
2009 වසරේ මැයි 18 ලංකාවට වැදගත් දිනයක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාව සටහන්වූ දිනය ලෙසයි. LTTE සංවිධානයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් අතර මෙසේ වසර ගණනාවක් ඔස්සේ සිදුවූ යුධ ගැටුම්වලදී බොහෝ සිවිල් වැසියන් පිරිසක්ද මියගොස් තිබුණා. යුද්ධය නිමවූ 2009 වසරේ සිට විවිධ ආකාරයේ සැමරුම් / අනුස්මරණ උතුරේ මෙන්ම දකුණේත් දක්නට ලැබුණා. ඒ විවිධ අරමුණු මුල්කරගනිමින්.
පසුගිය මැයි 18 උදෑසන ගාලු මුවදොර පිටියේද එවන් සැමරුම් කටයුත්තක් සංවිධානය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ නොමග යවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන් :
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක්කර තිබුණේ මේ අයුරින්,
“ගෝල්ෆේස් අරගල භූමියේදි LTTE ත්රස්තයන් සමරලා.
යුද ජයග්රහනයෙන් පස්සෙ ප්‍රථම වරට කොළඹ ප්‍රසිද්ධියේ ත්රස්තවාදීන් සැමරෙනවා.
මේක රටක් වශයෙන් අපි ලබපු පරාජයක්. යුද ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත කැපකරපු මිනිස්සුන්ට කරපු අපහාසයක්.
ගෝල්ෆේස් ටෙන්ට් මඩු වල ඉන්න අන්තරේ උන්ට, පෙරටුගාමීන්ට, ජෙප්පොන්ට තියෙන්නේ රටේ අනිත් මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න නෙවෙයි.
උන්ට තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්න, විධායකය එක්ක ප්‍රශ්න, ෆෙඩරල් රටක් ගේන්න, 13 සම්මත කරගන්න වගේ ප්‍රශ්න.
එතන වෘත්තීමය වශයෙන් පැල් බැඳන් ඉන්න යුටියුබ්කාරයොන්ට, කලාකාරයො කියන උන්ට සල්ලි දෙන්නෙත් මේ අවශ්‍යතා තියෙන උන්ම තමයි.
උන් ඒ තමන්ගේ අවශ්‍යතා සපුරගන්න රටේ මිනිස්සුන්ගේ ආර්ථික ප්රශ්නය පාවිච්චි කරමින් ඉන්නවා.
මෙතන සරලවම වෙන්නේ ඒකයි.”

තවත් එවැනි සටහන් කිහිපයක් පහතින්

එවැනි තවත් සටහනක් මෙතනින්.
මෙම සටහන් මඟින් අදහස් කර තිබුණේ ගෝල්ෆේස් අරගල භුමියේ දී LTTE ත්රස්තයන් සැමරීමක් සිදුවූ බවත් කොළඹ දී ප්‍රථම වරට සිදුකෙරුණු මෙවැනි සැමරීම් මඟින් යුද ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත කැපකරපු සියලු දෙනාට ම අපහාසයක් සිදුව ඇති බවයි.
ගාලු මුවදොර පිටියේදී සිදුවූයේ මියගිය කොටි සාමාජිකයින් සැමරීමක්ද ?
අප මුලින්ම ඉහත සමාජ ජාලා සටහන් වල දක්වා තිබු Twitter පණිවිඩය පිළිබදව තොරතුරු සොයා බැලුවා. එහි කොටි සංවිධානයේ මියගිය සාමාජිකයින් සැමරීමක් පිළිබදව විශේෂයෙන් සඳහන් නොවන අතර එහි දැක්වෙන්නේ මුල්ලිවයික්කාල්හි දී මියගිය මිනිසුන් සිහිපත් කිරීමක් එයින් සිදුවූ බවයි.
එසේම එම සැමරුම ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹදී සිදුවූ බවක් සහ ඒ සදහා සිංහල, දෙමළ ජනතාව, ජාති බේදයකින් තොරව සම්බන්ධවූ බවද එම ට්විටර් පණිවුඩය සඳහන් වුනේ එම අවස්ථාවේ ඡායාරුප එකතුවක් ද සමඟින්.
මුල්ලවයික්කාල්හි අනුස්මරණ දිනය
යුද්ධයේ අවසාන භාගයේදී මුල්ලවයික්කාල්හි කොටු වී සිටි සිවිල් වැසියන්ගෙන් විශාල පිරිසක් ඝාතනයකට ලක්වූ බව බොහෝ කාලයක සිට කතාබහට ලක්වන කාරණාවක්. 2009 වසරේ යුද්ධයේ නිමාව සනිටුහන්වූ දිනය සිහිපත් කරමින් එතැන් පටන් සෑම වසරකම මැයි මස 18 වන දින, යුද්ධයේ ගොදුරු බවට පත්වූ සාමාන්‍ය ජනතාව සිහිපත් කරමින් මුල්ලවයික්කාල්හි අනුස්මරණ දිනය විශේෂයෙන්ම ශ්‍රී ලංකා දෙමළ ජනතාව සිහිපත් කරනවා.
ගාලු මුවදොර අරගල භුමියේ සංවිධානය කර තිබු සැමරුම
ගාලු මුවදොර පිටියේ මැයි 18 වැනිදා සිදුකර තිබු මුල්ලවයික්කාල් අනුස්මරණ දිනය සම්බන්ධයෙන් පැවත්වූ සැමරුමේදී පහනක් පත්තු කිරීම, මුහුදට මල් දැමීම , ලුණු කැඳ පානය කිරීම ආදී සැමරුම් අංග විශේෂයෙන් ම දැක ගන්නට ලැබුණා.
ලුණු කැද පානය එක්කර තුබුණේ මුල්ලවයික්කාල්හි කොටුව සිටි සිවිල් ජනතාවට ආහාර පාන සැපයුම් අඩපණව තිබීම නිසා යුද්ධයේ අවසාන කාලයේ ලුණු කැඳ පානය කිරීමට සිදුවීම සිහිපත් කරමින්. මේ පිළිබඳව වාර්තාවක් මෙතනින්
ජීවන්ත පීරිස් පියතුමා
මෙම සැමරුමට එක්ව සිටි ජීවන්ත පීරිස් පියතුමාගේ ෆේස්බුක් පිටුවේ එම අවස්ථාව සටහන්ව තිබුණේ පහත ආකාරයෙන්. එහිදී ඔහු පැහැදිලිවම පවසන්නේ මෙම සැමරුම මියගිය කොටි සාමාජිකයන් සිහි කිරීමටවත්, රජයේ හමුදා සාමාජිකයින් සිහි කිරීමට නොව, යුද්ධයේදී දිවි අහිමිවූ උතුරේ සහ දකුණේ සිවිල් වැසියන් සිහිකිරීමට පවත්වන ලද්දක් වන බවයි.
මේ සම්බන්ධයෙන් අප සමග දුරකතන මාර්ගයෙන් එක්වූ ජීවන්ත පීරිස් පියතුමා වැඩිදුරටත් පැවසුවේ, උතුරේ මෙන්ම දකුණේ මියගිය සියලුම වින්දිත ජනතාව, එනම් සියලු සිවිල් වැසියන් වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වූ බවයි. මෙය, මියගිය කොටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් පැවැත්වූ බවට පළවන ප්‍රචාර සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවද ඔහු අප හා පැවසුවා.
දමිළ මාධ්‍යවේදී A.R.V. ලෝෂන්
මෙම උත්සවයට මුල්ලවයික්කාල් සැමරුම ලෙස නම තැබුවේ ඇයි? ඒ බව අප විමසා සිටියේ ගෝල්ෆේස් හි පැවති උත්සවයේ සංවිධායකයෙක් වන දමිළ මාධ්‍යවේදී A.R.V. ලෝෂන්ගෙන් .
“මුල්ලවයික්කාල්” නම යෙදීම මගින් මෙයට කොටි සංවිධානය හා සම්බන්ධ කරගනිමින් චෝදනා එල්ලවනු ඇති බවට මුල සිටම අනතුරු හැගවීම් තිබුණු බවත් ඔහු පැවසුවා. කෙසේ වෙතත් “මුල්ලවයික්කාල්” නම මගින් සංකේතවත් වන්නේ යුද්ධයේ අවසාන කොටසේ මුල්ලවයික්කාල් ප්‍රදේශයේ සිරව සිටියදී විපතට පත් සිවිල් ජනතාව සිහිගැන්වීමට බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් ගාලු මුවදොර සැමරුම් උත්සවය මගින් අනුස්මරණය කලේ සමස්තයක් ලෙස තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ මෙන්ම දකුණේද මියගිය දහස් ගණනක් වූ නිරායුධ සිවිල් වැසියන් බවත් ඔහු පැවසුවා. කොටි සංවිධානය, රජයේ හමුදා හෝ ආයුධ අතට ගත් වෙනත් කණ්ඩායම් පිළිබදව මෙම සැමරුම් උත්සවයේදී සිහිපත් නොකෙරුණු බවත් ලෝෂන් අවධාරණය කළා.
ගාලුමුවදොර ක්‍රියාත්මක ගෝඨාගෝගම පිරිසක් සහ සමාජ ජාලා වල පිරිසක් එක්ව මෙම සැමරුම් සංවිධානය කල බවත් ඔහු පවසා සිටියා.
මෙම උත්සවයේ බොහෝ කොටසක් ආවරණය කරන වීඩියෝවක් මෙතනින්. එහිදී ද අපට මෙම සැමරුම LTTE ත්‍රස්ත පිරිස් සිහිකරමින් සිදු කරන්නක් බවක් පවසනු දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
බිබිලාදෙණියෙ මහානාම හිමි
මෙම සැමරුම පැවති අවස්ථාවට එක්වූ බිබිලාදෙණියෙ මහානාම හිමියන්ව ද සම්බන්ධ කරගැනීමටද අපට හැකිවුණා. ආගමික නායකයන් ලෙස ජීවන්ත පීරිස් පියතුමා සහ තමන් මේ සදහා සම්බන්ධවූ බවත් , කොටි සංවිධානයේ නම හෝ එහිදී නොකියවුණු බවයි උන්වහන්සේ පැවසුවේ.
මැයි 18 ඇතැම් අය ජයග්‍රහණය ලෙසත් ඇතැම් අය පරාජයත් ලෙසත් සලකා බවත් සලකන බව පැවසූ උන්වහන්සේ ගාලු මුවදොරේදී සිදුකලේ ඉහත කී දෙආකාරයේම සැමරුමක් නොව, යුද්ධය නිසා අහිමිවූ මනුෂ්‍යත්වය සිහි කිරීම පමණක් බවත් උන්වහන්සේ පැවසුවා.
බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ලෙස මනුෂ්‍ය ඝාතන මතින් සිදුවූ යුද්ධයේ අවසානය ජයග්‍රහණයක් ලෙස සැමරිය නොහැකි බවත්, එමෙන්ම රටට බොහෝ දේ අහිමි කළ ත්‍රස්ත සංවිධානයක් වන කොටි සංවිධානයේ පරාජයද විශේෂයෙන් දුකසේ සිහි කළ නොහැකි කාරණයක් බවයි උන්වහන්සේ පැවසුවේ.
ධර්මාශෝක රජතුමා වටහගත්තාක් මෙන්, යුද්ධය අවසන්ව ඇති මෙම වකවානුවේ යුද්ධයේ නිසරු බව පිළිබදව ජනතාව දැනුවත් කරමින් අවිහිංසාව දෙසට ජනතාව යොමුකළ යුතු බවද මහානාම හිමියන් පැවසුවා.
පහන් දැල්වීම මගින් අහිමිවූ මනුෂ්‍යත්වය සිහි කිරීම මෙන්ම මල් මුහුදට මුදාහැරීම මගින් නැවත් ජන ඝාතක යුද්ධ ඇති නොවේවා යන පැතුම, මැයි 18 ගාලු මුවදොර පිටියේදී සැමරුම් වලදී සංකේතවත් වී තිබුණා.
සිංහල මෙන්ම දෙමළ ජනතාවගේද සහභාගීත්වයෙන් ගාලු මුවදොර සිදු කෙරුණු මෙම සැමරුමේ දර්ශන ,පිලිබඳ මාධ්‍ය වාර්තා කිහිපයක් පහතින්
මීට පෙර ඇතැම් වසරවල දී ඇතැම් අවස්ථාවල දී මුල්ලවයික්කාල් සැමරුම් සඳහා තහනම් නියෝග ද අධිකරණයෙන් ලබා දී තිබුණ අතර පසුගිය වසරවල දී උතුරේ සිදුකර තිබු මුල්ලවයික්කාල් සැමරුම් වාර්තා වල ද සඳහන් වන්නේ ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් මෙම සැමරුම් සංවිධානය කර තිබු බවයි. පහන් දල්වා, මල් පුජා කරමින් යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම එම සැමරුම් වල දී දැක ගන්නට ලැබෙනවා.
එසේම පසුගිය දා ඩෙන්මාර්කයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව විසින් සංවිධානය කර තිබු මුල්ලවයික්කාල් සැමරුමක දර්ශන මෙතනින්. මෙහි දී ඊලාම් ධජය අතැතිව ඔවුන් ගමන් කරන අයුරු දැක ගන්නට පුළුවන්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News

Title:මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?
By: Kalana KrishanthaResult: Explainer

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,