ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ?

Internatioanl Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඔහුගේ පුත් මොජ්තාබා අල් කමේනි (Mojtaba Khamenei) පත් කර තිබෙනවා. මොජ්තාබා අල් කමේනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා අල් කමේනි යුද්ධයේ ආරම්භක දිනයේම තුවාල ලබා ඇති බවට බටහිර මාධ්‍ය තොරතුරු වාර්තා කෙරූ අතර අද දිනයේ දි ඉරාන මාධ්‍ය ආයතන කිහිපයක් ඔහු රෝහලක ප්‍රතිකාර ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ද කර ඇත… ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම තේමාවෙන්ම හුවමාරු වී තිබු තවත් ඡායාරූප සටහනක් පහතින්.

Facebook

සැබෑ ලෙසම ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා අල්කමේනි යුද්ධයෙන් තුවාල ලබා ඇත් ද සහ ඉරාන මාධ්‍ය විසින් ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

2026 පෙබරවාරි 28 වන දින ඇමරිකාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වූ අතර අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දෙවන පුත්‍රයා වන මොජ්තාබා කමේනි, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මේ වන විට තෝරාගෙන තිබෙනවා. ඒ අනුව ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් මොජ්තාබා අල් කමේනි පත් කර තිබෙනවා.

ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇති වාර්තා මෙතනින් මෙතනින් සහ මෙතනින්. මොජ්තාබාගේ පැරණි ඡායාරුපයක් සමඟ ඒ ගැන ජාත්‍යන්තර මාධ්‍යක් වාර්තාකර තිබු අයුරු පහතින්.

එසේම, මෙම තෝරාගැනීම ගැන ඇමරිකානු ජනපති සිය අප්‍රසාදය ද පළකර තිබු අයුරු මෙලෙසින්.

නව ඉරාන උත්තරීතර නායකයා ලෙස පත්වීමට පෙර තුවාල ලබා ඇත

කෙසේවෙතත්, 2026.02.28 වන දින එල්ල වූ හිටපු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කළ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හය දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයෙන් මොජ්තාබා අල් කමේනි ද තුවාල ලබා ඇති බව සයිප්‍රසයේ ඉරාන තානාපති විසින් ප්‍රකාශ කරන ලද බව දක්වමින් The Guadian විසින් පල කර තිබුණේ මෙලෙසින්. නමුත් එම සිදුවීම මොජ්තාබා අල් කමේනි උත්තරීතර නායකයා ලෙස පත් වීමට පෙර සිදු වූවක් වන අතර ඊට අදාල ඡායාරූප අදාල පුවත තුළ දක්වා තිබුණේ නැහැ. කෙසේ වෙතත්, මෙම තුවාල ලැබීමේ පුවත ඉරාන නිලධාරීන් සහ තානාපතිවරුන් හරහා ජාත්‍යන්තර මාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ ඔහු නායකත්වයට පත්වීමෙන් පසුව, මාර්තු 11 වන දිනයි.

මොජ්තාබා අල් කමේනි තුවාල ලබා ඇති බව ඉරාන රාජ්‍ය  රූපවාහිනිය විසින් සඳුදා දින (මාර්තු 09) වාර්තා කර ඇති බවත් ඔහුගේ තුවාල තත්වයන් හෝ එහි බරපතලකම පිළිබඳ එහිදී විස්තර ලබා දී නොමැති බවත් තුවාල ලැබුවද, ඔහුට තම රාජකාරි ඉටු කිරීමට සහ රාජ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ඇති බවත් දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ඉරානයේ නව උත්තරීතර නායකයා තුවාල ලබා ඇතත් ඔහු ආරක්ෂිත බව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ පුත් යූසෙෆ් පෙසෙෂ්කියන් ඔහුගේ ටෙලිග්‍රෑම් නාලිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

යූසෙෆ් පෙසෙෂ්කියන් සිය ටෙලිග්‍රෑම් සටහනෙහි පවසා තිබුණේ,

“මොජ්තාබා මහතාට තුවාල සිදුවී ඇති බවට පුවත් මට අසන්නට ලැබුණා. මම ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සබඳතා ඇති මිතුරන්ගෙන් විමසා බැලුවා. දෙවියන්ට ස්තූති වන්නට ඔහු සුවෙන් පසුවන බවත්, කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔවුන් මට පැවසුවා” යනුවෙනි.

එසේම

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්

මාර්තු 8 වන දින ඉරානයේ උත්තරීතර නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින ඡායාරූප හෝ වීඩියෝ මෙතෙක් නිකුත් වී නොමැත. එසේම ඔහු තුවාල ලබා සිටින බවට පෙන්වන ඡායාරූප ද මෙතෙක් කිසිදු නිල හෝ විශ්වසනීය මාධ්‍යයක පළ වී නොමැත.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ පල වී ඇති සටහනේ අන්තර්ගත ඡායාරූප ඔහුගේ හැඩරුවට සමාන බවක් දැක්වුණ ද සිරුරේ බැලු බැල්මට දක්නට ලැබුණු වෙනස්කම් හා ඡයරුපයේ තිබු සැකසතින ස්ථාන සමඟ අප එය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනා ගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට අප කටයුතු කළා. එහිදී තහවුරු වූයේ අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා අල් කමේනි තුවාල ලබා ඇති බවට දක්වමින් හුවමාරු වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. මොජ්තාබා අල් කමේනි තුවාල ලබා ඇත්තේ ඔහු උත්තරීතර නායකයා ලෙස පත්වීමට පෙර එල්ල වූ අයතුල්ලා අල් කමේනි ඝාතනය වූ ප්‍රහාරයෙන් වන අතර ඉන් අනතුරුව ඔහුගේ කිසිඳු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත මුදාහැර නැහැ.

Result Stamp

Title: ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *