දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙනි. නව පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධ තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත්වීමට නියමිත පසුබිමකදී සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නම් ඈඳා ගනිමින් සමාජය නොමග යවන සුළු ආකාරයේ පුවත් පළ වන ආකාරයක් ද දැකගත හැකියි. මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එවැනි පුවතක් පිළිබඳ සොයා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ඡායාරූපයක් ද සහිතව “අපේ රටේ 37 වන පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමට යන ගරු අජිත් රෝහණ මහතාට අපේ සුබ පැතුම්” යනුවෙන් සඳහන් කරමින් ඉකුත් අගෝස්තු 9 වැනිදා මෙම ෆේසබුක් සටහන පළ කර ඇත. හෑෂ් ටැග්ස් ද සහිතව පළකර ඇති මෙම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඔහු බොහෝ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටි බවත් මහජනතාවට පොලිස් තොරතුරු නිවැරදිව ලබා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළ නිලධාරියෙකු බවත් ය. අජිත් රෝහණ මහතාගේ ඉදිරි රාජකාරී කටයුතුවලට සුබ පැතුම් ද එක් කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහනට අනුව හැඟී යන්නේ, අජිත් රෝහණ මහතා මෙරට නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි.
තව ද මෙම ෆේස්බුක් සටහන සත්‍ය යැයි සිතමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසිනි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට සූදානම් වන බවට වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාවක් තිබේ දැයි අප කරුණු සොයා බැලීමක් සිදු කළේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව සම්මත වීමෙන් පසු මේ වනවිට මුළු රටේම අවධානය යොමු වී ඇත්තේ, ශ්‍රී ලංකා පොලිසියේ මුල් පුටුවට පත්වන නිලධාරියා කවුරුන් ද යන්න සම්බන්ධවයි. ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීම සිදු කළේ නම්, එය මෙරට සියලුම මාධ්‍යවල විකාශය වූ ප්‍රමුඛ පුවතක් විය යුතු ය . ඉහත ෆේස්බුක් සටහනේ සඳහන් වන පරිදි අජිත් රෝහණ මහතා වැඩ භාර ගැනීමට සූදානම් වන්නේ නම් ඊට පෙර ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයාගේ පත් කිරීම සිදු කළ යුතු වේ. ඒ අනුව අප මුලින්ම මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගත් අතර පොලිස්පතිවරයා පත්කිරීමට අදාළව විවිධ මාධ්‍ය වාර්තා පළ වී තිබුණ ද කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන පරිදි අජිත් රෝහණ මහතාගේ පත් කිරීමක් හෝ ඔහු වැඩ භාර ගැනීමට සූදානම් වන බවට පුවතක් වාර්තා කර නොතිබිණ.
එහෙත් නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ක්‍රියාපටිපාටියට අනුව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නව පොලිස්පතිවරයා විසින් නිර්දේශ කරන ලද නම සඳහා වන අනුමැතිය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (12) රැස්වීමට නියමිත බවට වන වන පුවත බොහෝ මාධ්‍ය වාරතා කර තිබිණ. ප්‍රධාන මාධ්‍ය ධාරා අද (11) වාර්තා කර තිබුණේ, නව පොලිස්පති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) දිනයේ රැස්වන බවයි. එමෙන්ම දිවයින ද පුවත් වෙබ් අඩවිය ද එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
මේ අතර නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩභාර ගැනීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය සටහනේ සත්‍යතාව තහවරු කර ගැනීම සඳහා අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ද විමසීමක් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය
නව පොලිස්පතිවරයා ලෙස අජිත් රෝහණ මහතා වැඩභාර ගැනීමට සූදානම් බව කියමින් සංසරණය වන මෙම සටහනේ සත්‍යතාවක් තිබේදැයි අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා සඳහා වන නිර්දේශිත නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බවත් ඒ සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය තවමත් ලැබී නොමැති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වනෙ පරිදි නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කිරීමක් හෝ වැඩ භාර ගැනීමේ සූදානමක් තිබේදැයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් සිදු කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව විසින් හෙට (12) දිනයේ පත් කිරීමට නියමිතව ඇති බව එම සභාවේ ආරංචි මාර්ග සඳහන් කර ඇති බව ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්.
පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු යෝජනා වී ඇති බව ත්, දැනට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක( පරිපාලන),සංජීව මැදවත්ත , රන්මල් කොඩි තුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එම්ජීආර් එස් දමින්ද යන නිලධාරීන් පොලිස්පති ධූරය සඳහා යෝජනා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇති බව ත් ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ මෙලෙසින්.
ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම සිදුවන්නේ කෙසේ ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41C වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පති තනතුර සඳහා නව නිලධාරියෙකුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කරන අතර ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම නම සඳහා අනුමැතිය ලබා දිය යුතු වේ. කතානායක, අගමැති ඇතුළු සාමජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 10 දෙනාගෙන් අවම වශයෙන් 5 දෙනෙකුගෙන් බහුතරය අදාළ නාම යෝජනාව අනුමත කළ යුතු වේ. පසුව අදාළ අනුමැතියෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරයි.
කෙසේ වෙතත් පත් කරන ලද පොලිස්පතිවරයකෙු ජනාධිපතිවරයාට ඝෘජුවම ඉවත් කළ නොහැකි අතර ඒ සඳහා ද ක්‍රියාවලියක් තිබේ. ඒ අනුව කිසියම් පොලිස්පතිවරයෙකු විෂමාචාරයක් පිළිබඳව හෝ බරපතළ වැරද්දක් සඳහා චෝදනා ලැබූ විට එය විමර්ශනය සඳහා කමිටුවක් (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන්) පත් කිරීමේ හැකියාව පවතී. එහිදී අදාළ පොලිස්පතිවරයා ඊට වරදකරු බව ඔප්පු වුවහොත්, අදාළ නිලධාරියා ඉවත් කිරීම සඳහා ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුවට සම්මත කළ හැකියි. එකී යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසු ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා විධිමත් ලෙස ඉවත් කළ හැකියි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, “අපේ රටේ 37 වන පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමට යන ගරු අජිත් රෝහණ මහතාට අපේ සුබ පැතුම්” යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති සමාජ මධ්‍ය සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. නව පොලිස්පතිවරයා පත්කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියට අවසන්ව නොමැති බවයි.
