එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා මාලිමාව ලෝක වාර්තාවක් තබලා ද ?

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජයේ අවධානය දිනාගන්නා සිදුවීම් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් පවසන ඇතැම් කරුණු සමාජය නොමඟ යැවීමක් බවට පත්විය හැකියි. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ලෝක මැයි දින ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව එකම දිනක මැයි රැලි 21ක් පවත්වා ලෝක වාර්තාවක් තබයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

සැබෑ ලෙසම මාලිමාව විසින් ඊයේ (මැයි 1) දිවයිනේ විවිධ ප්‍රදේශ වල පැවැත් වූ මැයි රැලි 21 සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් තබා ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

“ජන රජයට ජන බලයක්” යන තේමාව යටතේ ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පළවෙනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබුණා. මැදපෙරදිග යුධමය තත්වය හමුවේ මුහුණ දීමට සිදු වූ ඉන්ධන අර්බුදය සමඟ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු වීම හේතු කොට ගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එක්‍ රැස් කිරීමට විශාල වශයෙන් ඉන්ධන වැය වන බැවින් මැයි දිනය මෙලෙස විමධ්‍යගතව සැමරීමට තීරණය කළ බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව ඊයේ දින (මැයි 1) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැලිය මහරගම දී පැවැත්වුණු අතර, සෙසු මැයි රැලි නුවරඑළිය, ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර,යාපනය ,මඩකලපුව,කඩවත මාතර ,මහනුවර,හලාවත, අනුරාධපුර වවුනියා,අම්පාර, කළුතර, තංගල්ල,කෑගල්ල, කදුරුවෙල, ත්‍රිකුණාමලය සහ වැල්ලවායේදී පැවැත් වී තිබුණා.

ජාතික ජන බලවේගය විසින් මෙලෙස ස්ථාන 21 කදී මැයි රැලි පැවැත් වූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කර තිබුණා. ඒ මෙලෙසින් සහ මෙලෙසින්.

ජාතික ජන බලවේගය විසින් එකම දිනකදී ස්ථාන 21 ක මෙලෙස මැයි රැලි පැවැත්වීම ඔස්සේ නිල වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්නම් එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් මෙන්ම ඇතැම් විට ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඔස්සේ ජාතික ජන බලවේගය විසින් මැයි රැලි 21 ක් පැවැත්වීම හරහා නිල වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බවට වාර්තාකර තිබුණේ නැහැ.

යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ පක්ෂයක් ලෝක වාර්තාවක් තැබුවේ නම්, එම වාර්තාව සහතික කළ ආයතනය (උදා: Guinness, World Record Academy) විසින් නිකුත් කරන ලද නිල සහතිකය ඔවුන් ප්‍රසිද්ධ කරනු ලබයි. එවැනි නිල සහතිකයක් පක්ෂය විසින් ප්‍රදර්ශනය කර ඇත්ද යන්න අප පරීක්ෂා කළත් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැහැ.

එසේම එවැනි ලේඛනගත ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්නම් ඒ සම්බන්ධයෙ ලෝකයේ පිළිගත් වැඩිම ලෝක වාර්තා ප්‍රමාණයක් ඇති guinnessworldrecords.comහි දත්ත පද්ධතියේ එය සටහන් වී තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළත් එවැන්නක් එහි දැකගන්නට ලැබුණේ නැහැ.

ගිනස් ලෝක වාර්තා වැනි ගෝලීය සංවිධාන “බොහෝ එකවර සිදුවන රැලි” නිල වශයෙන් නිරීක්ෂණය සිදු නොකරන බවට මින් තහවුරු වේ.

මෙලෙස NPP විසින් ස්ථාන 21 කදී එකම දිනක මැයි රැලි 21 ක් පැවැත්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවා නැතත් මෙවැනි සිදුවීමක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ හෝ ජාත්‍යන්තරයෙහි වාර්තා වී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

2022 මැයි 1 වනදා ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් එකම දිනකදී ස්ථාන 4ක මැයි රැලි සහ පෙළපාලි පවත්වා තිබූ අතර, එසේම 2024 වසරේදී සමගි ජන බලවේගය (SJB) කොළඹ සහ නුවරඑළිය යන ස්ථාන 2ක රැලි පවත්වා තිබුණා. ඒ අනුව, මෑත ඉතිහාසයේ තහවුරු කර ගැනීමට හැකි තොරතුරු වලට අනුව මීට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් එකම දිනකදී ස්ථාන 21 ක හෝ ඊට වැඩි සංඛ්‍යාවක මැයි රැළි පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පක්ෂයක් විසින් මෙලෙස එකම දිනකදී බොහෝ ස්ථානවල මැයි දින රැළි පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන් ඈත අතීතයේ එලෙසින් එකම පක්ෂයක් මැයි රැලි පැවැත්වූ ගණන් වල තොරතුරු නොමැති හෙයින් අපහට එම කරුණ ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකියි. 

මෙය ලෝක වාර්තාවක් නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකාව වැනි රටක ස්ථාන 21ක රැලී පැවැත්වීම විශාල සංවිධානාත්මක ශක්තියක් වුව ද, ලෝකයේ විශාල රටවල දේශපාලන පක්ෂ මීට වඩා වැඩි ස්ථාන ගණනක එකවිට වැඩසටහන් පවත්වයි.

ඉන්දියාව: භාරතීය ජනතා පක්ෂය (BJP) හෝ කොමියුනිස්ට් පක්ෂ (CPI/M) වැනි පක්ෂ මැයි දිනයේදී ඉන්දියාව පුරා ප්‍රාන්ත 28ක, ස්ථාන දහස් ගණනක එකවිට රැස්වීම් සහ උත්සව පවත්වනු ලබයි.

චීනය: චීන කොමියුනිස්ට් පක්ෂය එරට සෑම නගරයකම පාහේ පක්ෂයේ මෙහෙයවීමෙන් නිල මැයි දින උත්සව එකවිට පවත්වයි.

ජාත්‍යන්තර වශයෙන් ගත් කළ, විවිධ රටවල විවිධ දේශපාලන පක්ෂ, පක්ෂ කිහිපයක හෝ වෘත්තීය සමිති සන්ධානවල එකතුවෙන් එකම දිනකදී විවිධ ස්ථානවල කම්කරු සැමරුම් සිදු කිරීම සම්බන්ධයෙන් සහ මැතිවරණ රැලි විශාල ප්‍රමාණයක් එකම දිනක පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ උදාහරණ හමුවෙනවා.

බ්‍රසීලය: කම්කරු පක්ෂය (PT)

බ්‍රසීලයේ කම්කරු පක්ෂය ප්‍රමුඛ වෘත්තීය සමිති එකතුව සෑම වසරකම ප්‍රාන්ත 26 පුරාම විසිරුණු මැයි දින රැලි සංවිධානය කරයි. Brasil de Fato වාර්තාවන්ට අනුව, 2025 වැනි වසරවලදී පවා සාවෝ පවුලෝ, රියෝ ද ජැනැයිරෝ ඇතුළු ප්‍රධාන නගර 20කට අධික සංඛ්‍යාවක එකවර මහා රැලි පවත්වා ඇත.

ප්‍රංශය: 2023 දැවැන්ත මැයි දින විරෝධතා

එකම දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය නොකළ ද ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව 2023 මැයි 1 වනදා රට පුරා ඉතා පුළුල් ලෙස රැලි පවත්වා තිබුණි. The Guardian සහ Al Jazeera පුවත් සේවා වාර්තා කළේ එදින ප්‍රංශය පුරා ස්ථාන 300කට අධික සංඛ්‍යාවක විරෝධතා රැලි පැවැත්වූ බවයි. 

මීට අමතරව,

ඉන්දියාව: භාරතීය ජනතා පක්ෂය (BJP)

මැයි දිනයට සම්බන්ධ නොවූවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2014 මැතිවරණ සමයේදී 3D Hologram තාක්ෂණය හරහා එකවර ස්ථාන සිය ගණනක රැලි අමතා තිබෙනවා. NDTV වාර්තා අනුව, ඔහු දින කිහිපයක් ඇතුළත රැලි 1,800කට අධික සංඛ්‍යාවක් අමතා ඇති අතර, එක් දිනකදී ස්ථාන 50කට අධික ප්‍රමාණයක රැලි සංවිධානය කර ඇත.

කෙසේ නමුත් මෙම අතිවිශාල ජනරැළි සම්බන්ධයෙන් හෝ ගිනස් වාර්තා පිහිටුවා ඇති බවට වාර්තා වී නැහැ.

ගෝලීය මැයි දින රැලි 2026 මැයි 1 

2026 මැයි 1 දින ලෝක වශයෙන් වාර්තා වූ මැයි දින රැලි සම්බන්ධයෙන් ද අප විසින් අවධානය යොමු කළා. 2026 මැයි මස 01 වන දින ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ රටවල කම්කරු දින රැලි සහ පෙළපාලි රැසක් පවත්වන ලදී.

ජාතික ජන බලවේගයට අමතරව සමගි ජන බලවේගය (SJB) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සිය මැයි දින රැලිය පැවැත්වූ අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) බොරැල්ල කැම්බල් පිටියේදී සිය මැයි දින සැමරුම පැවැත්වීය.සර්වජන බලය දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් කොළඹ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේදී රැලිය සංවිධානය කර තිබුණි.පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) කොළඹ හයිඩ් පිටියේදී (Hyde Park) සිය රැලිය පවත්වන ලදී. එය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්

එසේම, ලෝකයේ විවිධ රටවල ද කම්කරු අයිතිවාසිකම්, වැටුප් වැඩි කිරීම් සහ පවතින දේශපාලන තත්ත්වයන් මුල් කරගනිමින් දැවැන්ත රැලි පැවැත්වුණි. 

ඊයේ දිනයේ දකුණු අප්‍රිකාවේ පාලක පක්ෂය වන ANC, සිය සන්ධානගත පාර්ශවයක් වන දකුණු අප්‍රිකානු වෘත්තීය සමිති සම්මේලනය (COSATU) සමඟ එක්ව රට පුරා ස්ථාන 12 කදී මැයි දින රැලි පවත්වා ඇත. ජර්මනියේ දේශපාලන පක්ෂ සමඟ සමීප සබඳතා පවත්වන ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය (DGB), බර්ලින් ඇතුළු ප්‍රධාන නගර රැසක සිය ගණනක් මැයි දින රැලි සංවිධානය කර තිබුණි.

ප්‍රංශයේ විවිධ වෘත්තීය සමිති සහ වාමවාදී පක්ෂ එක්ව නගර 300 කට ආසන්න සංඛ්‍යාවක රැලි සංවිධානය කර තිබුණ ද, ඒවා එකම දේශපාලන පක්ෂයකට වඩා පක්ෂ කිහිපයක සහ වෘත්තීය සමිතිවල එකතුවක් ලෙසයි ක්‍රියාත්මක වූයේ. ඇමරිකා එක්සත් ජනපදයේ May Day Strong වැනි සන්ධාන නගර රැසක වැඩසටහන් පැවැත්වූ නමුත්, ඒවා දේශපාලන පක්ෂයකට වඩා සිවිල් සහ කම්කරු සංවිධානවල එකතුවක් ලෙස වාර්තා වේ. 

ඒ අනුව 2026 මැයි 01 වන ඊයේ දින ලෝකයේ වෙනත් කිසිදු තනි දේශපාලන පක්ෂයක් ස්ථාන 21 කට වඩා වැඩි සංඛ්‍යාවක මැයි දින රැලි පැවැත්වූ බවට මේ දක්වා නිල වාර්තා හමු නොවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය (NPP) විසින් එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා ලෝක වාර්තාවක් තබයි යනුවෙන් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති සටහන අසත්‍ය බවයි. එවැනි නිල ලෝක වාර්තාවක් NPP විසින් පිහිටුවා නොමැත. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය තුළ පක්ෂයක් විසින් එකම දිනකදී ස්ථාන 21 ක මැයි රැළි පැවැත්වූ බවට පැහැදිලි සාක්ෂි නොමැති නමුත්, සමස්ත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ එවැන්නක් සිදු වී ඇත් ද හෝ නැත් ද යන්න සම්බන්ධයෙන් අපහට ස්වාධීනව කරුණු සත්‍යාපනය කළ නොහැකියි. නමුත් මෑත ඉතිහාසයේ ලංකාවේ එකම දිනක ස්ථාන 21 ක මැයි රැලි පැවැත් වූ පක්ෂය ලෙස ජාතික ජන බලවේගය හැඳින්විය හැක. ජාත්‍යන්තර වශයෙන් ගත් කළ විවිධ රටවල විවිධ දේශපාලන පක්ෂ විසින් එකම දිනකදී කම්කරු දින සැමරුම් විශාල සංඛ්‍යාවක් පැවැත් වූ සිදුවීම් මීට පෙර වාර්තා වී තිබෙනවා. නමුත් එම අවස්ථාවන් සම්බන්ධයෙන් ද ලෝක වාර්තා පිහිටවා ඇති බවට වාර්තා වන්නේ නැහැ. 

Result Stamp

Title: එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා මාලිමාව ලෝක වාර්තාවක් තබලා ද ?

Written By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *