. මේ පිළිබඳව මෙතනින් කියවන්න.

කෙසේ නමුත් plaster bagwormගෘහාශ්‍රිත පලිභෝදකයෙකු ලෙස සැලකෙනවා. මීට හේතු වන්නේ ඔවුන් නිවසේ ඇති රෙදි වැනි ඇතැම් ද්‍රව්‍යවලට හානි පමුණුවන නිසායි. නමුත් මේ නිසා මෙම සතුන් ඉවත් කිරීම අරමුණු කරගෙන යොදන රසායනික පලිභෝදනාශක ආදිය නම් මිනිස් සෞඛ්‍ය සඳහා අහිතකර බලපෑම් එල්ල කරනවා. එනිසා මොවුන්ගේ අවදානම අවම කරගැනීමට යැයි පවසමින් රසායනික පලිභෝදක අනවශ්‍ය ලෙස භාවිතය සුදුසු නැහැ.

සුහුඹුල් සලබයාද මිනිස් සෞඛ්‍යට කිසිදු හානියක් ඇතිකරන අන්දමේ සත්ත්වයෙක් නොවෙයි.

නමුත් මොවුන් ජීවත් වෙන්නේ දූවිලි සහ මකුළුදැල් බහුල ප්‍රදේශ ආශ්‍රිතව නිසා මෙවැනි ස්ථානවලදී දුහුවිලි සහ මකුළුදැල්වල යම් යම් ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට ගැටළු ඇතිවිය හැකියි. එයට හේතුව වන්නේ එම ප්‍රදේශවල ඇති දූවිලි සහ මකුළුදැල් බහුල බවයි. නැතහොත් ඒ ආශ්‍රිතව ජීවත්වන දූවිලි මයිටාවන් වැනි ඉතා කුඩා වෙනත් කෘමීන්ගෙන් ඇතිවන ආසාත්මිකතා විය හැකියි. 

නිවෙස්වලින් plaster bagworm ජීවීන්ව ඉවත් කළ හැකිද?

මොවුන්ව නිවාසවලින් ඉවත් කිරීම අවශ්‍ය නම් ඒ සඳහා රසායනික ක්‍රම භාවිතය සුදුසු වන්නේ නැහැ. Plaster bagworm කිසිදු හානියක් මිනිස් සෞඛ්‍යට ඇති නොකළත්, රසායනික පලිභෝදනාශක මෙවැනි හානි ඇති කිරීම මීට හේතුවයි. එහෙයින් ඔවුන්ව ඉවත් නොකර තබා ගැනීම ඒවා යෙදීමට වඩා සෞඛ්‍යට හිතකරයි. 

කෙසේ නමුත් නිවාසවල රෙදි ආදියට හානි කිරීමට හැකි නිසා මොවුන් ඉවත් කිරීම වැදගත් විය හැකියි. එයට මෙන්ම දූවිලි නිසා ඇතිවන වෙනත් ආකාරවල හානිකර විය හැකි ජීවීන් ඉවත් කිරීමත් වැදගත්. මේ සඳහා අනුගමනය කළ හැකි හොඳම ක්‍රියා පටිපාටිය වන්නේ නිරන්තර නිවස පිරිසිදු කිරීමට ලක් කර දූවිලි රහිතව පවත්වා ගැනීමයි. එවිට ඔවුන්ට තම පැවැත්ම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සීමා වෙනවා. 

ඊට අමතරව නිවස අවට ආලෝකකරණය අවම මට්ටමක පවත්වා ගැනීම තුළින් plaster bagworm සලබයාව ආකර්ෂණය වීම පාලනය, නිවසේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය ආදිය සිදු කළ හැකියි. මේ සඳහා වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

Plaster bagworm ජීවීන් මිනිස් සිරුරට කිසිඳු හානියක් ඇති කරවන්නේ නැහැ. සැපීම්, ආසාත්මිකතා, විෂ දේහගත වීම් කිසිවක් මොවුන්ගෙන් සිදුවන්නේ නැහැ. නමුත් ඔවුන් නිවාසවල ඇති රෙදි ආදී ද්‍රව්‍යන්ට හානි කරමින් ගෘහාශ්‍රිත පලිභෝදකයෙකු ලෙස ක්‍රියා කිරීමට හැකියාවක් පවතිනවා. තවද මොවුන්ගේ කවච ආහර සඳහා එක් වීමත්, ආහාරයට ගැනීමත් වලක්වා ගත යුතුයි. ඇතැම් කුඩා දරුවන් නොදැනුවත්කම නිසා මෙම කවච කටේ දමාගැනීමට ඉඩ පවතිනවා. කෙසේ නමුත් මොවුන් පාලනය කිරීම සඳහා පලිභෝදනාශක යෙදීම මිනිස් සිරුරට අතිශයින් අහිතකරයි. ඒ නිසා මේ සඳහා ගැනීමට සුදුසුම පියවර වන්නේ මොවුන්ගේ බෝවීම පාලනය කිරීම සඳහා නිවෙස් පිරිසිදුව, දූවිලිවලින් තොරව පවත්වා ගැනීමයි.

Avatar

Title:‘කලිසම් කට්ටා’ මිනිසුන්ට සෞඛ්‍ය හානි ඇති කරනවාද?

Written By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply