ලංකාව, දිළිඳු රටවල් අතර දෙවන තැනට පත් වුණා ද ? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ නොමග යවන සුළු සහ වැරදි තොරතුරු, ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ පළ වූ පුවත් බව හැඟවෙන ලෙස සංස්කරණය කරමින් පළ කරන ආකාරය දැකිය හැකියි. දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින්, ලංකාව දිළිදු රටවල් අතර දෙවන තැනට පත් වූ බවට සඳහන් කර හුවමාරු වූ ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අදාළ සටහන දිනමිණ පුවත්පතේ “ලංකාව දිළිඳු රටවල් අතරේ දෙවන තැනට, ලෝක බැංකුව නම් කරයි” යන සිරස්තලය සහිතව මෑතකදී පළවූ ලිපියක් බවට හඟවමින්, වර්තමාන රජය මෙම තත්වයට පත්වීමට හේතු වී ඇති බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook |Archived Link

එකම සටහන එක් තැනක 2024.01.08 දින පල වූවක් ලෙසත් තවත් සටහනක 2025.05.01 දින පල වූවක් ලෙසත් දක්වමින් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්. 

Facebook Facebook 

එසේම තවත් සටහන් පෙළකින්, මෙම ඡායාරුප සටහන්හි 2024 දිනයක් සඳහන් වීම පෙන්වා දෙමින්, මෙසේ ලංකාව ලොව දරිද්‍රතම දෙවන රට ලෙස නම් පටබැඳුනේ, පසුගිය ආණ්ඩු සමයේ බවට ද අදහස් දක්වමින්, සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

ඒ අනුව, සැබෑ ලෙසම මෙම සටහන, මෑතක දී හෝ, මීට වසර දෙකකට පෙර දී හෝ දිනමිණ පුවත්පතක පළ කරන ලද සටහනක්ද යන්න සහ ලංකාව, ලොව දිළිඳුතම රටවල් අතරට, කුමන හෝ කාලයක දී පත් වී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

ඉහත සටහන් වලට පාදක වූ වාර්තාවක් බවට පෙන්වා දී තිබූ 2024 , 2025 හෝ 2026 වසරේ ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බවට හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා කර නොමැති අතර ලෝක බැංකුව හෝ වෙනත් කිසිදු පිළිගත් නිල ජාත්‍යන්තර ආයතනයක් එවැන්නක් නිවේදනය කර නොමැති බව ද, අපට නිරීක්ෂණය විය.

පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත

ලෝක බැංකුව විසින්, ලොව රටවල් දරිද්‍රතාවය අනුව 1, 2, 3 ලෙස නිල වශයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ එක් එක් රටවල දරිද්‍රතා ප්‍රතිශතයන් සහ ආර්ථික දත්ත වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. එසේම ලෝක බැංකුව රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගෙන රටවල් ප්‍රධාන කාණ්ඩ 4 කට බෙදා දක්වයි. ඒ, අඩු ආදායම්ලාභී රටවල්, පහළ මධ්‍යම ආදායම්ලාභී රටවල්, ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල්, අධික ආදායම්ලාභී රටවල් ලෙසයි.

ලෝක බැංකුව විසින් 2024 සහ 2025 වසරවලට අදාළව ශ්‍රී ලංකාව, පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත. ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් දෙවනි තැනට පත්ව ඇති බවක් එහි දක්වා නැහැ.

worldbank

පසුගිය වසර කිහිපයේ දී , ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාත අගයන් දැක්වුණේ කෙසේද?

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඉතිහාසය විමසා බැලීමේදී, 2019 වර්ෂයේදී ජාතික දරිද්‍රතා අනුපාතය 11.3% ක් ලෙස පැවතිබුණි. එහෙත් 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝක බැංකුවට අනුව, 2021 සිට 2022 දක්වා කාලය තුළ දරිද්‍රතා අනුපාතය 25% දක්වා ඉහළ ගිය අතර, 2023 වර්ෂයේ අර්බුදය උච්චතම මට්ටමට පැමිණි විට එය 27.1% දක්වා වැඩි විය. එහෙත් මේ උපරිම අගය වුවද, ලෝව දරිද්‍රතම රටවල් වන දකුණු සුඩානය (82.3%) වැනි රටවල් සිටින මට්ටමට වඩා පහළින්, ශ්‍රී ලංකාව දක්වා තිබුණි.

2024 වර්ෂය වන විට ආර්ථිකය 5% ක වර්ධනයක් වාර්තා කරමින් යථා තත්ත්වයට පත්වීමත් සමග, දරිද්‍රතා අනුපාතය 24.5% දක්වා පහත වැටුණි. ලෝක බැංකුවේ ඇස්තමෙන්තු වලට අනුව, 2025 වර්ෂය වන විට මෙය 22.7% ක් පමණ දක්වාත්, මධ්‍ය කාලීනව 20% ක් පමණ දක්වාත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එනම්, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පවතින ප්‍රවණතාව ඉහළ යාමක් නොව, පහළ යාමකි.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP per capita) සලකුවිට, 2024 වර්ෂයේදී එය ඇමරිකානු ඩොලර් 4,500 ක් පමණ විය. ලෝක බැංකුවේ ආදායම් වර්ගීකරණය අනුව මෙය ශ්‍රී ලංකාව “පහළ මධ්‍යම ආදායම්ලාභී” කාණ්ඩයට අයත් වන බව තහවුරු කරයි. ලොව දරිද්‍රතම රටවල ඒක පුද්ගල ආදායම ඩොලර් 600 ට වඩා අඩු මට්ටමක පවතින බැවින්, ආදායම් වර්ගීකරණය අනුවද ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් බොහෝ දුරස්ව පවතී.

World Population Review වෙබ් අඩවි වාර්තා අනුව ද ලංකාව ලොව පහළම දරිද්‍රතා මට්ටමේ රටවල් අතරට නැහැ

කෙසේ නමුත් ලෝක බැංකුව විසින් ලබා දෙන නිල දත්ත උපයෝගී කරගනිමින්, ලෝකයේ වෙනත් පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල, වෙබ් අඩවි විසින් එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලැබේ. එලෙස World Population Review වෙබ් අඩවිය විසින් 2026 වර්ෂයට අදාළව දක්වා ඇති ශ්‍රේණිගත කිරීමෙහි ලොව ඉහළම දරිද්‍රතා ප්‍රතිශතය සහිත රටවල් 05 පිළිවෙලින්, දකුණු සුඩානය – 82.3%, මඩගස්කරය  – 75.2%, එරිත්‍රියාව – 69%, මධ්‍යම අප්‍රිකානු ජනරජය – 68.8%, මොසැම්බික්  – 65% වේ.

කෙසේ නමුත් අදාළ ශ්‍රේණිගත කිරීමේදී World Population Review ආයතනය විසින් යොදාගෙන ඇති එක් එක් රටවල දත්ත එක් එක් වර්ෂවලට අයත් ඒවා වේ. ඒ ලෝක බැංකුව සතුව පවතින, එම රටවල් විසින් අවසන් වරට තහවුරු කර ලබාදුන් වඩාත් යාවත්කාලීන නිල දත්ත සහිත වර්ෂයයි. එම දත්ත උපයෝගී කරගනිමින් මෙම ආයතනය විසින් 2026 වසරට අදාළව ලොව ඉහළම දරිද්‍රතා ප්‍රතිශතය සහිත රටවල් පෙලගස්වා ඇත.

එසේම, SAPA USA වැනි ගෝලීය පර්යේෂණ ආයතනයට අනුව 2026 වර්ෂයට අදාළව වැඩිම ජනගහන ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් 10 මෙසේය.

ස්ථානය (Rank)රට (Country)දරිද්‍රතා ප්‍රතිශතය (Poverty Rate) 
01දකුණු සුඩානය (South Sudan)82.3% 
02සෝමාලියාව (Somalia)76.8% 
03නයිජීරියාව (Nigeria)70.7% 
04පකිස්ථානය (Pakistan)68.8% 
05ඉන්දියාව (India)64.9% 
06මැඩගස්කරය (Madagascar)63.9% 
07බුරුන්ඩි (Burundi)58.5% 
08මධ්‍යම අප්‍රිකානු ජනරජය (Central African Republic)56.8% 
09සමක ගිනියාව (Equatorial Guinea)54.4% 
10සියෙරා ලියෝන් (Sierra Leone)53.2% 

මෙම කිසිඳු ශ්‍රේණිගත කිරීමක් තුළ ශ්‍රී ලංකාවේ දිළිඳුතම රටවල් අතරට පත්ව ඇති බවට නම් කර නැහැ. 

මානව සංවර්ධන දර්ශකයේ, ලංකාව දකුණු ආසියාවේ ඉදිරියේන්

එක් රටක සංවර්ධන මට්ටම මැනීම සඳහා දරිද්‍රතා අනුපාත පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සම්පාදනය කරනු ලබන මානව සංවර්ධන දර්ශකය (Human Development Index – HDI) ද ජාත්‍යන්තරව පිළිගත් ප්‍රබල මිනුමකි. මෙම දර්ශකය මඟින් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම සහ ආදායම යන කරුණු සලකිල්ලට ගනී.

UNDP විසින් නිකුත් කරන ලද 2025 මානව සංවර්ධන වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව රටවල් 193 ක් අතරින් 89 වන ස්ථානයේ පසුවන අතර, මුළු දකුණු ආසියානු කලාපයේම ඉහළම මානව සංවර්ධන අගය හිමි රට බවට පත්ව තිබුණි.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආදායම යන දර්ශක තුළ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය වැනි අසල්වැසි රටවලට වඩා ඉදිරියේන් සිටී. දකුණු ආසියානු කලාපයේ “ඉහළ මානව සංවර්ධනය” (High Human Development) කාණ්ඩයට අයත් වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පමණි. එබැවින්, කලාපයේම ඉහළම මානව සංවර්ධන මට්ටමක් සහිත රටක්, “ලොව දෙවන දිළිඳුම රට” විය නොහැකි බව ද පැහැදිලිය.

දිනමිණ පුවත් වාර්තාවක් බව දක්වමින් සිදුකළ ව්‍යාජ සංස්කරණයක්!

ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවන තැනට පත්ව ඇති බවට ලෝක බැංකුව නිවේදනය කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහනෙහි දිනමිණ පුවත්පතේ නම සඳහන් වී තිබීම නිසා, මෙවැනි පුවතක් දිනමිණ වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප Keywords පරීක්ෂාවක් ඔස්සේ කටයුතු කළා. නමුත් දිනමිණ නිල වෙබ් අඩවියේ හෝ නිල සමාජ මාධ්‍ය පිටු තුළ එවැන්නක් වාර්තා කර තිබුණේ නැහැ.

දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස දක්වමින් හුවමාරු වන අදාළ එක් සටහනක දිනය 2024 ජනවාරි 08 ලෙස දක්වා ඇති අතර එම ලිපියම තවත් සටහනක දක්වා ඇත්තේ දිනය 2025 මැයි 01 ලෙසිනි. එම ලිපිය දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් නම් එලෙස එකම ලිපියේ දින දෙකක් යොදා තිබීම සිදුවිය නොහැක්කක්.

එසේම අදාළ සටහන වඩාත් සමීපව නිරීක්‍ෂණය කිරීමේදී, එහි අක්ෂර වින්‍යාසයේ දෝෂ බහුලව දැකිය හැකියි. විශේෂයෙන් දිනමිණ යන නාමය එහි දක්වා ඇත්තේ දෝෂ සහිතවය. ඒ අනුව අදාල සටහන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද හෝ සංස්කරණය කරන ලද සටහනක් ද යන සැකය මතු වේ. 

කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද්දක්

ඒ අනුව අප විසින් අදාළ අන්තර්ගතය කෘතිම බුද්ධිය හඳුනා ගැනීමේ මෙවලම් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ සටහන කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද්දක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතරින් දෙවනි තැනට පත් වූ බවට ලෝක බැංකුව නිවේදනය කර ඇති බව දක්වමින් දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින් හුවමාරු වුනු සමාජ මාධ්‍ය සටහන කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. 2022 වසරේ හෝ ඊට පෙර හෝ පසු කිසිදු වර්ෂයකදී ශ්‍රී ලංකාව දිළිඳුතම රටවල් අතරට පත් වූ බවට ලෝක බැංකුව විසින් හෝ වෙනත් කිසිදු පිළිගත් නිල ආයතනයක් විසින් නම් කර නැහැ.

Result Stamp

Title: ලංකාව දිළිඳු රටවල් අතර දෙවන තැනට පත් වුණා ද ?

Written By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *