
ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්රධාන ක්රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ
Claim 1:
“සිංහල ජනතාවට පමණක් වරප්රසාද දෙන නීතී අහෝසි කළ යුතුයි” සිරස්තලයෙන් පුවත්පතකට එච්. අයි. තුෂාර මාධ්යවේදියා සැපයූ වාර්තාවක් ආකාරයකට සැකසුණු අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත සටහනක් “යකෝ මුන්ට සිංහල ජාතිය එක්ක පුදුම වෛරයක් නේ තියෙන්නෙ මේක මුංගෙ ජාතකේ අවුලක් ද මේ ??” යන තේමාවෙන් ඉදිරිපත් කර තිබු අතර ප්රතිචාර රැසක් සමගින් එය ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

Fact Check (කරුණු පරික්ෂා කිරීම)
ඉහත සමාජ මාධ්ය සටහනේ අන්තර්ගත කර තිබූ වාර්තාව සුපරික්ෂාකාරීව කියැවීමේදී ජාතික සමගිය තහවුරු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ 2019ජූනි මස 4 වැනි දින කොළඹදී විශේෂ යෝජනා මාලාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවක් හා සම්බන්ධ බව තහවුරු විය. සමාජ මාධ්ය සටහනේ ඉදිරිපත් කර තිබු සේයාරුවේ “සිංහල ජනතාවට පමණක් වරප්රසාද දෙන නීතී අහෝසි කළ යුතුයි” සිරස්තලයෙන් වූවද, එහි අන්තර්ගතය පරීක්ෂා කළ විට එවැනි අදහසක් එහි දක්නට නොලැබුණි.
මේ පිලිබඳ කරුණු දැනගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්ය අංශය සමගද සම්බන්ධ වූයෙමු. ජාතික සමගිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා මාලාවේ කිසිදු තැනක සිංහල ජාතියට පමණක් සීමා වූ නීති ඉවත් කළ යුතු බවට සදහනක් නොවූ බව සඳහන් කළ මාධ්ය සම්බන්ධීකරණ නිලධාරියා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මාලාවේ පිටපතක් අප වෙත ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් මෙය තහවුරු කර ගැනීම සඳහා අප “අද” පුවත්තේ කතෘ මණ්ඩලය සමඟ සම්බන්ධ වී මෙම මුල් පුවත පළවූ 2019 ජුනි මස 05 වැනිදා 06 වැනි පිටුව පරීක්ෂා කිරීමේදී එහි සිරස්තලයේ පලවී තිබුනේ “එක් එක් ජන කොට්ඨාසය මත ක්රියාත්මක වන නීති අහෝසි කල යුතුයි යනුවෙනි” එම සංසන්දනය පහතින්.

Claim 2:
Dulip Di නැමැත්තෙක් ඉදිරිපත් කල සටහනක “සාමාන්ය පෙළ පාස් නැති අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කරන්න හදන්නේ රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කරපු නූගත් පිරිසකට රැකියා ලබා දෙන්න – බිමල් රත්නායක” යන වදන රෝපනය කර, බිමල් රත්නායක මහතාගේ සේයාරුවක් රැගත් සටහනක් ඉදිරිපත් වී තිබෙනු මෙසේ දක්නට ලැබුණේය. මෙම සටහන වෙනත් ෆේස්බුක් පිටු රාශියටද ඉදිරිපත් වී තිබුණි

Fact Check (කරුණු පරික්ෂා කිරීම)
මෙහි කරුණු තහවුරු කර ගැනීමට අප බිමල් රත්නායක ට දුරකථන ඇමතුමක් ගත්තෙමු. තමන් මෙවැනි ප්රකාශයක් නොකළ බවත්, සිය නිල ෆේස්බුක් පිටුවේ ඇති පැරැණි සටහනක ඡායාරූපයක් යොදා ගනිමින් මෙම අසත්ය සටහන ඉදිරිපත් කොට ඇති බව ඔහු සඳහන් කළේ ය. වැඩිදුර කරුණු තහවුරු කර ගැනීම පිණිස අප බිමල් රත්නායකගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු.
2019 නොවැම්බර් මස 7වැනි දින “අපි ගෝඨාභය මහත්තයට කියනවා ඇමරිකන් ගිවිසුම ගැන ඔයාගේ ස්ථාවරය කියන්න කියලා. ඔයාගේ ගෝලයෝ කියන අදහස් ජනතාවට වැඩක් නෑ. ඔයාගේ අදහස කියන්න – බිමල් රත්නායක” යන වදන රෝපණය කර බිමල් රත්නායක ගේ ෆේස්බුක් පිටුවේ තිබු මෙම සටහන අපගේ අවධානය යොමු විය. එම ඡායාරුපය වෙනත් පුවත් වාර්තා රැසක්ද 2019 වසරේ සිට යොදාගෙන ඇති බව පෙනී ගිය අතර එය සංස්කරණය කරමින් මෙම ව්යාජ සටහන පළකර ඇති බව පෙනී යනවා

Claim 3:
එසේම “පාතාලෙට ආයුධ පෙන්වීමට එරෙහිව ජාතික ජන බලවේගය ජිනීවා යයි” සිරස්තලය සහිතව රාවය පුවත්පතක පලකර තිබු වාර්තාවක සේයාරුවක් රැගත් සටහනක්ද “නියමිත ප්රමිතියක් නැති රුසියානු කෝවිඩ්-19 එන්නත ලංකාවේ රෝගීන්ට ලබාදීමට අප ඉඩ තියන්නේ නෑ” යන වදන් පෙළ සමඟ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද දිසානායක මහතාගේ සේයාරුවක් සහිත සටහනක්ද දක්නට ලැබුනි.

Fact Check (කරුණු පරික්ෂා කිරීම)
එසේම “පාතාලෙට ආයුධ පෙන්වීමට එරෙහිව ජාතික ජන බලවේගය ජිනීවා යයි” සිරස්තලය සහිතව රාවය පුවත්පත පලකර තිබු වාර්තාවේ ඡායාරූපය සුපරික්ෂාකාරීව බැලීමේදී 2020 අගෝස්තු මස 23 දින පලවු රාවය පුවත්පතේ 4වැනි පිටුව සංස්කරණය කරමින් පළකර ඇති බව තහවුරු විය.

“පාතාලෙට ආයුධ පෙන්වීමට එරෙහිව ජාතික ජන බලවේගය ජිනීවා යයි”සිරස්තලයෙන් රාවය පුවත්පතේ වාර්තාවක් පළ පළ කර ඇද්දැයි අප එම පුවත්පතෙන් කළ විමසුමකට ද ඔවුන්ප්රකාශ කළේ රාවය පුවත්පතේ එවැනි වාර්තාවක් පළ නොවූ බවයි.
“නියමිත ප්රමිතියක් නැති රුසියානු කෝවිඩ්-19 එන්නත ලංකාවේ රෝගීන්ට ලබාදීමට අප ඉඩ තියන්නේ නෑ” වෛද්ය නලින්ද ජයතිස්ස අළලා ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප වෛද්ය නලින්ද ජයතිස්ස සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමන් මාධ්යයට එවැනි ප්රකාශයක් නොකළ බවත් එය සම්පූර්ණයෙන්ම සාවද්ය ප්රකාශයක් බවත් ඔහු ද සනාථ කළේය.
එසේම ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් පිටුවේ පහත සඳහන් සටහන ඉදිරිපත් අපට නිරීක්ෂණය විය.
“මහ මැතිවරණය අතරතුරදී මෙන්ම මැතිවරණයෙන් පසුවත් ජාතික ජන බලවේගයේ නායකයින් ඉලක්ක කර ගනිමින් විශාල මඩ ප්රචාරයක් දියත් වෙමින් තිබේ.
ආණ්ඩුවට පක්ෂපාතී සමාජ ජාල ක්රියාකරුවන් විසින් ගෙන යන මෙම මඩ අවලාදවලට නොරැවටෙන ලෙස අප සමාජ ජාල පරිශීලනය කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු.
විශේෂයෙන් Yasith Dilshan නැමැත්තෙකු විසින් දිනපතා අප පක්ෂයේ නායකයින් විසින් නොකරන ලද ප්රකාශ අලලා විවිධ පුවත් පළකරමින් තිබේ. ඔහු පිළිබඳව පැමිණිලි කළද ආණ්ඩුවේ හිතවාදියෙකු වීම නිසාම එම පැමිණිලි සඳහා යහපත් ප්රතිචාර නොලැබෙන බවද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.”

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයේ ක්රියාකාරී සාමාජිකයින් අලලා පලවී තිබෙන ඉහත සටහන් සියල්ලම ව්යාජ ලෙස සංස්කරණය කරන ලද සාවද්ය සටහන් පෙළක් බවයි
Title:ජාතික ජන බලවේගයේ ක්රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්ය සංස්කරණ පෙළක්!
Fact Check By: Sahan PereraResult: False


