දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මැතිවරණ උණුසුම් මැද දේශපාලව වේදිකාවේ මෙන් ම දේශපාලන ප්‍රචාරණයන් තුළින් ද, අසත්‍ය තොරතුරු ජනගත කිරීම බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයේ බොරැල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයට අද (01) උදෑසන පැමිණ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

‌‌ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට එක් වූයේ පෙරේදා (30) පෙරවරුවේය.

ඊට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ජෙනරාල් දයා රත්නායක දැඩි ලෙස විවේචනය කළේය.

එම විවේචනය සම්බන්ධයෙන් කලකිරීමට පත් වූ ජෙනරාල් දයා රත්නායක අද (01) උදෑසන මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එහි නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ” යනුවෙන් සඳහන් කරමින් ඔවුන් අද(01) දින‍යේ හමුවේ ඡායාරූපයක් ද, බවට දක්වමින් ඡායාරූප සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ඇතැම් වෙබ් අඩවි ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

මෙහි නිරවද්‍යතාවය විමසමින් ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

හිටපු යුද හමුදාපතිවරයකෙු වන ජෙනරාල් දයා රත්නායක මහතා පසුගිය ජනවාරි 29 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්වුණා. මෙවන් පසුබිමක, දින කිහිපයක් ඇතුළත ඔහු සජබයෙන් ඉවත් වී අද(01) දිනයේ මව්බිම ජනතා පක්ෂය (MJP) හා ඒ මහතා එක් වූ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා.

අනෙකුත් ප්‍රධාන මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කර නොතිබුණත් අද(01) දිනයේ ‘අරුණ’ වේබ් අඩවියේ මෙම පුවත පළ වී ඇති බව ට දැකගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link

Facebook | Archived Link

මව්බිම ජනතා පක්ෂය (MJP)

මේ හේතුවෙන් මව්බිම ජනතා පක්ෂය (MJP) මාධ්‍ය සම්බන්ධීකාරක වන කසුන් චානක ගනේවත්ත මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බවත්, අද(01) දිනයේ ජනරාල් දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂ (MJP) මූලස්ථානයට නොපැමිණි බවත්, ඒ දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමගින් එක් නොවූ බවයි.

මීට පෙර ලබා ගත් ඡායාරූපයක් මෙලෙසින් සමාජ මාධ්‍ය මාධ්‍ය ඔස්සේ වෙනත් අර්ථකතනයකින් පළ වන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

ජෙනරාල් දයා රත්නායක

අප මේ පිළිබඳ හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඒ මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන, තමන් මව්බිම ජනතා පක්ෂය සමගින් එක් වූ බවට හෝ තමන් අද(01) දිනයේ එම පක්ෂයේ මූලස්ථානයට පැමිණි බවට පළ වන තොරතුරු අසත්‍ය බවයි.

තමා හා දිලිත් ජයවීර යන අය යහළුවන් බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප මඟින් දැක්වෙන්නේ පසුගිය වසරේ දිලිත් ජයවීර මහතාගේ පක්ෂයේ, පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හේතුවෙන්, එදින සවස ඊට සුබ පැතීම සඳහා තමන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පෙළක් බවයි.

එසේ මීට මාස කිහිපයකට පෙර ලබා ගත් ඡායාරූප, අද දිනයේ හමුවක් බවට අසත්‍ය තොරතුරුද සමගින් පළ කර ඇති බවත්, තව ද, අද දිනයේ කුරුවිට ප්‍රදේශයේ තම මිත්‍රයෙකුගේ ව්‍යාපාරයක මුල්ගල තැබීමේ උත්සවයක් සඳහා තමන් සහභාගී වී සිටි බවයි, දයා රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේ.

එමෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ද, අදහස් දක්වමින් දයා රත්නායක මහතා අවධාරණය කළේ, අලුත් දේශපාලන සංස්කෘතියක් සෑදීමට පැමිණෙන පිරිසද පැරණි උපක්‍රම භාවිත කිරීම කනගාටුදායක බවයි.

https://youtu.be/uK5q6vg9CrU

සමගි ජන බලවේගය(SJB)

සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, හිටපු යුධ හමුදා පති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එකතු වූ බවට සංසරණය වන තොරතුරු අසත්‍ය බවයි.

එමෙන් ම සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා විවිධ පාර්ශවයන් ඒකරාශි වීම තුළ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ඉදිරියේදී ද, සිදු විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එම නිවේදනය පහතින්.

කෙසේ වෙතත් ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එකතු වීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා සිය විවේචනය එල්ල කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:ජෙනරාල් දයා රත්නායක සජබෙන් ඉවත්වී මව්බිම ජනතා පක්ෂයට එකතු වී නැහැ!

Written By: Pavithra Sandamali

Result: False